නාරායණ නම් පඬිවරයෙකු විසින් විරචිත උත්කෘෂ්ට සංස්කෘත ග්රන්ථ රත්නයක් වන 'හිතෝපදේශය' වූකලී භාරත දේශයේ විසූ සුදර්ශන නම් රජුගේ දරුවන්ට නුවණ දීම නිමිති කොට බිහිවුණකි.මෙය ක්‍රි:ව:900යට පසුව රචිත වූවක්ය යනු විද්වතුන්ගේ සසාධක නිගමනයයි. කල්පනාව දල්වන මේ ආලෝක ශ්ලෝකය එම කෘතියේ ප්රස්තාවිකාවෙහි හමුවෙයි.
හීයතේ හි මතිස්තාත, හීනෛඃ
සහ සමාගමාත්
සමෛශ්ච සමතාමේතී විශිෂ්ටෛශ්ච
විශිෂ්ටතාම්
එහි තේරුම මෙන්න.
"බුද්ධි හීනයන් ආශ්රයෙන් බුද්ධිය පිරිහෙයි. සමාන බුද්ධිය ඇත්තවුන් ආශ්රයෙන් සම බුද්ධික වෙයි. විශිෂ්ට බුද්ධිමතුන් ආශ්රයෙන් අති විශිෂ්ට බුද්ධිමත්තු වෙත්."
අවුරුදු දහසකටත් වැඩි කලකට පෙර රචිත ශ්ලෝකයක් වුවද එහි ගැබ්වුණු උපදේශ රත්නය අදට හෙටට පමණක් නොව හැම කලකටම වලංගු නොවේද?
නුගේගොඩ Lotus පොත් හල තම ප්‍රශාන්ත සන්ථාගාරය කොට ගත් නිල නොලත් අප සප්ත මිත්‍ර සංසදයට අයත් සාමාජිකයන් සත් දෙනම මුල සිටම විශුද්ධ බුද්ධි මන්දිරයක සෙවණේ විශිෂ්ට බුද්ධිමතුන් පරම්පරාවක ආශ්‍රය, ආභාසය, ආවේශය හා ආලෝකය අත්පත් කර ගැන්මට තරම් භාග්‍යවන්තවීම කවර ආශ්චර්යක්ද? එය එවන් විස්මයාවහ භාග්‍යයක් කොට දක්නේ ඇයි? සුනන්ද මහේන්ද්‍ර, අජන්තා රණසිංහ, ආනන්ද . කේ . විජයතුංග (බණ්ඩාර විජයතුංග), දයාරත්න රණතුංග, අශෝක කොළඹගේ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සහ මා යන එකී මිත්‍ර සප්තකයම පස් වන දශකයේ පශ්චිම භාගයේදී ස්වකීය කලාත්මක, සෞන්දර්යාත්මක හා නිර්මාණාත්මක පදවීතිහාරය එකට ආරම්භ කළ Radio Ceylon හෙවත් ලංකා ගුවන්විදුලිය නම් මාධ්‍ය මන්දිරය එවක බුද්ධි මන්දිරයක්ව විරාජිතව පැවති හෙයිනි. බහුශ්‍රැත උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ විශිෂ්ට ඥාන සම්ප්රදානයන් මගින් ශ්‍රාවක ජනයාගේ භාව මණ්ඩලය හා ඥාන මණ්ඩලය පුළුල් කිරීම තම ඒකායන පරමාර්ථ කොට ගත් මාධ්‍ය මන්දිරයක් බුද්ධි මන්දිරයක් සේ හැඳින්වීම අත්‍යන්ත අන්වර්ථ නොවේයැයි කාට නම් කිය හැකිද?
මට මෙවේලේ විශ්ව විශ්‍රුත ජර්මන් දෘශ්‍ය කාව්‍ය කර්තෘ Bertolt Brecht (බර්ටෝල් බ්‍රෙෂ්ට්)ගේ හෘදයංගම කුඩා පැදියක් සිහියට නැගෙයි. එහි ඉංග්‍රීසි පරිවර්තනය නම් කොට ඇත්තේ You Little Box යනුවෙනි. එය වනාහි හිට්ලර්ගේ නාසි හමුදාවෙන් දිවි බේරා ගැනීම සඳහා පලා යන ඔහු තමා ලද අත්දැකීමක් ඇසුරෙන් ලියූ පැදියකි. 'පුංචි පෙට්ටිය' නමින් බ්‍රෙෂ්ට් හඳුන්වන්නේ ගුවන්විදුලි යන්ත්රයයි.
You little box, held to me when
escaping
So that your valves should not break,
Carried from home to ship from ship
to train,
So that my enemies might go on
talking to me
Near my bed, to my pain
The last thing at night, the first thing in the morning,
Of their victories and of my cares,
Promise me not to go silent all of a sudden.
එහි සිංහල භාවානුවාදය මෙසේයි.
මගේ පුංචි පෙට්ටිය ඔබ
බදා ගතිමි පලා යද්දි
ඔබේ වෑල්ව් නොබිඳෙන ලෙස.
ගෙදර ඉඳන් නැව තුළටත්
නැවේ ඉඳන් දුම්රියටත්
මං ඔබ අරගෙනම ගියා,
සතුරන්ගේ රහස් කතා
එක දිගටම අසනු පිණිස.
රැයේ අගින් ඉන්නෙත් ඔබ,
උදේ මුලින් ඉන්නෙත් ඔබ,
මගේ දුකට මගෙ ඇඳ ළඟ.
උන් ලද ජය ගැන නොකියා,
මගෙ රැකවරණය නොතකා,
නිහඬ නොවනු හිටිහැටියේ.
පොරොන්දු වෙනු මැන එය මට,
මගේ පුංචි පෙට්ටිය ඔබ.
(මුල් යුගයේ වූයේ valves සහිත ගුවන්විදුලි යන්ත්‍රය.)
අප මිත්‍ර සංසදයට අයත් සත් දෙනා අතරින් අසෝක කොළඹගේ සකි සඳාණන් හැර සෙසු සය දෙනාම නමෝ විත්තියෙන් එදා ලංකා ගුවන්විදුලියේ උණුසුම ලද්දේ ගුවන්විදුලි යන්ත්‍රයක් අහිමි ගෙවලින් බිහිවුණු දරුවන් වශයෙනි.'කොළඹින් කතා කරමි' 'කොළඹින් කතා කරමි' යන ආරම්භක සිංහල ආකාශ ආමන්ත්‍රණය වායු තරංග මාලා ඔස්සේ මෙරට දනන්ගේ කන්වලට ඇසී ගියේ අප මවු බිමෙහි ප්‍රතිෂ්ඨාපිත ප්‍රථම ගුවන්විදුලිය වූ ලංකා ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයාගේ කට හඬිනි. ඒ ඓතිහාසික ගුවන්විදුලි පෞරුෂ්‍යය වන ඩී . එම් කොළඹගේ නාමධේය මහාශයන්ගේ ඖරස පුත්‍රයෙකු වීමේ මහානිසංසය වූකලී අප සන්මිත්‍ර අශෝක කොළඹගේ සහෘදයාණන් පැටි වියේ සිටම ගුවන්විදුලි යන්ත්‍රයක උරුමක්කාරයෙකු වීමය. සුනන්ද මහේන්ද්‍රයන් මෙන්ම මා ද කුඩා කල දුකසේ ගුවන්විදුලිය ඇසුවේ ප්‍රාථමික පරිපථයක් අනුව තැනුණු Crystal Set නමින් හැඳින්වුණු උපකරණයක් උපයෝගී කර ගනිමිනි.
(Crystal යනු කඩතොලු කුඩා ගලකි. මීටරය ඇල්ලුවේ තඹ කම්බි තුඩක් එම කඩතොලුවල ගෑවීමෙනි. එය ජර දුකකි.)
පළමු හා එකම විද්‍යුත් මාධ්‍ය ආයතනය ලෙස එකල වොරැඳුණු ලංකා ගුවන්විදුලිය නම් සරු බිමට එකට බට, සම වියේ සිටි, අප බද්ධ මිත්‍ර සප්තාංකුරයම එක සේ ලියලා වැඩී ගියේ එහි වූ ළමා පිටිය නම් සාර සරසියේ සාරයෙනි.
එදා සතියේ දින හතේම සැඳෑ සමයේ ගුවන්විදුලි ළමා පිටි සතකි. ඒවා මෙහෙයවූ ඇසූපිරූතැන් ඇති, දුලබ පිළිබන් නැණින් බැබළුණ මාධ්‍ය විශිෂ්ටයන් ඇමැතුණේ 'අයියා' යන ආදර නමිනි. ඒවාට සහභාගී වූ ළමා සාමාජිකයෝ නංගිලා මල්ලිලාය. එම ළමා වැඩසටහන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ, ආනන්ද සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, එච්.එම්.ගුණසේකර, මඩවල එස්. රත්නායක, තිලක සුධර්මන් ද සිල්වා ආදි අයියලා පිරිස ප්‍රතිභා සම්පන්නයෝය. බහුශ්‍රැතයෝය. විශිෂ්ටයෝය.
ඩී ඩී ඩැනී, ශාන්ති දිසානායක, තිලකසිරි ප්‍රනාන්දු, එම්.ආරියදාස, ධර්මසේන ගීකියනගේ, එම්. එඩ්වඩ් පෙරේරා, කේ.නඩරාජා, පියදාස අතුකෝරල, ඒ.ජේ.කරීම්, එම්.ඒ.පියදාස, එම්.ඩී. චන්ද්‍රපාල ආදි කීර්තිමත්, ප්‍රතිභා සම්පන්න සංගීතඥයෝ වනාහි තනු තැනීමෙන් හා සංගීතය සැපයීමෙන් ගුවන්විදුලි ළමා ගී සම්පතට ජීවය දුන් ආදරණීය අයියලා කැලකි.
සංස්කෘත භාෂාවේ එන 'ද්විජ' යන වචනය 'දෙවරක් උපදින' (ද්වි+ ජ) යන අරුත දෙන්නකි. බමුණා, පක්ෂියා සහ දත් හඳුන්වන සමාන පදයක් ලෙස සකු බසෙහි 'ද්විජ' යන්න යෙදෙන්නේ ඒ අරුතිනි. පාලි බසෙහි එය 'දිජ' නම් වෙයි. මවු කුසින් උපදින බමුණා උපනයනයෙන් (පූන නූල පැලඳීම) යළි වරක් උපදින බව සැලකේ. වරක් බිත්තරය ලෙස උපදින පක්ෂියා යළි වරක් බිත්තරයෙන් ඉපදෙන්නෙකි. මුලින් කිරිදත් ලෙස උපදින දත් යළි වරක් නියම දත් ලෙස උපදී. පැරණි සිංහල කවි බසෙහි බමුණා, පක්ෂියා හා දත් යන අරුත් දෙන සමාන පදයක් ලෙස යෙදෙන 'දද' යන වදන 'ද්විජ' යන්නෙන් බිඳුණකි.
මගේ සන්මිත්‍ර අජන්තාද ද්විජයෙකි. දෙවරක් උපන්නෙකි. පළමුව මවු කුසින් උපන් ඔහු යළි වරක් ගුවන්විදුලියේ සරස්වතී මණ්ඩපයෙන් උපන් හෙයිනි.
නිසග සිදු පිළිබන්
උගත් ගත් විමල් නේ
නොමඳ බියොවුදු හේ වේ
වෙසෙසින් මෙකව් සපුවට
මෙතෙක් අපට කියවා ගන්නට වාසනාව ලැබී ඇති පැරණිම සිංහල පොත 'සියබස් ලකර' ය. මා ඉහත උපුටා දැක්වූ පැදිය එහි එන්නකි.නව වන සියවසේ ලියැවුණු එය සංස්කෘත කාව්‍ය විචාරක ශ්‍රීමත් දණ්ඩීන්ගේ 'කාව්‍යාදර්ශ' නම් අලංකාර ශාස්ත්‍ර ග්රන්ථයෙහි ස්වාධීන සිංහල අනුවර්තනයකි. එය එවක අනුරපුර රජ කළ සේන සලමෙවන් රජුගේ කෘත්‍යයකි එතෙක් නිවහල්ව ගලා ආ හෙළ කව් නදියේ මිරිදියට සකු කව් සයුරේ කරදිය මුසුවීම ඇරඹුණේ මෙතැන් සිටය.
මා දුන් ඒ නිදසුන් පැදිය සිය වස් ගණනක් පැරණිය. එහෙත් එය නඟන අරුත අදත් අලුත්ය. රමණිය. නිර්මාණකරණය පිළිබඳ පරම සත්‍යයක් ඉන් ගම්‍යමාන වන හෙයිනි. සෞන්දර්ය රසෝද්පාදක කුමන නිර්මාණකරුවෙකු වුවද සතු විය යුතු උත්තුංග ගුණාංග තුනක් මේ පැදි අරුතෙහි ගැබ්ව ඇත. උපන් හපන්කම,අරුත්සරු පොත් ඇසුර, නොනැවත නිමැයුමෙහි යෙදීම යනු ඒ උතුම් ගුණ තුනය.
අජන්තා යනු මේ ත්‍රිගුණ නිර්මාණ සංකල්පය ප්රත්යක්ෂ සත්‍යයක් බවට පත් කළ පරම මූර්තියකි. ඔහු නිසර්ග සිද්ධ ප්‍රතිභා සම්පන්නයෙකි. පැරණි සිංහල සම්භාව්‍ය ගද්‍ය පද්‍ය ග්රන්ථ සාහිත්‍යය පරිශීලනයෙන් විකසිතව ගිය පරිකල්පනයෙන් යුතුව රුසිරු සිතු සිත්තම් මැවූවෙකි. මියුරු පද ගෙත්තම් ගෙතූවෙකි. එසේම ඔහු දිවි හිම් තෙක් නිරන්තරයෙන් නිර්මාණ අභ්යාසයෙහිම තත්පර වූවෙකි. ඔහු පරෝපම නොවී ආත්මෝපම වූයේ එහෙයිනි.
කිසි දා සරසවියක් තුළට පිවිසෙන වරම් නොලද අජන්තා තුළට සරසවි තොමෝ පිවිසියේ ඉහත කී ගුණත්රයට ආරූඪ වෙමිනි. අජන්තා ගුවන්විදුලියට පිවිසෙන්නේ ඒ ආරූඪයේ ආරූඪයෙනි. එහි ඉෂ්ට ඵලය වූයේ ඔහුට කරුණාරත්න අබේසේකර අයියාගේ 'සරස්වතී මණ්ඩපය' ළමා පිටියේ නිත්‍ය සාමාජික වරම උරුම වීමය. එහිදී ඒ ළමා වැඩසටහන සඳහා අවශ්‍ය ගීතයක් ලිවීමට කරුණාරත්න අබේසේකර අයියාගෙන් ඉඳහිට ඔහුට ඇරයුම් ලැබුණි. එය දුර්ලභ භාග්‍යයක උදාවකි. අංකුර ළමා ගීත රචකයෙකු වශයෙන් අජන්තා අතින් ලියැවුණු ඇතැම් ගීතයක් තුළින් ඔහුගේ ගේය කාව්‍ය නිර්මාණ ශක්ති බීජය හඳුනා ගත් කරුණාරත්න අබේසේකර අයියා පසුව ඔහු තම වැඩසටහනේ නිත්‍ය ගීත රචකයෙකු බවට පත් කර ගති. එය වූකලී, එකල දස දිග කිතු ගොස පතළ, මධු භාණී සන්නිවේදක, ජනප්‍රියතම ගේය කාව්‍ය රචක කරුණාරත්න අබේසේකර නම් ප්‍රෞඪ ගුවන්විදුලි පෞරුෂ්‍යයේ විසල් හදවත පිළිබිඹු කරන උදාර සාධකයක් නොවේද?
"සොම්නස දොම්නස පවසන ගොළු බස මල්
මල් නම් ජයරත්න ජයරත්න නම් මල්"
අබේසේකරයන්ගේ රසාර්ද්‍ර හදෙහි පිළිසිඳ ඇඟිලි තුඩගින් ඉපිද ඔහුගේම ශ්‍රවණ රමණී හඬින් ගුවන රැව් දෙන වෙළඳ දැන්වීමද එසේ කවියක් වූයේ "වාක්යං රසාත්මකං කාව්‍යම්"
(රසවත් වැකිය කවියකි.) යන සකු කවි උපදෙස නිබඳ ඔහු තුළ නිනද වුණු නිසා බැව් නිසැකය.
ඉඳ හිට ගුවන්විදුලි ළමා ගීතයක් ලිවීම අරඹා අනතුරුව නිත්‍ය ගුවන් විදුලි ළමා ගීත රචකයෙකු ලෙස චිර පරිචය ලත් අජන්තා තම ගේය කාව්‍ය කලාව උද්දීප්ත කර ගත්තේ බද්ධ ප්‍රේමයෙනි. අවසානයේ අජන්තාගේ ඒ අධිෂ්ඨාන පූර්වක සෞන්දර්ය ව්‍යායාමය මල් පල ගැනුණේ සිංහල ගේය කාව්‍ය වංශයේ අසදෘශ පෞරුෂ්‍යයක් ලෙස ඔහුගේ රමණීය නාමය අමරණීයත්වයට පත් කරමිනි.
අජන්තා සමග ගුවන්විදුලියට පිවිසි අප මිත්‍ර සප්තකයේ තක්සලාව වූ ළමා පිටිය මෙන්ම අප සැමට එක සේ ආභාසය හා අභ්‍යාසය දුන් තවත් සොඳුරු ගුරුගෙදරක් එකල ගුවන් විදුලියේ වෙළඳ සේවයෙහි විය. 'රේඩියෝ සඟරාව' නමින් එය ආරම්භ කළේ සිංහල සිනමාවේ විශිෂ්ට පෞරුෂ්‍යයක් ලෙස ප්‍රකට කේ.ඒ.ඩබ්ලිව් පෙරේරයන්ය. එකල ඔහු ගුවන්විදුලි වෙළෙඳ සේවයේ නිබන්ධ සම්පාදකයෙකි. සාහිත්‍ය නිර්මාණය, සාහිත්‍ය පරිවර්තනය හා විචිත්‍ර වාග් ප්රකාශනය යන ත්‍රිවිධ කලාවේ ප්‍රායෝගික ප්රාගුණ්යය උදෙසා එදා 'රේඩියෝ සඟරාව' අපට ආවේශ උල්පතක් සේම අභ්‍යාස මණ්ඩපයක්ද විය. සුනන්ද මහේන්ද්‍ර, තිස්ස ලියනසූරිය (විශිෂ්ට සිනමා අධ්යක්ෂ) අජන්තා රණසිංහ, ආනන්ද කේ.විජයතුංග (බණ්ඩාර) අශෝක කොළඹගේ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සහ මම එහි නිත්‍ය සාමාජිකයෝ වීමු. අජන්තාගේ සෞන්දර්ය චරිතයේ නිර්මාණ වෛවර්ණය සඳහා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරයන්යන්ගේ සමාශ්රය මහත් සේ උපස්තම්භක වූ බැව් නියතය.
5 වන දශකයේ මුල් භාගයේ 'අගනුවර හෙළ කලා කෙත' නමින් බිහි වූ කලා සංවිධානයක් මගින් එකල භද්‍ර යෞවනයේ පසු වුණු සාහිත්‍ය පිපාසාර්ත අපගේ සිත් සතන් එය වෙතට ඇද ගන්නා ලද්දේ අයස්කාන්තයක් සේය. එහි නිර්මාතෘවරයා වූයේ එකල 'අගනුවර තරුණ කවි සමාජයේ' ජනප්‍රිය තරුණ කවියෙක් වූ නිමල් සරච්චන්ද්‍රයන්ය.නිමල් සරච්චන්ද්‍රයෝ ටික කලක් ගුවන් විදුලියේ නිබන්ධ සම්පාදක තනතුරද හෙබවූවෙකි. එච්.එම්. කුඩලිගම කවියා එහි
අනුශාසකයෝය එහි සභාපති ධුරය දැරුවේ විල්සන් හෑගොඩ කවියාය. මර්වින් සේනාරත්න සහ නිමල් සරච්චන්ද්‍ර යන කවීහු දෙදෙනා එහි සම ලේකම්වරුය.එකල 'හෙළ කලා කෙත' මගින් 'අලුත් මුහුණු' නමින් කෙටිකතා එකතුවක් සහ 'කවි' නමින් පත්තරයක් ද පළ කෙරුණි. අජන්තා ඇතුළු අප මිත්‍ර සප්තකයම එහි සාමාජිකයෝ වීමු. 'දීපානි' මුද්‍රණාලයාධිපති අශෝක බටදූව ආරච්චි, 'ශ්‍රී දේවී' මුද්‍රණාලයාධිපති මහේන්ද්‍ර සේනානායක, සුප්‍රකට ලේඛක හා සිනමා විචාරක පියසිරි නාගහවත්ත යන සහෘදයෝද එකල අගනුවර හෙළ කලා කෙත තුළ අප සමග එකට සිටි නව යොවුන් සාමාජිකයෝය. අජන්තාගේ නිර්මාණ දිවි පෙවෙත නීරෝග කළ, සප්‍රාණ කළ එක් ආවේශ ආලවාලයක් ලෙස 'අගනුවර හෙළ කලා කෙත' අනුස්මරණීය වෙයි.
එක්තරා අවධියක මහාචාර්ය තිලක් රත්නකාර නිවස අප සප්ත මිත්‍ර සංසදයේ ප්‍රශාන්ත සන්ථාගාරය බවට පත් වූයේ සුනන්ද මහේන්ද්‍රයන් හා ආනන්ද කේ. විජයතුංගයන් යන රත්නකාර ශිෂ්‍ය රත්නයන් යුගලය නිසාය. තිලක් රත්නකාරයෝ වනාහි අප සංසද සහෘදයන් දෙදෙනා කොළඹ ආනන්ද විද්‍යාලයේ එකට උගන්නා සමයේ ඔවුන්ගේ සම්භක්ත ගුරුතුමෙකි. සාහිත්‍ය, සංගීත, කලා රසයෙන් ආර්ද්‍ර හෘදයක් සතු තිලක් රත්නකාර ආචාර්යවරයාණෝ ඉංග්‍රීසි සිංහල දෙබසෙහිම හසළයෝය. පෙර අපර දෙදිගම සාහිත්‍යය විෂයෙහි බහුශ්‍රැතයෝය. අපූරු දිවි අරුත් පළ කරන කෙටිකතා, සිත් පහන් කරන කව් නළු හා ගීත රාශියක් බිහි කිරීමෙන් කිත් පැසසුම් ලද්දෝය. නිරුදක කතරක ගමන් ගත් එක්තරා අවධියක අප හැමට මඟ සලකුණු පෙන්නූ සාත්තු නායකයාණෝ එතුමෝම වූහ. අජන්තා විශිෂ්ටයෙකු බවට පත් කිරීමෙහි ලා තිලක් රත්නකාර ආචාර්යතුමන්ගේ ශාස්ත්‍රීය ආශ්රයෙන් ලත් ආභාසය, ආවේශය හා ආලෝකය මහත් සේ පිටිවහල් වූ බැව් නිසැකය.
රත්නකාර නිවස සරස්වතී ආශ්රමයක් බවට පත් වූයේ දිවයිනේ සුප්‍රකට කවියන්, ලේඛකයන්, සංගීතඥයන්, නාට්‍යකරුවන්, පුවත්පත්කලාවේදීන් හා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් නිරන්තරව එහි ආ ගිය බැවිනි. උත්කෘෂ්ට පඬිවරුන් දෙදෙනෙක් වූ මහා පඬි ශ්‍රී චාර්ල්ස් සිල්වාණන්ගේ හා මහා කවි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයාණන්ගේ සතත සම්ප්‍රාප්තිය මංගල දර්ශනයක් විය.
කවි, කෙටිකතා හා ගී ලියමින්, පෙර අපර දෙදිග සාහිත්‍යය රස විඳිමින් එදා රත්නකාර නිවසෙහි ගෙවූ කල දවස් අපේ ජීවිතයේ වසන්ත සමයක් වැන්න ඒ වසන්තය නිසා එවක නව යොවුන් වියේ පසු වුණු අපගේ ජීවිතය අපමණ මිහිරි විය.
ලංකාවේ ඇරඹුණු පළමු කාන්තා පත්‍රය 'වනිතා විත්ති' විය. එය වූකලී එකල ලංකාදීප පුවත්පත් සමූහයේ සියලු වගකීම් භාරය දැරූ පුවත් පත් කලා වෙසරද ඩී. බී. ධනපාල මහාශයන්ගේ පුරෝගාමී ප්රයත්නයකි එවක එහි කතුවරිය වූයේ මහාචාර්ය රත්නකාරයන්ගේ බිරිය වන ශ්‍රියා රත්නකාර මහත්මියයි.ඒ දිනවල එම පුවත්පතෙහි පළ වුණු කවි පිටුව සම්පාදනය කළේ 'අගනුවර හෙළ කලා කෙතේ' නිර්මාතෘවර අප සහෘද නිමල් සරච්චන්ද්‍රයන්ය. එකල රත්නකාර නිවසේ සද්ධිවිහාරිකයන් ලෙස කල් ගෙවූ සප්ත මිත්‍ර සංසදයේ ඇතැමුන් එම කවි පිටුවට රචනා සැපයූයේ කාන්තා නම් ආරූඪ කර ගනිමිනි. සුනන්දා, ආනන්දනී, අජන්තා, කරුණා සහ අශෝකා එදා එම කවි පිටුවට නිතර කවි ලියූ නව යොවුන් කිවිඳියෝය.මේ කිවිඳියෝ පිරිසම එකල 'ඥානාර්ථ ප්‍රදීපය' පුවත්පතේ කාන්තා පිටුවටද කවි ලියූහ.එසමයේ එහි කවි පිටුව සකස් කරන ලද්දේ රැලෙක්ස් රණසිංහ(දුර්ලභ ගණයේ සෞන්දර්ය ප්‍රතිභා පෞරුෂ්‍යය) සහ කේ. ෆ්‍රැන්සිස් (ගුවන් විදුලියේ ක්‍රිස්තියානි ආගමික අංශ ප්‍රධානි) යන අප සහෘදයන් දෙදෙනා විසිනි.
හාස්‍ය රසාවිෂ්ටව අට්ට හාස නඟමින් ළඟ ඉන්න එකාගේ ඇඟ තළමින් කෙනිත්තීමේ උපන් ගෙයි ගතිය මෙන්ම තවත් පුරුද්දක් අජන්තා තුළ විය. එනම් සිංහල සම්භාව්‍ය සාහිත්‍ය වහරේ එන ඇතැම් යෙදුම් ඇතැම් විට තම කතාබහේදී යෙදීමෙන් හා තම ප්‍රියතම කව් ගී ඛණ්ඩ අභිරුචියෙන් හඬ නගා ගැයීමෙන් පරමාස්වාදයක් ලැබීමයි.දිනක් අජන්තාත් මාත් ආනන්දගේ බෝඩිම් කාමරයේ ඉන්නා වෙලාවක අජන්තා තම මතකයට නැඟුණු කාව්‍ය ඛණ්ඩයක් යළි යළිත් හඬ නඟා ගයන්නට පටන් ගත්තේ අභිරුචියෙනි. එය වූකලී ගුණදාස අමරසේකරයන්ගේ 'අමල් බිසෝ' කාව්‍යයෙහි 'විමලාගේ නෙතු සඟල' යන මැයෙන් එන කාව්‍ය රචනාවට ඇතුළත් පද්‍ය ඛණ්ඩයකි. ඔහු එය අභිරුචියෙන් නැවත නැවත ගැයුවේ මන්තරයක් 108 වරක් ජප කරන්නාක් මෙනි.
ගන නීල රුවනාර
විමලාගෙ නෙතු සඟල
නෙතු කැනින් බැති පෙමින්
ලෝ ඇඳිලි බැඳ තබන
ගන නීල රුවනාර
විමලාගෙ නෙතු සඟළ
අජන්තාත් මාත් එදා නිවෙස් බලා ගියේ පසු දා යළි මුණ ගැසෙන පොරොන්දුවෙනි.ඊ ළඟ දින මා ආනන්දගේ බෝඩිමට ගියේ හවස් වරුවේය. බෝඩිම ඉදිරි පිට වාහනයකි. ආනන්ද හා අජන්තා එයට බඩු පටවති. මම එතැනට ළං වීමි. කාමරයේ සියලු බඩු වාහනය තුළය. බෝඩිම හිමි ඇන්ටිගේ ගෙදර කිසිවෙක් පෙනෙන්නට නැත. ආනන්ද හා අජන්තාද කතා නැත. වාහනයට නැගුණු මමද ඔවුන් සමග පිටත් වුණෙමි.
සිදුව ඇත්තේ කුමක්ද? වහා වෙනත් බෝඩිමක් හොයා ගෙන යන ලෙස පෙර දින රෑ බෝඩිමේ ඇන්ටි ආනන්දට දන්වා ඇත්තේ කෝපයෙනි. මෙසේ හදිසියේ උන් හිටි තැන් නැතිව ගොසින් ඇත්තේ අජන්තා කලින් දා දවල් 108 වාරයක් මැතිරූ'විමලාගෙ නෙතු සඟළ' මන්තරේ අනුහසිනි. බෝඩිම හිමි ඇන්ටිගේ යෙහෙළියක වන අවිවාහක වැඩිහිටි ඇන්ටි කෙනෙකු ඒ ගෙදර වසන බව අපි දැන සිටියෙමු.බෝඩිම හිමි ඇන්ටි සමග ඇය විසුවේ ආනන්දගේ කාමරයට අල්ලපු කාමරයේ බවද අපට රහසක් නොවීය. ඒත් ඇයගේ නම විමලා බව අජන්තා හා මා පමණක් නොව ආනන්දත් නොදැන සිටියේය.
අජන්තාගේ පළමු මුද්‍රිත කෘතිය වන 'තිවංක රේඛා' නම් වූ කවි එකතුව මුල් වරට පළ වූයේ 1964 වසරේදීය.ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය මෙන්ම අවසාන කාව්‍ය සංග්රහයද එය විය. ඉන් පසු නවකතා කෙටිකතා හැර සහෘදයන් අතට පත් වූයේ ඔහුගේ ගීත සංග්රහයන්මය. 'තිවංක රේඛා' කෘතියට ලියූ පෙරවදනේ කරුණාරත්න අබේසේකර සූරීහු මෙසේ පවසති.
"....ශබ්ද මාධූර්යටත් වඩා අර්ථ රසයටත් දර්ශනයටත් බරව ඔහු අතින් ලියැවී ඇති මේ රසබර පැදි වැල් මා කියවූයේ කතර පිපාසයෙන් තනිවූවෙකු දිය දෝතක් බොන තෘප්තිමත් භාවයකිනි."
මගේ සන්මිත්‍ර අජන්තා අග්‍රේසර වාග්ගේයකාරයෙකු මෙන්ම මහාර්ඝ දාර්ශනික කවියෙකු වීමටද උපනිශ්‍රය ඇතිව ඉපිද අසදෘශ ගේය කාව්‍ය රචකයෙකු වීමෙන් පමණක් තෘප්තව අවසන් සුසුම් හෙළීම කොතරම් ඛේද ජනකද? කරුණාරත්න අබේසේකර සූරීන් 'තිවංක රේඛා' තුළින් විනිවිද දුටුවේ අජන්තාගේ කවි ශක්තිය මෙන්ම දාර්ශනික චින්තාවයි.
අජන්තා පිළිබඳ මෙම අව්‍යාජ ඇගැයුම මගින්අබේසේකර සූරීන්ගේ බුද්ධි පරිපාකය මෙන්ම විසල් හදවතද මනාව විශද වෙයි.
මම අජන්තාගේ පණ සිඳුණු මුහුණ නොබැලුවෙමි. තවමත් ඔහු මගේ සිත තුළ හිඳ අට්ට හාස නඟයි.
ඉඳ හිට මට තළමින් කොනිත්තයි.. ඔහු තවම මා සමගය.
ඇරයුම් නොලැබ මෙහි ආවෙමු අපි දෙදෙනා
යන්නට ගියේ ඔබ ඉන් අවසර නොගෙනා
අමතනු ඇසේ තවමත් නාමෙන
කරුණා
ඉන්නෙමි මමත් එය නෑසෙන දින නොදැනා
හමාර කීමෙන් පසු හමාර බසක්
ප්‍රේමයේ විරහ වේදනාව පිළිබඳ කවි සමයේ එන දෘෂ්ටාන්ත කතා අතර වඩාත් හද හඬවන කතාව වන්නේ සක්වා ළිහිණි යුවළ පිළිබඳ කවි කල්පිත වෘත්තාන්තය යැයි සිතමි. එදාත් මෙදාත් පෙම් වියොව ගැන ලියද්දී කවියන්ගේ සිතින් මේ ශෝකී පුවත ගිලිහී නොගියේ එහෙයින් නොවේද?
සක්වා ලිහිණි යනු ජලචර පක්ෂි විශේෂයකි.සංස්කෘත භාෂාවෙන් 'චක්‍රවාක' නම් වන උන්ගේ පාලි නාමය වන්නේ 'චක්කවාක' යනුයි. මුළු දිවා කාලය පුරාම බද්ධ ප්‍රේමයෙන් යුතුව උනුනුන්ගෙන් නොවෙන්ව හැසිරෙන සක්වා ළිහිණි යුවළට නිශා භාගය එළඹෙත්ම වෙන් වීමට සිදු වෙයි. පෙම්වත්තු දෙදෙනා මුළු රෑ පුරාම ගං දෙතෙරක හිඳ උනුනුන් දෙස බලා ගෙන ළසොවින් හඬති. උන්ගේ කඳුළු ගං දියට මුසුව ගලා යයි. රැය පහන්ව යළි දිවා කාලය උදාවත්ම දෙදෙනා පෙර සේම එක් වෙති. මේ සංයෝග වියෝග චක්‍රය වූකලී සක්වා ලිහිණි යුවළගේ සදා කාලික ජීවන ඉරණමය. එහෙත් ඒ සක්වා ලිහිණි පෙම්වතා වූකලී භාග්‍යවන්තයෙකි. මුළු රැයක් පුරාම තම ප්‍රාණ ප්‍රිය ප්රණයිනියගෙන් වෙන්ව විරහ වේදනාවෙන් පරිපීඩිතව කල් ගෙවීමට සිදු වුවද රැය පහන් වූ සැණින් ඌ හට යළි ඇය හා එක් විය හැකි හෙයිනි.
එම්බා ළබඳ සොහොයුරිය, අසන් මගේ මෙවදන් හදින්! ඔබට පවසන මේ හමාර බසින් මගේ හමාර කීම හමාර කරම්. මසිතින් ගිලිහෙන මේ මතක වත ඔබ නෙතට හසුු වන බව මම ඉඳුරා දනිමි. මගේ එම මතක වත් කැටපත්හි පිළිබිඹු වන්නේ දිවි හිම් තෙක් ප්‍රේමයේ පරාජය විඳිමින් ප්‍රේමයේ විරාජය ගැන ගී ලියූ
අභාග්‍යසම්පන්න සක්වාළිහිණියෙකි.
| කරුණාරත්න අමරසිංහ
(මුහුණ පොතිනි)
සැබඳි පුවත