සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යයක්ෂමතාවය සෞඛ්‍යෙය් බිඳ වැටීමට හේතුවක් - GMOA

සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යයක්ෂමතාවය සෞඛ්‍යෙය් බිඳ වැටීමට හේතුවක් - GMOA

සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත කළමනාකරණයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ දුර්වලතාවය සහ එහි අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිළි කිරීමක් සිදුකර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව  මේ වන විට මුහුණ පා ඇති පංචවිධ අර්බුදයන් අතරින් මානව සම්පත් අහිමි වී යාම යනු අනෙක් සියලු ගැටළු වලට වඩා දීර්ඝ කාලීන ප්‍රතිවිපාක වලට ලක් වන ගැටළුකි. ඖෂධ අර්බුදය, වෛද්‍ය හා ශල්‍ය උපකරණ ගැටළු සහ බාල ඖෂධ පිළිබඳ චෝදනා කෙරෙහි කෙටි කාලීන යම් විසඳුම් ලබාදිය හැකි වුවද, රට හැර දා යන වෛද්‍යවරුන් වෙනුවට අලුතින් වෛද්‍යවරුන් කෙටි කලකින් බිහි කළ නොහැකි බව සියලු දෙනා තරයේ අවබෝධ කරගත යුතුය.

ආර්ථික අර්බුදය සහ යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල පිරිසක් දැඩි ගැටළුකට මුහුණ දී ඇති අතර ඉන් සැලකිය යුතු පිරිසක් රට හැරදා යාමට ද සූදානම් වෙමින් පවතී.

දීප ව්‍යාප්ත සේවාවක් වන වෛද්‍ය සේවාව රට පුරා සමානාත්මතාවයෙන් යුතුව ගුණාත්මකව ජනතාවට සැපයීම කෙරෙහි සමස්ත රෝහල් ජාලයම ආවරණය වන පරිදි වෛද්‍යවරුන් ස්ථානගත වී තිබීමද අත්‍යාවශ්‍යය. එය සිදු නොවී වෛද්‍යවරුන් විෂම ලෙස ව්‍යාප්ත වීමෙන් සිදුවන්නේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව අවම වීමයි. එමඟින් වෛද්‍යවරුන්ද විශාල පීඩාවකට ලක් වෙයි. වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු නිසි පරිදි සිදු කිරීමද වෛද්‍යවරු රට තුළ රැඳී සිටීම දිරිමත් කරන කරුණකි..

ගෙවුණු වසර 03 තුළ ක්‍රියාත්මක කළ හැකි ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්  6000 කට අධික ප්‍රමාණයක් මෙතෙක් ක්‍රියාත්මක නොවී තිබීම බරපතල තත්ත්වයකි. ඒ හරහා යළිත් තහවුරු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවයයි.

ශ්‍රේණි  වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම් සම්බන්ධයෙන් සෘජුවම වගකීම දැරිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා - II නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාය. එහෙත් මේ වනවිට එම ධූරයෙහි වැඩ බලන වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අකාර්යක්ෂම සහ දැක්මක් නොමැති ක්‍රියාකලාපය හේතුවෙන් මෙම වෛද්‍යවරුන් 6000 කට වැඩි පිරිස ස්වකීය ස්ථාන මාරු ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන්ට නියමිත සේවා ස්ථානයේ රාජකාරි කිරීමට නොහැකි වීම නිසා ගැටළු රාශියකට මැදිව සිටිති.

මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙතරම් සාධනීය මැදිහත්වීම් සිදු කලද සෞඛ්‍ය අමාත්‍යංශය සහ වෛද්‍ය ජී. විජේසූරියගේ නිද්‍රාශීලි සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා ගැටළුව උග්‍ර වෙමින් පවති.

එපමණක් නොව මෙම පුද්ගලයාගේ මැදිහත් වීම නිසා වාර්ශික ස්ථාන මාරු වීම් මෙන්ම පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් ඇතුලු අනෙකුත් ස්ථාන මාරු ලැයිස්තුද විශාල ලෙස ප්‍රමාද වීම හරහා පර්යන්ත රෝහල් පද්ධතියේ වෛද්‍ය හිඟයට පිළියම් යෙදීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවති.

අදාළ වෛද්‍යවරයා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතරම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයකද රාජකාරි ආවරණය කිරීම නිසා එම ආයතන දෙකෙහි ම බරපතළ ගැටළු ගණනාවක් මතු වී ඇත. මෙම වෛද්‍යවරයා අදාළ තනතුරේ වැඩ ආවරණය කරන පදනමින් රැඳී සිටින්නේ ඔහුට වඩා මෙම තනතුරට සුදුසුකම් ලත් පරිපාලන ශ්‍රේණියේ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් පද්ධතිය තුළ රැඳී සිටියදී වීම අවධානයට ලක්විය යුතු කරුණකි.

ඔහුගේ පරිපාලනමය දුර්වලතා නිසා රිජ්වේ ආර්යා ළමා රෝහල දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතින අතර මෙරට සමස්ත රෝහල් පද්ධතිය ද වෛද්‍ය හිඟය හේතුවෙන් රෝගී සත්කාර සේවා ලබාදීමට නොහැකිව නුදුරේදීම බිඳ වැටීමේ දැඩි අවධානමක් මතු වී ඇත. තත්ත්වය එතරම් බරපතළ වී ඇති නමුත්, ගැටළු විසඳීම සඳහා මැදිහත් නොවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන්ගේ ස්ථාවරයද අතිශයින් ප්‍රශ්නකාරීය. ඒ හරහා අවසානයේදී පීඩාවට ලක්වන්නේ මෙරට අහිංසක ජනතාව බවද වටහා ගත යුතුය.

වෛද්‍ය ජී. විජේසූරියගේ අකාර්යක්ෂම, සාදාචාරත්මක නොවන ප්‍රශ්නකාරි ක්‍රියාකලාපය පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල වුවද මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු පියවරක් ගැනීමට මෙතෙක් ක්‍රියාකර නැත.

පවතින තත්ත්වයේ බැරැරූම්කම අවබෝධ කරගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විටත් අදාල නිලධාරීයාට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ලෙස පියවර ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විධිමත් නොවන පරිදි තව දුරටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා - II තනතුරේ රැදි සිටින වෛද්‍ය ජී. විජේසූරිය සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කිසිදු නිල ගණුදෙනුවක් සිදු නොකිරීමට නියමිතය.

වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ රෝහල් පද්ධතිය තුල වර්ධනය වෙමින් පවතින අර්බුදය සමනය කිරීමෙහිලා අවශ්‍ය සරල විසදුම් පවා ක්‍රියාත්මක නොකිරීම තුල මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන න්‍යාය පත්‍රයන්හි කොටස්කරුවන් බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙවන් නිලධාරීන් පත්ව ඇති බවට බරපතල සැකයක් මතු වී ඇති අතර එවන් උත්සාහයන් පරාජය කිරිමෙහිලා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත්ම පසුබට නොවන බව අවධාරණය කරමු.