EPF සංශෝධන පනත ගැන ජනාධිපති අපේක්ෂකයෝ නිහඩයි

EPF සංශෝධන පනත ගැන ජනාධිපති අපේක්ෂකයෝ නිහඩයි

අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ  සේවකයන් විසිහත් ලක්ෂයකගේ (2,700,000) දායක මුදල් තැන්පත් කර ඇති සේවක අර්ථසාධක අරමුදල් පනතට  ගෙන ඒමට යෝජිත සංශෝධන පිළිබඳ ජනාධිපති අපේක්ෂකයන්ගේ මතය විමසා යැවු ලිපියට පිළිතුරක් එවා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බව  ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එම වෘත්තිය සමිති එකමුතුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දි අදහස් දැක්වූ ඇන්ටන් මාකස් මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාද පිළිතුර ඒවා සැප්තැම්බර් (16) දින බවත් අනෙකුත් අපේක්ෂකයන්  ලිපිය ලැබුණ බවවත් මෙතෙක් දන්වා නොමැති අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ පිළිතුරේ ද ඇත්තේ තම පක්ෂයේ Blueprint ලේඛනය පරීක්ෂා කරන ලෙස පමණක් බව ඇන්ටන් මාකස් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම මෙම ජනාධිපති අපේක්ෂකයන්ට යැවූ මෙම ලිපියට ජාතික ජන බලවේගයට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය සහ තොණ්ඩමන් මහතාගේ වතු කම්කරු සංගමය අත්සන් නොතැබූ බවද ඔහු අවධාරණය කළේය.

 ආසියාවේ විශාලතම සේවක දායක අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ 2022 වසරේදී රුපියල් ට්‍රිලියන 3.5 තිබූ බවත්, ලෝකයේ කිසිම රටක සේවක ඉතිරි කිරීම් වලට බදු නොගසන බවත් EPF යනු ලාභ නොලබන අරමුදලක් නමුත් ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට 14% බද්දක් ගසන බවත්, නමුත්  බැංකුවලින් අය කරන්නේ සියයට අටක(8%)  බදු ප්‍රතිශතයක් බව ද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවසීය.

මේ තත්ත්වය නිසා මේ වන විට තිබෙන උද්ධමන තත්ත්වය තුළ EPF අරමුදලේ දායකයන්ට හිමි වන්නේ තමන් තැන්පත් කළ මුදලට වඩා අඩු මුදලක් බව ද දේවේන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම තුළින් පසුගිය කාලයේ  රුපියල් මිලියන 2556 ක අලාභයක් වී ඇති බවත්, අරමුදලේ පාලකයන් වන මහ බැංකුව ඒ පිළිබඳව ජාතික කම්කරු උපදේශක සභාව කළ ප්‍රශ්න කිරීම්වලදී  උත්තරයක් නොදී මග හැර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.ඊට ඇති හොඳම උදාහරණය පසුගිය සමයේ Sri Kankan Airlines ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදල අද වන විට ආ ගිය අතක් නැති වී ඇති බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් ශ්‍රී ලංකා, ලංකා කම්කරු සම්මේලනය වෘත්තිය සමිති නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවට අදහස් දක්වන ලදි.