රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙකුගේ අත්සන නොමැති PCR වාර්තාවන් පිළිගන්න එපා

රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙකුගේ අත්සන නොමැති PCR  වාර්තාවන් පිළිගන්න එපා

බදුල්ල මහ රෝහලෙහි COVID19 PCR රසායනාගාරය විසින් වෛරසය නොමැති බවට නිකුත් කරන ලද වාර්තාවක් නොදන්නා ක්‍රමවේදයක් මඟින් වෛරසය සහිතලෙස නිකුත් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාතයංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එච්. එස්. මුණසිංහ මහතා වෙත රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ,

වැරදි වාර්තා නිකුත් වීම පිළිබඳව ඉතා විශාල මහජන කතිකාවතක් ගොඩනැඟී ඇති මොහොතක වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙකුගේ අත්සන නොමැතිව නිකුත් කරන කිසිඳු වාර්තාවක වගකීම අප විසින් භාරගනු නොලබන බවත් එවන් වැරදි වාර්තා නිකුත් වීම වැලැක්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම බවත් ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු. එසේම මෙතෙක් රජයේ රසායනාගාර සේවාව මඟින් වැරදි වාර්තා නිකුත් වීම වලක්වා ගැනීම සඳහා හැකි උපරිමයෙන් අප කටයුතු කර ඇති අතර රසායනාගාරයට කිසිසේත්ම වගකිව නොහැකි අසම්මත ක්‍රමවේදයන් ඔස්සේ නිකුත් කරන ලද වාර්තාවක් හේතුවෙන් මහියංගනය රෝහලේ හෙද නිළධාරියාට සිදුවූ අපහසුතාවය පිළිබඳව අප අතිශයින්ම කණගාටු වෙමු.

මහියංගනය රෝහලේ හෙද නිළධාරී නෙවිල් සරත් මහතාගෙන් ලබා ගත් නිදර්ශකයට අදාලව බදුල්ල මහ රෝහලේ සිදු කරන ලද PCR පරීක්ෂණයකදී ඔහු ආසාධිතයෙක් නොවන බව සනාථ කරමින් රසායනාගාරය විසින් වාර්තා කර ඇත. නමුත් අදාල වාර්තාව අදාල නිළධාරියාට ලැබීමට ප්‍රථම මාර්ගගත (Online) ක්‍රමවේදය හරහා ඔහු ආසාධිතයෙකු බවට සඳහන් සාවද්‍ය විද්‍යුත් වාර්තාවක විද්‍යුත් පිටපතක් (E-Report) නිකුත් වී ඇත. අදාල සාවද්‍ය වාර්තාව රසායනාගාර ක්‍රමවේදය ඔස්සේ නිකුත් කරන ලද වාර්තාවක් නොවන බවත් ඒ මොහොතේ රසායනාගාරයේ රැඳී නොසිටි ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරිය විසින් නිකුත් කරන ලද වාර්තාවක් බවත් අප වෙත පැමිණිලි ලැබී ඇත.

උක්ත තත්වය පිළිබඳව පැහැදිලි විමර්ශනයක් සිදු කරන ලෙසත්, එලෙස රසායනාගාරය නිකුත් කරන වාර්තා වෙනුවට වෙනත් ස්ථානයක සිට අමතර වාර්තාවක් ජනනය කිරීම රසායනාගාර ක්‍රමවේදයේ සදාචාරයන්ට පටහැකි වන බවත් මෙම වරදට හේතු වී ඇත්තේ එම වැරදි භාවිතාව බවත් අප විශ්වාස කරමු. එසේම සෑම රසායනාගාර වාර්තාවක්ම අදාල පරීක්ෂණය සිදු කල රසායනාගාරයෙන් නිකුත් විය යුතු අතර අතරමගදී එහි දත්ත වෙනස්කම් සිදු කිරීම හෝ එය නිකුත් කරන ලද වෘත්තීය නිල නාම වෙනස් කිරීම රසායනාගාර වාර්තා පිළිබඳ අනවශ්‍ය අර්බුධකාරී තත්වයක් හා අවිශ්වාසයක් ජනිත කරවන ක්‍රියා පිළිවෙතක් වන බැවින් බදුල්ල මහ රෝහල රසායනාගාරයෙහි හෝ වෙනත් PCR රසායනාගාරයක හෝ එවන් භාවිතාවක් පවතින්නේ නම් එය නිවැරදි කරවන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

වැඩබිම