පුද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 වුණාම EPF මොනව වෙයිද?

පුද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 වුණාම EPF මොනව වෙයිද?
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මතවීම සමග ම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන්  එය කෙසේ බලපානු ඇත්දැයි බොහෝ දෙනෙකු තුළ විවිධ මත ඇති වී තිබේ.
 
මේ සම්බන්ධයෙන්  කම්කරු කොමසාරිස් ජනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ විශ්‍රාම යාමේ අවම වයස් සීමාව වෙනස් වුවද, සේවක අර්ථසාධක අරමුදල් පනත ට කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.
 
යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 55න් විශ්‍රාම ගන්නේ ද එම පුද්ගලයා ට රැකියාවෙන් ඉවත් වු අවස්ථාවේ දී සේවක අර්ථසාධක අරමුදල ලබාගත හැකි බවත් ඔහු කියා සිටියි.
 
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කම්කරු කොමසාරිස් ජනරාල් මෙසේද සඳහන් කළේය.
 
"EPF පනතේ තියෙන්නේ, පිරිමි කෙනෙකු ට වයස 55ක් හා කාන්තාවකට වයස 50ක් කියලා. ඒ වයසේ දී ගන්න පුළුවන් සේවයෙන් අයින්වෙලා. EPF පනතට අපි එක දශමයක්වත් අත තිබ්බේ නෑ. ඒක එහෙම ම තියෙනවා. ඔයාට 55න් ගන්න පුළුවන් වෙන්නේ 55න් අයින් වෙනවා නම්. 56න් අයින් වෙනවා නම් ඔයාට ගන්න වෙන්නේ 56 දී. නමුත් යම්කිසි කෙනෙක් 55න් EPF එක අරන් අයින් වෙනවා. ඊට පස්සේ ආයතනය කැමති නම් ඔයාව නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න නව අංකයකින් ඔයාව බඳවා ගත්ත ට ප්‍රශ්නයක් නෑ. නව අංකයින් වසර 5ක් ඉන්න පුළුවන්. අයින් වෙන වෙලාවට තමා EPF එක ගන්න පුළුවන්. මේක අලුතින් ගෙනාපු එකක් නෙමෙයි."