ෆේස්බුක් නියාමනයට අපට බලයක් නැහැ - TRC

ෆේස්බුක් නියාමනයට අපට බලයක් නැහැ - TRC

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරීමේ හැකියාවක් හෝ බලයක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට නොමැති බවත් ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධව සෘජුවම බලපෑමක් කිරීමේ හැකියාවක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට නොමැති බවත් එහි අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා පවසන්නීය.

සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධව සෘජු බලපෑමක් කිරීමේ හැකියාව නැත්තේ ඒවා ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක වීම නිසා බවද ඇය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන දේ සම්බන්ධව මෙරට දුරකතන ක්‍රියාකාරී ආයතනවලට වගකීමේ හැකියාවක් නොමැති බවත්, ඔවුන්ගේ ජාලය තුළ සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම පමණක් සිදුවන බව අධ්‍යක්ෂවරිය පැවසුවාය.

සමාජ මාධ්‍ය ජාලා අතුරින් මෙරට 80%ක්ම භාවිත වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය බවත්, ඒ නිසා ෆේස්බුක් සම්බන්ධව වැඩිපුරම ගැටලු පවතින බවද සඳහන් කළාය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි ලැබෙන බවත් එම කොමිෂන් සභාවට හැකියාව ඇත්තේ එම පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලන ලෙස අදාළ සමාගම්වලින් ඉල්ලීමක් කිරීමට පමණක් බවත් ඇය කියන්නීය.

යම් අයකුට ෆේස් බුක් සමාජ මාධ්‍යයේ පළවූ යමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ අසාධාරණයක් සිදුවූයේ නම් අදාළ සමාගමටම ඒ බව තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන්ම පැමිණිලි කිරීමේ දී ඊට ප්‍රමුඛතාව ලැබෙන බවද සඳහන් කරන අධ්‍යක්ෂවරිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සම්බන්ධව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි එම සමාගමට දැනුම්දීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇතැයිද ඇය කීවාය.

(aruna.lk)