ITN ලිංගික අඩන්තේට්ටම් ගැන FMM ජනාධිපතිට ලියයි

ITN ලිංගික අඩන්තේට්ටම් ගැන FMM ජනාධිපතිට ලියයි

ස්වාධීන රූපවාහිනී ආයතනයේ මාධ්‍ය සේවිකාවන්ට සිදු වන ලිංගික අඩන්තේට්ටම් සහ බලපෑම් පිළිබඳ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

රජය සතු හා මහජන දේපළක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති මාධ්‍යවේදිනියක එහි ප්‍රධානියෙකුගේ අනිසි ලිංගික බලපෑම් සහ අපචාර ඉවසා ගත නොහැකිව සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඔබතුමන්ගේ කාරුණික අවධානයට යොමු කරමු.

2023 අප්‍රේල් 22 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කළ ඇය සඳහන් කර ඇත්තේ තමන් මේ පිළිබඳව ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තද කිසිදු විමර්ශනයක් හෝ විනය පියවරක් ගැනීමට සභාපතිවරයා අසමත් වූ බවයි. ඊට හේතුව අදාළ අපයෝජන චූදිතයා ඉහළ දේශපාලන සම්බන්ධතා ඇති නිසා බව සිද්ධිය පිළිබඳ කරුණු දන්නා වෙනත් පාර්ශව සඳහන් කරයි. =

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ චූදිත පුද්ගලයා තවත් මාධ්‍යවේදිනියන් රැසකට මෙන්ම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ පුහුණු වන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට පවා විවිධ අන්දමේ ලිංගික බලපෑම් සිදු කර ඇති බවයි.

මේ වන විට මෙම සිදු වීම සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය සංවිධාන රැසක අවධානය යොමුව ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි පිළිකුලට මෙන්ම හෙළා දැකීමට භාජනය වී ඇත. එසේම ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය ද  අප වෙතින් කරුණු විමසා ඇත.

මීට ඉහත ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති කාමර තුළ මෙන්ම සෙසු අංශවල මාධ්‍යවේදිනියන් ලිංගික හිරිහැරවලට භාජනය වන අන්දම පිළිබඳ පර්යේෂණාත්මක කරුණු හෙළිදරව් කිරීම් සිදුව ඇති අතර මෙවැනි සිදුවීම් මගින් එම තත්ත්වය නැවත නැවතත් සනාථ කරයි.

ජනමාධ්‍ය නිදහස යනු හුදෙක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ යමක් පැවසීමට ලබා දී ඇති ඉඩකඩ පමණක් නොවේ. ඕනෑම ජනමාධ්‍යවේදියෙකුට හෝ ජනමාධ්‍යවේදිනියකට කිසිම අන්දමේ බලපෑමකින් හෝ හිරිහැරයකින් තොරව සිය වෘත්තීය කටයුතුවල නිරත වීමට ඇති අවකාශය ද එහි වැදගත් අංගයකි. මෙලෙස ලිංගික අඩන්තේට්ටම් රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ ම සිදු වන්නේ නම් මෙරට ඇති ජනමාධ්‍ය නිදහසේ ස්වභාවය ද, ශිෂ්ට සම්පන්න බව ද ගෝලීය වශයෙන් ප්‍රශ්න කිරීමට ලක් වන බව අපගේ විශ්වාසයයි.

එබැවින් ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ලෙස මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස වග විය යුතු සියලු පාර්ශව වෙත නියෝග කරන මෙන්ද රාජ්‍ය මාධ්‍ය ආරක්ෂාකාරී වැඩ පරිසරයක් සහිත ස්ථාන බවට පත් කිරීමට පියවර ගන්නා මෙන්ද ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමු.