ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති සමාගමකට වැඩිපුර රු. ලක්ෂ 680/- වැඩිපුර ගෙවීමේ වෑයමක්

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති සමාගමකට වැඩිපුර රු. ලක්ෂ 680/- වැඩිපුර ගෙවීමේ වෑයමක්

ආසියානු සංවර්ධන අරමුදල මගින් මිලදී ගැනීම සදහා ඉල්ලුම්කල අත්‍යවශ්‍ය ඖෂධ තුනක් සදහා, දැනට වෙළදපලේ පවතින මිලටත් වඩා දහ ගුණයක පමණ වන ලංසුවකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යංශයට අදාල ඇතැම් නිළධාරීන් කටයුතු කරමින් සිටී.

කහ උණ, ඒඩ්ස් වැනි වෛරස ආසාධිත රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධයක් වන, ගැන්සයික්ලෝවියප්‍රති වෛරස එන්නත, ලිනසොලිඩ් ප්‍රතිජීවක ඖෂධය සහ කොලිස්ටිමෙතේට් ප්‍රතිජීවක එන්නත මෙසේ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර කැඳවා ඇති අතර, උපරිම ලංසුව තැබූ සමාගමෙන් එම ඖෂධ ලබා ගැනීම සඳහා, අඩු ලංසු තැබූ සමාගම් සරළ තාක්ෂණික කාරනා මගින් ඉවත් කරවා ගැනීමට ඇතැම් පාර්ශවයන් උත්සාකරමින් තිබෙන බවට සෞඛ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට දැනටමත් පැමිණිලි ගණනාවක් ලැබී ඇති නමුත්, ඒ සම්භන්ධයෙන් කිසිදු පියවරක් ගන්නා බවක් පෙනෙන්න්නට නැත.

ඊට අදාලව මිල දී ගැනීමට අපේක්ෂිත ගැන්සයික්ලෝවියර් එන්නත මේ වන රු 7000/-ක පමණ මිලකට ලබා ගනිමින් සිටින අතර, රු 9000/-කට පමණ සාමානය ඖෂධ හලකින් පවා මිලදී ගත හැකිය. නමුත් මෙම ඖෂධය, ඉහත ටෙන්ඩරය මගින් මිලදී ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ රු 77000/- ක මුදලකටය.

ලිනසොලිඩ් එන්නතද දැනට සපයමින් සිටින්නේ රු 200/- ක වැනි මුදලකට වන අතර, සාමාන්‍ය ඖෂධ හලකින් එය රු 600/- පමණ මුදලකට ලබා ගත හැකිය. ඉහත ටෙන්ඩරය මගින් එම ඖෂධය මිල දී ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ රු 2200/-ක පමණ අධික මිලකටය.

මෙම වංචාවේ වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ, වැඩිම ලංසුකරුට එම ඖෂධ දෙක සඳහා අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇත්තේ, එම සන්නාමය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නොමැති තත්වයක් යටතේය.

කොලිස්ටිමෙතේට් ප්‍රතිජීවක ඖෂධය අදාලව 30,000ක පමණ එන්නත් ප්‍රමාණයක් ඉහත ටෙන්ඩරය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර, එම ප්‍රතිජීවකය සදහා අඩුම ලංසුව රු 1200/-කට පමණ ලබා දී තිබියදී, රු 2200/-ක වැඩිම ලංසුව සඳහා එම අවස්ථාව සලසා දීම සඳහා ඖෂධයේ ගුණාත්මක බවට හෝ මිලට කිසිසේත් අදල නොවන, සරල ලේඛණගත අඩුපාඩුවක් විශාල ගැටළුවක් බවට පරිවර්තනය කර, මාර්ගෝපදේශ උගුලක් ඇට වීමට, ආසියානු සංවර්ධන අරමුදලේ දේශීය ඒජන්තයින් උත්සාහ දරමින් සිටී. ඔවුණගේ එම කූට උපක්‍රමය සාර්ථක වුවහොත්, කොලිස්ටිමෙතේට් ප්‍රතිජීවක ඖෂධයෙන් පමණක් රුපියල් ලක්ෂ 150කට වැඩි මුදලක් රටට අහිමිවන අතර, මෙම සමස්ථ තාක්ෂණික හොරකම හරහා සෞඛ්‍ය සේවාවට අහිමි වන මුදල රුපියල් ලක්ෂ 680 කට වඩා වැඩිය.

අසියානු සංවර්ධන බැංකුවට, මාර්ගෝපදේශ පිළිබඳව බිල්ලන් මැවීම හරහා ඉහත වැරදී තීන්දුව ගැනීමට පොළඹවමින් සිටින අතර තීන්දුව ගැනීමෙන් අනතුරුව ඒ සඳහා කිසිවක් කල නොහැකි බව දන්නා ඇතැම් නිළධාරීන්, එය තමන්ගේ වාසියට හරවා ගනිමින් සිටින බැවින්, අස්සයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමේ විමර්ෂණ වෙණුවට, ඊට පෙර ඒ සඳහා මැදිහත් වන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය