සාකච්ඡා නැත්නම් පැය 48කින් පසු පරිපූරක වෛද්‍ය සේවාවේ වර්ජනයක්

සාකච්ඡා නැත්නම් පැය 48කින් පසු පරිපූරක වෛද්‍ය සේවාවේ වර්ජනයක්

පරිපූරක වෛද්‍ය සේවාවට අදාල ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය ගනු ලැබූ තීන්දු, සෞඛ්‍ය ලේකම් වරයා විසින් අවහිර කිරීම හේතුවෙන්, ඉදිරි පැය 48 ඇතුලත සෞඛ්‍ය ලේකම්වරයා විසින් සාකච්ඡා මාර්ගයට නොඑළඹෙන්නේනම්, වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ඇති බව ඊයේ (29) දින පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ රවී කුමුදේස් මහතා ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ, සෞඛ්‍ය ලේකම්වරයාගේ තීන්දු ලබාදීමේ ක්‍රියාවලියෙහි ප්‍රමාදය සහ සාකච්ඡා කිරීම සඳහා බමුණු කුලයක් නිර්මාණය කර ගැනීම හේතුවෙන්, මෙම වර්ජනය දක්වා ගමන් කරන බව කණගාටුවෙන් දැනුම් දෙන බවත්, සේවාවට අදාල වෘත්තීන්ගේ පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම වෛද්‍ය ඒකාධිකාරයට ලක් කිරීමත්, තාක්ෂණික ඇගයීම් කොමිස් වුවමණාවට ඕනෑ ආකාරයට සිදු කරමින් රෝගියා අවශ්‍යතාවය නොසලකා හැරීමත්, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන්ගේ වැටුප වැඩිවීම කප්පාදු කිරීමත්, පරිපූරක වෛද්‍ය අධිකාරි තනතුරු වල වගකීම් කප්පාදු කිරීමත්, ඇතුළු ඉල්ලීම් 13ක් මූලික කර ගනිමින් මෙම ක්‍රියා මාර්ගයට අවතීර්ණය වන බවත් වැඩිදුරටත් සඳහන් කලේය.