අධිකරණ නියෝග අනුව ක්‍රියා නොකළ ආයතනය වහලා - සේවක සේවිකාවන් 600ක් පමණ පාරට

අධිකරණ නියෝග අනුව ක්‍රියා නොකළ ආයතනය වහලා - සේවක සේවිකාවන් 600ක් පමණ පාරට

දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනය කළ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොණරාගල, කුමාරවත්ත වතුයායේ ක්‍රේප් රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා ඇති අතර,  එහි සේවය කළ සේවක සේවිකාවන්ට රැකියා අවස්ථා අහිමි වී ගොස් තිබේ.

අක්කර 1800කින් පමණ යුත් මෙම වතුයායේ හෙක්ටයාර් 538ක පමණ රබර් වගා කර තිබෙන අතර, 600කට ආසන්න කම්කරුවන් පිරිසක් සේවය කරමින් සිටියහ.

මේ හේතුව නිසා රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතින බවද, අප වාර්තාකරු පෙන්වාදෙයි.

දිනකට අමු රබර් කිරි කිලෝ 3500 - 4000ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකි මෙම වතුයායෙන් වාර්ෂිකව රුපියල් මිලියන අසූහයක ලාභයක් ලැබෙන අතර ජනවසමට අයත් පාඩු ලබන වතුයායවල් පවත්වාගෙන යාම සඳහා එම ලාභය වැය කරමින් තිබෙන බව එම සේවකයින් පෙන්වාදෙයි.

මීට වසර හයකට පමණ ඉහතදී දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනය කර ඇත්තේ මෙම කර්මාන්ත ශාලාවෙන් වන අතර . කර්මාන්ත ශාලාවෙන් මුදා හරින අපද්‍රව්‍ය මොනරාගල නගරය මැදින් ගලායන මරගලඔයට බැහැර කිරීම නිසා මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල කාර්යාලය මඟින් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරන ලද අතර, එමඟින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණ නියෝගයක් ලැබී තිබිණි.

පසුව මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත පරිසරයට හානි නොවන පරිදි අපද්‍රව්‍ය බහාලන නිසි ක්‍රමවේදයක් සකස් කොට කර්මාන්ත ශාලාවේ වැඩ ආරම්භ කරන ලෙස නියෝග කර තිබිණි.

නමුත් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත පරිසරයට හානි නොවන පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා මේ වන විටත් කර්මාන්ත ශාලාව වසා දමා ඇති අතර . එහි තිබෙන කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතියි.