ගුරුවරුන් 6000ක් ගැන අලුත් කතිකාවක්

ගුරුවරුන් 6000ක් ගැන අලුත් කතිකාවක්
උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතුවලට තවත් ගුරුවරුන් 6000ක පමණ අඩුවක් පවතින බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි. 
 
මෙම ඇගැයීම් කටයුතු සඳහා ගුරුවරුන් 20, 000 ක් පමණ අවශ්‍ය වන අතර අයදුම් කර ඇත්තේ ගුරුවරුන් 13, 000 ක් පමණ බවත්, පසුගිය 08 වැනිදා ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමේ කාලය අවසන් කිරීමට නියමිතව තිබුණ ද, අවශ්‍ය ප්‍රමාණයට අයදුම් නොකිරීම නිසා කාලය දිගු කළ අතර මේ දින පහ තුළ දී තවත් ගුරුවරුන් 1300 ක් පමණ අයදුම් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (13) සඳහන් කළේය.
 
උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතුවලට රුපියල් 500 ක් ලබාදුන් දීමනාව විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ මෙවර රුපියල් 2000 ක් දක්වා ඉහළ දමා ඇති බවත්, මෙම දීමනාව ප්‍රමාණවත් නොවන බවට ඇතැම් වෘත්තීය සමිති කරන චෝදනාවන් හේතුවෙන් ගුරුවරුන් අයදුම් නොකර ඇති බවටත් ඔහු චෝදනා කළේය.
 
උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු මේ වන විට සති තුනකින් ප්‍රමාද වී ඇති බවත්, ඇගැයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට රුපියල් 2000 ක දීමනාව අනිවාර්යයෙන් ලබාදීමට රජය එකඟ වී ඇති බවත් හෙතෙම පැවැසීය.
 
උසස් පෙළ පිළිතුරු පත්‍ර ලක්ෂ 30 ක් පමණ මේ වන විට විභාග දෙපාර්තමේන්තුව තුළ සුරක්ෂිතව ගබඩා කර ඇති බවත් විවිධ රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් කෘමි උවදුරුවලින් උත්තර පත්‍ර ආරක්ෂා කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
 
පෙබරවාරි 17 වැනිදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු පෙබරවාරි 22 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද, මේ දක්වා එම කටයුතු ආරම්භ කිරීමට නොහැකි වීමෙන් මේ වසර තුළ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාග දෙකක් සහ උසස් පෙළ විභාගයක් කල් යාමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.