සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම නැවැත්වීමට GMOA අට වැදෑරුම් විසදුම් යෝජනාවලියක් ඉදිරිපත් කරයි

සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම නැවැත්වීමට GMOA අට වැදෑරුම් විසදුම් යෝජනාවලියක් ඉදිරිපත් කරයි

මානව සම්පත් නිසි ලෙස කලමණාකරණය නොකිරීම නිසා නොබෝ දිනකින්ම සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමේ බරපතල අවදානමින් (බුද්ධිගලනය වෛද්‍යවරුන්ට අදාලව) ගලවා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අට වැදෑරුම් විසදුම් යෝජනාවලිය එලිදැක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ,

සෞඛ්‍ය පද්ධතිය ප්‍රශස්ත ලෙස කලමණාකරණය කිරීම උදෙසා ක්ෂේත්‍රය තුල මානව සම්පත් නිසි ලෙස කලමණාකරණය කිරීමේ  වැදගත්කම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස දිගින් දිගටම අවධාරණය කර ඇත.

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඒකාකාරී ලෙස දිවයින පුරා සමානාත්මතාවයකින් යුක්තව ලබාදීම අපේ රටේ සෞඛ්‍ය සේවාව  ජාත්‍යන්තර මට්ටමේ  පිළිගැනීමට ලක්වීමට  බලපෑ ප්‍රධාන කරුණකි.

එලෙසින් සේවාවන් ලබා දෙන සෞඛ්‍ය කණ්ඩායමට නිසි ලෙස නායකත්වය ලබා දීමට වෛද්‍යවරුන් ලෙස කිසිදා දෙවරක් සිතා නැත.

වෛද්‍යවරුන් දිවයින පුරා සෞඛ්‍ය ආයතන වෙත සාධාරණත්වයේ සහ සමානාත්මතාවයේ මූලධර්ම මත ස්ථානගත කිරිමටත්, එහිදී පර්යන්ත රෝහල් කෙරෙහි  සුවිශේෂී අවධානයක් යොමු කිරීමටත්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස හැමවිටම කටයුතු කර ඇත.

කෙසේ නමුත් මේ මොහොත වන විට එම ක්‍රියාවලිය දැවැන්ත අභියෝගයන් රාශියකට මුහුණ පා ඇත. ඒ සෑම කාණ්ඩයකම වෛද්‍යවරුන් ඉතා ශීඝ්‍ර ලෙස රට හැර දා යාමේ ප්‍රවණතාවයක් මතුවීම නිසාවෙනි. පසුගිය වසර තුල පමණක් එම සංඛ්‍යාව 700කට අධිකය. මේ වන විට තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස මෙලෙසින් වෛද්‍යවරුන් රට හැර දමා  යාමට හේතු වන කරුණු පිළිබද මූලික හැදෑරිමක් සිදු කරන ලදී.

එහිදී හදුනාගත් ප්‍රධාන හේතුන් හා එම තත්ත්වය නිවැරදි කිරිම සදහා අප විසින් ඉදිරිපත් කරන විසදුම් යෝජනා විධිමත් යෝජනාවලියක් ලෙස බලධාරින් වෙත  ඉදිරිපත් කිරිමට  සකස් කර ඇත.

01. සීමාවාසික වෛද්‍යවරුන් ඇතුලු සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ රැකියාව සදහා වෙළදපොල වටිනාකම සැලකිල්ලට ගනිමින් නිසි අගයක් ලබා දිමට බලධාරින් දක්වා ඇති අසමත්භාවය.

විසඳුම - කාර්ය සාධනය හා වෙළදපොල වටිනාකම පදනම් කරගත් සුවිශේෂී වැටුප් ව්‍යුහයක් වෛද්‍යවරුන් සදහා හදුන්වා දීමට කටයුතු කිරීම හා සීමාවාසික වෛද්‍යවරුන්ගේ දීමනාව ඊට අනුරූප ලෙස සංශෝධනය කිරිම. 

02. වෛද්‍යවරුන් සදහා වන නේවාසික පහසුකම් ඉතා කණගාටුදායක මට්ටමක පැවතීම.

විසඳුම - දුෂ්කර පර්යන්ත රෝහල් ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගනිමින් නියමිත කාල රාමුවක් තුල වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් ඉහල නැංවීමට වැඩ පිලිවෙලක් ප්‍රකාශයට පත් කිරිම.

03.  දීප ව්‍යාප්ත සේවාවන් සදහා කැපවී සිටින වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් ඉහල නැංවීම සදහා නිසි අවධානය යොමු නොකිරීම.

විසඳුම - වෛද්‍යවරුන්ගේ ප්‍රවාහනය, පැමිණීම හා රැඳී සිටීමට අදාල DAT දීමනාව අද වන විට පවතින නිර්ණායකයන්ට අනුරූප වන පරිදි වහාම සංශෝධනය කිරීම හා වසර 03 කට වරක් අදාල දීමනාව යාවත්කාලීන කිරිම.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජ්‍ය සේවයේ ජේHෂ්ඨ මට්ටමේ කාණ්ඩ සදහා හිමි නිල ප්‍රවාහන පහසුකම් සඳහා වන 22/ 99 චක්‍රලේඛය සඳහා වෛද්‍ය නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීම.

04. වසර හතරකට වරක් අනිවාර්ය ස්ථාන මාරු ලබන හා විදේශ පුහුණුව නිම කරන වෛද්‍යවරුන්ගේ දරුවන් සඳහා සුදුසු පාසල් ලබා දීමට නිසි වැඩපිළිවෙළක් සකස්  නොවීම

විසඳුම - මේ සඳහා වන විධිමත් යාන්ත්‍රණයක් වහාම ප්‍රකාශයට පත් කිරීම හා එහි දී පර්යන්තයේ සේවය කරන වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම.

05. පර්යන්තයේ දුෂ්කර රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ඒ සඳහා දිරිමත් කරන වැඩපිළිවෙළක් නොමැති වීම

විසඳුම - පර්යන්තයේ දුෂ්කර රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් දිරිගැන්වීමට මූල්‍යමය හා මූල්‍යමය නොවන ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

06. රජය විසින් මෑත කාලයේ හඳුන්වා දුන් අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය

විසඳුම - මේ වන විට එකඟතාවය පළ වී ඇති පරිදි ඉදිරි ආසන්නතම අවස්ථාවේදි වෛද්‍යවරු ඇතුළු වෘත්තීය කාණ්ඩ සඳහා සහන සැලසෙන බදු ව්‍යුහයක් අප විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පාදක කර ගනිමින් වහාම ප්‍රකාශයට පත් කිරීම.

07. වෛද්‍යවරුන්ගේ වෘත්තීය අභිවෘද්ධිය  ඉහල නංවන යාවත්කාලීන වන වැඩ පිලිවෙලක්  ප්‍රකාශයට පත් නොකිරීම.

විසදුම - සියලුම වෛද්‍ය නිලධාරී කාණ්ඩ සදහා අලුතින් හදුන්වා දෙන අධි ශ්‍රේණියක් සහිත ශ්‍රේණී උසස්වීම් ක්‍රමවේදයක් හදුන්වාදිම.

වෛද්‍ය නිලධාරින්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා දැනට පවතින කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයෙන් ඔබ්බට පුලුල් කිරිම.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය වඩාත් හිතකර තත්ත්වයකට පත්වන පරිදි ශ්‍රේණි වෛද්‍ය නිලධාරින් සදහාද  නිශ්චිත සේවා කාලයකට පසුව අවස්ථාව ලැබෙන අවසන් ස්ථාන මාරු ලැයිස්තු ක්‍රමවේදයක් සකස් කිරීම.

08. දිවයින පුරා රෝහල් ආශ්‍රිතව මතුව ඇති ඖෂධ හා උපකරණ අර්බුදය හරහා නිර්මාණය වී ඇති අතෘප්තිකර සේවා වටපිටාව.

විසඳුම - අප විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති දස වැදෑරුම් විසඳුම් යෝජනා මත පදනම් වෙමින් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ ඖෂධ හා උපකරණ අර්බුදය සදහා විසදුම් සකස් කර ක්‍රියාත්මක කිරීම.

ඉහතින් පෙන්වා දී ඇති අට වැදෑරුම් විසඳුම් යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ඉදිරි කාල සීමාව තුළ සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවීමට නියමිත දරුණු බිඳවැටීමේ තත්ත්වයන් වලක්වා ගත හැකි බව තරයේ විශ්වාස කරමු.

අපගේ ඉල්ලීම් පරිදි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධි ගලනයට විසඳුම් සොයන කමිටුව හරහා මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් කඩිනමින් ප්‍රකාශයට පත්වනු ඇතැයි අපේක්ෂා කරමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස එවන් වැඩපිළිවෙළක් සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සපථ කරමු.