කොටස් වෙළඳපොලේ ආයෝජනවලින් මාස තුනට EPF පාඩුව කෝටි 1,300යි

කොටස් වෙළඳපොලේ ආයෝජනවලින් මාස තුනට EPF පාඩුව කෝටි 1,300යි

මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළඳපොලේ සිදු කර ඇති ආයෝජනවලින් පසුගිය මාස තුනට පාඩුව රුපියල් කෝටි 1,300ක් බව වාර්තා වේ.

කොටස් වෙළෙඳපොළේ සමාගම් 06ක සිදුකර ඇති EPF ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව 2020 දෙසැම්බර් 31න් අවසන් කාර්තුවේ දී EPF අරමුදල ACL ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, Chemanex, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මල්වත්ත වැවිලි සමාගම, සෙලාන් ඩිවලොප්මන්ට්ස් යන ආයෝජනය සම්පූර්ණයෙන් විකුණා දමා ඇත.

මෙලෙස කොටස් විකිණීම කර ඇත්තේ අදාළ යෝජනාවලින් වන පාඩුව මගහරවා ගැනීම සඳහාය.

මේ අතර EPF අරමුදල විසින් ආයෝජනය කර තිබූ ඩර්ඩන්ස් රෝහල් සමාගමේ කොටස් 250,906ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි කොටස් 1,750,609ක්, හේලීස් පීඑල්සී හි කොටස් 2,387,818ක් සහ නවලෝක රෝහල් සමාගමේ කොටස් 2,001,775ක් විකුණා දැමීමටද පසුගිය කාර්තුවේ දී කටයුතු කර තිබේ.

2020 සැප්තැම්බර් 30 වැනි දිනට අර්ථසාධක අරමුදල ලැයිස්තුගත සමාගම් කොටස් 81ක ආයෝජනය කර තිබූ අතර එය 2020 දෙසැම්බර් 31 අවසානයේ දී වාර්තා වන්නේ සමාගම් 74ක් වශයෙනි. මෙම සමාගම් 74හි අර්ථසාධක අරමුදල ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 83.46ක් වන අතර 2020 දෙසැම්බර් 31 දිනට මේවායේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 70.80ක් ලෙසින් වාර්තා වේ.

(ලංකා ට්‍රත්)