ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත වහා ඉවත් කරගත් යුතුයි - NMSJ

ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත වහා ඉවත් කරගත් යුතුයි - NMSJ

අදහස් පළ කිරිමේ අයිතියට බාධකයක් කරගත හැකි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත නොපමාවම ඉවත් කර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අදහස් පළ කිරීමේ අයිතියට බාධකයක් කර ගත හැකි නීති පණගැන්වීම අරමුණු කර ගනිමින් බලාත්මක කිරීමට රජය සූදානම් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් වූ පනත් කෙටුම්පත  වහාම ඉල්ලා අස් කරගන්නා ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

           

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් වන කතා කිරීමේ හා අදහස් පළ කිරීමේ අයිතියට  විනාශකාරී බලපැමක්  එල්ල කල හැකි නීතිමය ප්‍රතිපාදන මෙම පනත මඟින් නිර්මාණය කෙරේ. එමෙන් ම ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනිව අධිකරණ පද්ධතියෙන් බැහැරව යමින් විධායක ජනාධිපති විසින් පත්කරන  කමිටුවකට අධිකරණ බලයට අතපෙවීමට හැකියාවක් නිර්මාණය කර තිබීම ද අතිශයින් ම බරපතලය. එමෙන් ම ශ්‍රි ලංකාවේ අනාගත යහපත උදෙසා උපයෝගී කරගත යුතුව ඇති මේ වන විටත් දිනෙන් දින වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකය දුර්මුඛ කිරීමට හේතු  වන ප්‍රතිපාදන ගණනාවක් ද මෙම   පනත්කෙටුම්පතෙහි අන්තර්ගතය.

අන්තර්ජාල ක්‍රමවේදයන්  මඟින් රටේ ඇතැම් පුද්ගලයන්ට සිදුවන හා ජාතික ආරක්ෂාවට තර්ජණයක් එල්ල විය හැකි තත්වයන් වැළැක්වීම සඳහාත් එකී පහසුකම්  අවභාවිතා කරමින් සිදු කිරීමට හැකියාව ඇති අපරාධ වළක්වමින් ඒ සඳහා යොමු විය හැකි පුද්ගලයන්ට නිතීමය ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් ප්‍රතිපාදන තිබිය යුතුව ඇතැයි යන්න අපගේ ද විශ්වාසයයි.

එබැවින් අප ඉතාමත් ම ඕනෑකමකින් හා වගකීමකින් යුතුව රටේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ දණ්ඩ නීතී සංග්‍රහය වැනි එවැනි අපරාධ සඳහා දඩුවම් ලබාදිය හැකි ප්‍රතිපාදන කාලානූරූපි ලෙස සංශෝධනය කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ගයන් වෙත යොමු වන ලෙසය. එහෙත් එවැනි අවශ්‍යතාවයන්ට මුවාවෙමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම සඳහා ගන්නා මෙවැනි උත්සාහයන් පිළිබඳව අප බලවත් ලෙස කනස්සල්ලටත් විමතියටත් පත්ව සිටින අතර එවැනි උත්සාහයන්ට කිසිදු පැකිළීමකින් තොරව විරෝධය පළ කරන්නෙමු.

ඒ අනුව අප නැවතත්  රජයෙන් ඉල්ලා සිටින්නේ අදහස් පළ කිරීමේ අයිතියට මාරක ප්‍රහාරයන් එල්ල කල හැකි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසටය. එමෙන් ම රටේ පුරවැසියන්ගේ  හා ජන ජීවිතයේ යහපැවැත්මට හානිකර ක්‍රියාවන් සඳහා අන්තර්ජාල තාක්ෂණය යොදා ගන්නා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි ආකාරයට දණ්ඩ නීතී සංග්‍රහය ඇතුළු අදාල නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසය.