ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 40 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලයක් පත්වේ

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 40 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලයක් පත්වේ

මෙහිදී ඉදිරි වර්ෂය සදහා විධායක කමිටු නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමට කටයුතු කරන ලද අතර, ඒ අනුව 2023 වර්ෂය සදහා නව සභාපතිවරයා හැටියට මහේෂ් ගම්මන්පිල මහතාත්, නව ලේකම්වරයා හැටියට කාලින්ද්‍ර ජයවීර ප්‍රනාන්දු මහතාත් තෝරා පත්කර ගන්නට යෙදුනි.

මීට අමතරව උප සභාපති, උපලේකම්, සහකාර ලේකම්, භාණ්ඩාගාරික, සහකාර භාණ්ඩාගාරික, සංස්කාරක, සහකාර සංස්කාරක, ජාතික සංවිධායක සහ කමිටු සාමාජිකයින් තනතුරු 09 ක් සදහා තෝරා පත්කර ගැනීම ද සිදු විය.

රටේ ස්ථාවරත්වය උදෙසා පරිපාලනය නිසි පරිදි පවත්වාගෙන යමින්, රට නිවැරදි දිශානතියකට යොමු කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, සමස්ත රාජ්‍ය නිලධාරින් සමග එක්ව කටයුතු කරනු ලබයි. වගකිවයුතු වෘත්තීය සංගමයක් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ඉදිරි වැඩකටයුතු සදහා සාමාජිකයින්ගේ නව අදහස්, සහ යෝජනා ලබාගැනීම ද මෙහිදි සිදු විය. රට තුල වන ආර්ථික අර්බුදයේ බලපෑමෙන් අත්මිදීම සඳහා වෘත්තිකයන් ලෙස අවශ්‍ය දායකත්වය ලබාදීම මෙන්ම සංගමයේ සාමාජිකයින්ගේ වෘත්තීය ගැටළු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිනි.

මෙහිදී අදහස් දැක් වු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව සභාපති මහේෂ් ගම්මන්පිල මහතා කියා සිටියේ සංගමයේ සාමාජිකත්වය 2400 කට අධික බවයි. පරිපාලන සේවා සංගමය වෘත්තීය සංගමයකට වඩා වෘත්තීයමයභායක් ඇති සංගමයක් විදිහට කටයුතු කරනු ලබන බවත්, අනෙකුත් සේවාවන් සියල්ල සමග සහයෝගයෙන් කටයතු කරමින් මෙරට සාමාජ හා ආර්ථික සංවර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙල දියත් කිරීමට රජය සමග කටයුතු කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ප්‍රධාන සේවාවේ සංගමක් ලෙස කටයුතු කරන බව ද පැවැසීය. සංගමයේ සාමාජිකත්වය  දරන විශ්‍රාමික ලේකම්වරු, අමාත්‍යාංශ  ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අදහස් හා යෝජනා අනුව මෙරට ආර්ථිකය නිවැරදි දිශානතියට යොමු කිරීම සදහා මෙම සංගමයට විශාල කාර්යභාරයක් සිදු කළ හැකි බවත්, ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙත් විශාල වෙනස්කම් කරමින් ඊට අදාල කරන දැනුම, කුසලතාවයන්, ආකල්පයන් ඇති නිලධාරීන් කණ්ඩායමක් සමග මේ රටේ පවතින තත්ත්වය වෙනස් කිරීම සදහා අවශ්‍ය සියළු සහයෝගයන් සහ මාර්ගයන් විවරකර ගැනීම සදහා කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

‍මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 2022 වර්ෂයේ සභාපති ලෙස කටයුතු කළ  පදුල ශ්‍රී රෝහණ ද සිල්වා, ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත මහතා ඇතුලු විධායක කමිටු සාමාජිකයින් මෙන්ම සංගමයේ සාමාජිකත්වය දරන විශ්‍රාමික ලේකම්වරු, අමාත්‍යාංශ  ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සියලුම ශාඛා සමිතිවල සභාපතිවරුන්/ලේකම්වරුන් ඇතුලු  ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජික නිලධාරී මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.