ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සම්පාදනයට කම්කරු ඇමති එකඟයි -Protect සංගමය

ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සම්පාදනයට කම්කරු  ඇමති එකඟයි -Protect සංගමය

යටත් විජිත සමයේ සිටම ගෘහස්ථ කම්කරු රැකියාව පැවත ආවද සෑම පාලන තන්ත්‍රයන් තුළදීම  ශ්‍රී ලංකාවේ කම්කරු නීති ආවරණයන් තුළින් ගෘහස්ථ කම්කරුවන් ඉවත් කර ඇත. එම නිසා එම කම්කරුවන්ගෙන් ලබා ගන්නා සේවය ඉතා අවිධිමත් ආකාරයට සිදු කරන අතර එය හාම්පුතුන්ගේ විවිධාකාරයේ ශ්‍රම සූරාකෑම් වලට එම සේවකයන් ගොදුරු වන රැකියාවක් බවට පත්ව තිබේ. ලෝක කම්කරු සංවිධානය විසින් ගෘහස්ථ කම්කරුවන් සඳහා සුනිසි රැකියා පිළිබඳව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2020 ඉදිරිපත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ කම්කරුවන් 80000 ඉක්මවයි.  ශ්‍රී ලංකාව තුළ සේවායෝජකයින් ක්‍රියාකරන්නේ ද ගෘහ සේවක සේවිකාවන්ට කම්කරු අයිතීන් හිමිනොවිය යුතු පිරිසක් ආකාරයටය.  කම්කරු අණ පනත්වලදී ගෘහ සේවය ප්‍රකාශිතවම ඉවත් කොට තිබීම මෙම තත්ත්වය ඇති කිරීමේ ලා මහත් පිටු බලයක් ලබාදී ඇත. උදාහරණයක් ලෙස ජාතික අවම වේතන පනත, පාරිතෝෂික ගෙවීමේ පනත ඇතුළු පනත් ගණනාවකින් සේවකයා යන අර්ථකතනයෙන්ම ගෘහස්ථ කම්කරුවන් ඉවත් කර ඇත. එම නිසාම නිශ්චිත වැටුප්, වැඩ කරන පැය ගණනක්, විවේක කාල, වාර්ෂික නිවාඩු, ETF EPF, පාරිතෝෂික ගෙවීම්, මාතෘ නිවාඩු හෝ සෞඛ්‍ය සහ ආරක්ෂාව ආදී ලෙසින් වෙනත් කම්කරුවන්ට ලැබෙන අයිතීන් ගෘහ සේවික සේවිකාවන්ට නොලැබේ. උක්ත රැකියා අයිතිවාසිකම් සහ යහපත් රැකියා කොන්දේසි ගෘහස්ථ කම්කරුවන් වෙනුවෙන් දිනා ගැනීම අපගේ ප්‍රධාන අරමුණයි.

ඊයේ දින කම්කරු අමාත්‍යාංශයෙදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා සහ ගෘහස්ථ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති අතර  සාකච්චාවක් පැවැත්විණි. එහි ප්‍රධාන අරමුණ වූයේ ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සම්පාදනය කළ හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කිරීමයි. එහිදී ප්‍රොටෙක්ට් සංගමය විසින් තම යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ අතර ඉදිරියේ දී ගෘහස්ථ කම්කරුවන් සඳහා වන නීති සම්පාදන ක්‍රියාවලියේදී පූර්ණ සහයෝගය ලබා දීමට එකඟ විය. එහිදී ඉදිරිපත් කළ යෝජනා අතර ගෘහස්ථ කම්කරුවන් සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය, ETF EPF, පාරිතෝෂික සහ අය වැය සහන දීමනා පනත් සංශෝධනය කර ගෘහස්ථ කම්කරුවන්ද එමගින් ආවරණය කිරීම යනාදිය වේ.

සියළු සංගම් වල අදහස් වලින් පසු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වසර ගණනාවක් තිස්සේ ගෘහස්ථ කම්කරුවන් විසින් ඉල්ලා සිටි ඉල්ලීම් ගණනාවකට ඉතා යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩිපාලක සභාවක් පිහිටුවීමට, ගෘහ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීමට අදාළ පනත් සංශෝධනය කඩිනමින්  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවය.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල,සේවා නියුක්තියන්ගේ  භාර අරමුදල් යන පනත් ද  ජාතික අවම වේතන පනත ද අයවැය සහන දීමනා පනත ද සංශෝධනය කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. එසේම මෙම කාරණය හා සම්බන්ධ තවත් ප්‍රධාන ගැටළුවක් වන ගෘහ සේවක සේවිකාවන් අලෙවිකරණ බ්‍රෝකර්වරුන් සහ එජන්සිකරුවන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගතයුතු බව  අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේය.

මෙම තීරණය වනාහී ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කිරීම පිළිබඳව ලබා ඓතිහාසික  තීරණයක් වන අතර ඒ පිළිබඳව පැමිණ සිටි සංගම් වල නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට සිය කෘතඥතාවය පළ කර සිටියහ. 2018 වසරේ යම්කිසි ආකාරයකට ගෘහස්ථ කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ නීති ආවරණය ලබා දීමට පියවරක් ගැනීමට සාකච්චාවක් පතු වුවද එහිදී එය ව්‍යවර්ථ විය. නමුත් මෙවර එය ඉතා සාර්ථක පියවරකට අවතීර්ණ වී ඇති අතර ගෘහස්ථ කම්කරුවන්ගේ යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීම සඳහා වන සුබවාදී බලාපොරොත්තුවක් ඇතිකරනු ලබයි. ඒ සඳහා ඉදිරි සති 2 තුළ කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද අතර ඒ සඳහා වන ඉදිරි පියවරයන් සඳහා ක්‍රියාකාරීව දායක වීමට ප්‍රොටෙක්ට් සංගමය බලාපොරොත්තු වේ. මේ සඳහා වන කම්කරු නීති පිළිබඳව ගෘහස්ථ කම්කරුවන් දැනුවත් කිරීම, ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු අනපනත් වල ආවරණය ලබා දීමේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දැනුවත් කිරීම සහ ලොබි කිරීම, සමාජය දැනුවත් කිරීම, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන හා ක්‍රියාකාරීන් දැනුවත් කිරීම යනාදී ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ප්‍රොටෙක්ට් සංගමය විසින් සිදු කරමින් සිටී. එසේම සකස් කරනු ලබන නීති ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී මතු විය හැකි ගැටළු සම්බන්ධව සහ එම නීති කම්කරුවන් වෙනුවෙන් ඉතා යහපත් ආකාරයට ක්‍රියාවට නැංවිය හැකි ආකාරය පිළිබඳව කම්කරු නීති පිළිබඳව විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටී.  

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින කම්කරු නීති වල ආවරණය ගෘහස්ථ කම්කරුවන්ටත් ලබා දීමේදී  ILO - C189 රට තුළ අපරානුමත කර ගැනීම වෙනුවෙන්ද  ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ඉලක්ක කොට ලොබි කිරීමේ ව්‍යාපාරයක් ගෙන යමින් සිටිමු. මේ සඳහා ලෝක කම්කරු සංවිධානයේද සහයෝගය නොමදව ලබා ගන්නා අතර ගෘහස්ථ කම්කරුවන් විධිමත් නෛතික රාමුවක් යටතේ ආවරණය සැපයීම සඳහා මැදිහත් වන විවිධ සංවිධාන සහයෝගයද ලබා ගනිමින් පවතී. එසේම දැනට ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීති සහ යහපත් රැකියා කොන්දේසි ක්‍රියාත්මක වන රටවල් වල ගෘහස්ථ කම්කරු සංවිධාන සමග එම රටවල ගෘහ සේවකයන්ගේ තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිමු.

එසේම ඉදිරි සතිය තුළදී ගෘහස්ථ කම්කරු  නීති සම්පාදනය කිරීම සහ පවතින පනත් සංශෝධනය කිරීම හා සම්බන්ධව අප සංගමයේ යෝජනා සවිස්තරාත්මකව ඉදිරි සතිය තුළ කම්කරු අමාත්‍යතුමා වෙත බාර දීමට අප බලපොරොත්තු වෙමු.

වසර 3ක පමණ කෙටි කාලයක් තුළ රජය සහ වගකිවයුතු පාර්ශවයන්ගෙන් සිදු කළ ඉල්ලීම් සහ සාමාජිකයන් විසින් සිදු කරන ලද විවිධ ක්‍රියාමාර්ගයන්ගේද, අනෙකුත් සංවිධානවල මැදිහත්වීමේද ප්‍රථිඵලයක් ලෙස එම ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම්  දිනාගැනීමේ ආසන්නයටම අප ළඟා වී ඇත. එම අයිතිවාසිකම් දිනා ගන්නා තෙක්, අප විසින් සිදු කරන සංවිධාන කටයුතු සහ ක්‍රියා මාර්ගයන් අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරමු.

කල්ප මධුරංග

ප්‍රධාන ලේකම්

ප්‍රොටෙක්ට් සංගමය

 

protect1

protect2