හිතක මතක - "අජන්තා හා කරුණා"

හිතක මතක - "අජන්තා හා කරුණා"

'කරූ' හෝ 'අමරේ' යන පුරුෂ වාචී සුහද කෙටි නමින් මා ඇමතූ අමතන මගේ මිතුරෝ සුලබයහ. එහෙත් 'කරුණා' යන ස්ත්‍රී වාචී සුහද කෙටි නමින් මා නිරතුරු ඇමතුවේ එකම එක මිතුරෙක් පමණි. ඔහු හා මා අතර මිතු දම පිළිසිඳ සුහුඹුල්ව ලියලා වැඩුණේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය නම් ආලවාලය තුළය. මගේ ගමේ ඉස්කෝලේ වන කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ පහේ පන්තියෙන් එතෙරව ආ මට ඔහු පළමුව මුණ ගැසුණේ ශාන්ත ජෝන් විද්‍යාලයේ හයේ පන්තියේදීය.

ඔහු බාලාංශයේ සිටම එම විදුහලේ උරුමක්කාරයෙකි. අප දෙදෙන මෙදිවියේ පළමුව හමුවූ දින පටන් ඔහු මගෙන් අවසන් වරට සමු ගත් දින තෙක්ම ඒ මුවින් ඇසුණේ 'කරුණා' යන දයාලූ ඇමතුමම මිස අනිකක් නොවේ. එසේම ලෝ පතළ තම පුද්ගල සංඥා නාමයද පුරුෂ වාචී නොකොට ස්ත්‍රී වාචී ලෙසම භාවිත කිරීමට අභිරුචියක් දැක්වූ ඔහු එය තමාට කීර්ති නාමයක් කොටද සැලකීය. ඔහු වූකලී මගේ අනුකම්පක , උපකාරක , සමාන සුඛ දුක්ඛ , අත්ථක්ඛායී මිත්‍ර , එසේම, අසමසම විශ්ව සෞන්දර්ය නිර්මාණ දායාදයක මහිමයෙන් ලෝ දනන් තුඩ තුඩ රැව් දුන් 'අජන්තා' යන කීර්ති නාමයෙන් විරාජිත, අජන්තා රණසිංහයෝය. මඳ නලිනුදු සැලෙන වෙණ තත් වැනි හද තත් ඇති සියල් ලෝ රසික ජන මනස රසයෙන් මුස කරන 'අජන්තා' බිතු සිතුවම් රූ සේම දිවි හිම් තෙක්ම දුක සැප දෙකෙහිදීම මට පිටු නොපෑ සොඳුරු දිවමන් මිතු සිතුවම් රුව වූයේ අජන්තාය.

'යහළු' වර්ග දෙකක් වෙසෙසා දැක්වෙන වෙසෙසුන් පද දෙකක් සිංහල වහරේ ඇත. එකක් 'අඹ' යහළුය. අනික 'කෙළි' යහළුය.'යහළු' නම හැදෙන්නේ යහ + ළ දෙක එක් වීමෙනි. යහපත් ළයක් ඇත්තා යනු එහි තේරුමයි. 'අඹ යහළු' වහරෙහි 'අඹ' යන වෙසෙසුන් පදය සෑදී ඇත්තේ සිංහල හෝඩියේ 'ඹ' අකුරේ බිහිවීම ඇසුරෙනි. 'ඹ' වනාහි 'ම'යන්නේ මුල බාගය හා 'බ'යන්නේ පසු බාගය එකට බැඳීමෙන් නිපැදුණු අලුත් අකුරකි. ඊට සඤ්ඤක 'බ'යන්න කියනුයේ එබැවිනි. සඤ්ඤක යනු සංයෝගයයි. 'මබ' සංයෝගය උච්චාරණ විපර්යාසයෙන් ම්බ+අම්බ වී 'අඹ' යන්න නිෂ්පන්න විය. 'අඹ' වනාහි 'සමීපව බැඳුණු' යන අරුත හඟවන සංකේතාත්මක වෙසෙසුන් පදයක් වූයේ එලෙසිනි. 'ම්බ' යන්න 'අඹ' බවට පෙරළීමේ පද සිද්ධිය ශබ්ද ධර්මයට ඉඳුරා අනුකූල වෙයි. මෙය ඉංග්‍රීසියෙහි Bosom Friend වහර සිහියට නඟන්නකි.

'කෙළි' යහළු යනු කෙළි වියේ පටන් සිටින යාළුවා හෝ සැම දා මනසින් කෙළි වියේ පසු වන යාළුවා යන දෙඅරුතම දෙන්නකි.

එකම පාසලේ එකම පන්තියේ එකම ගුරුන්ගෙන් සිප් සතර හදාළ අජන්තාත් මමත් ඔහුගේ දිවි හිම් තෙක්ම අඹ යහළුවෝ මෙන්ම කෙළි යහළුවෝද වීමු. ඔහු මෙලෝ හළේ තම දිවියෙහි දසක දසකයට අයත් සත් වන 'පබ්භාර' (සිරුර ඇදව යන) දසකයේ අග භාගයේය. එහෙත් ඔහු මනසින් කල් ගත කළේ එම දසක දසකාවලියේ දෙවැන්න වන 'ඛිඩ්ඩා'(කෙළිලොල්) දසකයෙහිමය.

හීන්බබා ධර්මසිරි වූකලී 05 වන 06 වන දසක තුළ මෙරට උඩරට නර්තන කලා ක්ෂේත්‍රයෙහි අතිශයින් ජනප්‍රිය නාමයක් විය. දුර්ලභ ගණයේ ආකර්ෂණීය නර්තන කෞශල්‍යයක් උරුම කොට ගත් උඩරට නර්තන ශිල්පියෙකු මෙන්ම කෘතහස්ත නර්තන ආචාර්යවරයෙකු වශයෙන්ද ඔහුගේ කීර්ති රාවය එකල ලක පුරා පැතිර පැවතුණි. පසෙකින් දිස් වන බෙර වාදකයෙකුගේ රුව සමග හීන්බබා ධර්මසිරි නර්තන ශිල්පියාගේ අලංකාර වෙස් නැටුම් විලාසයක් පිළිබිඹු කරන වර්ණවත් විසල් ප්‍රචාරක දැන්වීම් පුවරුවක් එසමයේ ගුවන් තොටුපල , දුම්රිය පොළවල් , ආණ්ඩුවේ කාර්යාල ආදි ප්‍රසිද්ධ ස්ථානවල සුලබව ප්‍රදර්ශනය විය. එය සංචාරක මණ්ඩලයට අයත් වූවක් යැයි සිතමි.

නමින් හීන්බබා වුවද , සිරුරින් මහත් වූත් මිටි වූත් මේ ප්‍රසන්න මුහුණකින් හෙබි නර්තන ශිල්පියා අජන්තාත් මාත් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ එහි නර්තනාචාර්යවරයා විය. අපි දෙදෙනාද ඔහුගේ ගෝලයෝ වීමු. නැටුම් පන්තියේදී අඩි තබන්නට

ඔහු සිසුන්ට අණ දුන්නේ අමුතු තාලයකටය. 'වන්' වෙනුවට ඔහු නිතරම හඬ ගා කීවේ 'ආ - ටූ' කියාය. කවදාවත් ඔහුගේ කටින් 'වන්' කියැවුණේ නැත. පටන් ගන්නේම  'ටූ' වලින්මය. ඔහු 'ආ - ටූ' කියත්ම අපගේ කට කොනකට ඉබේම සිනා නැඟෙන මුත් අජන්තාගෙන් පිට වන්නේ අට්ට හාසයකි. ඒ සමගම මට අපා දුකක් විඳීමට සිදු වෙයි. තම සිනාවට අනුපාන පිණිස ඔහු මිට මොළවා එක දිගට මගේ ඇඟට ගසමින් කෙනිත්තීමට පටන් ගන්නා බැවිනි.

මැඬ ගත නොහැකි වූ උපන් ගෙයි ඇබ්බැහිකම් දෙකක් අජන්තා කෙරෙන් පළ විය. ඉන් එකක් නම් ළඟ සිටින එකාගේ කන් ගොටුව තම දකුණතේ මහපටැඟිල්ලට සහ දඹරැඟිල්ලට හසු කොට ගෙන ටක් ටක් හඬින් එහාට මෙහාට පන්නමින් තීව්‍ර ආස්වාදයක් ලැබීමයි. අනික වනාහි කවර සුළු දෙයක් හෝ සිනා නිමිත්තක් කර ගෙන ඉන් කුල්මත්ව ගොස් අට්ට හාස නඟමින් ළඟ සිටින එකාගේ ඇඟට නොනවත්වා මිට මොළවා ගසමින් කෙනිත්තීමයි. ඔහුගේ නිරන්තර සංචාර සහචරයා වූ බැවින් ඒ නිරා දුක වැඩියෙන්ම විඳින්නට දෛවයෙන් උරුමව තිබුණේ ඔහු සමග එකට චිත්‍රපටි නැරඹූ මේ අභාග්‍යසම්පන්නයා හටමය. අහෝ! මනෝ චිකිත්සක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඔස්ට්‍රියාවේ නොඉපද ලංකාවේ නූපන්නේ ඇයි?

අපගේ උපහාස සිනාව ගැන අමනාපයෙන් සිටි හීන්බබා නැටුම් ගුරුතුමා අප දෙදෙනා බැරි මරගාතේ කරන අඩමාන අඩි තැබිල්ල ඔහුට සමච්චල් පිණිස ඕනෑ කමින්ම කරන්නක් යැයි සිතා දෝ ආශීර්විෂයෙකු සේ කිපී එක්තරා දවසක පිත්තල සෙම්බුවකින් දමා ගැසුවේ අජන්තාත් මාත් නැටුම් පන්තියෙන් පමණක් නොව නැටුම් විෂයෙන්ද සදහටම පලවා හරිමිනි. උඩරට නැටුම් කලාවට එයින් අති මහත් සෙතක් සැලසිණැයි සිතමි.

කාලයාගේ ඇවෑමෙන් අපි දෙදෙනා ගුවන් විදුලි ළමා පිටිය ඔස්සේ දිගු දෙමගක ගොස් දුක සේ රසික දනන් සිත් සතන් වැලඳ ගැන්මේ දුර්ලභ භාග්‍යය අත්පත් කර ගතිමු. නිමල කලා රසයෙන් දයාර්ද්‍රව ගිය හදක් ඇති හීන්බබා ධර්මසිරි ගුරු තුමෝ එකල් වන විට අජන්තාගේත් මගේත් අතිශය ළෙන්ගතු රසිකයෙකු බවට පත්ව සිටියහ. එසේම ඔහු එසමයේ මහාචාර්ය තිලක් රත්නකාරයන්ගේ නිවසේ නිතර නිතර පැවති අපගේ ප්‍රිය සමාගමයන්හිද නිත්‍ය සාමාජිකයෙක් විය. එවැනි ප්‍රස්තාවන්හිදී අපි සියල්ලෝම මේ සුන්දර මිනිසාගේ නැටුමෙන් ගැයුමෙන් රස බසින් ලත් ප්‍රමෝදයෙන් අප්‍රමාණ ලෙස ප්‍රමත්ත වීමු.

සාහිත්‍ය කෘතියක (ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන) එන පාඨයක් යුගයෙන් යුගයට රසික දන මුවග නිතර රැඳෙන්නේත් ලේඛක දනගේ පෑන් තුඩින් නොනැවත විසිතුරුව වැනෙන්නේත් එය අපූරු කල්පනාවක් ගැබ් වූ හෘදය ග්‍රාහී බසින් ප්‍රකාශිත කාව්‍යෝක්තියක් වී නම් පමණි. ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍යයෙහි පහළ වුණු එවැනි කාව්‍යෝක්ති යුග්මයක් මගේ සිහියට නැඟෙන්නේ ඉබේය. ඉන් එකක් නම් Charles Dickens (1812 -1870) ගේ A tale of two Cities (1859) නවකතාවේ පළමු වන පරිච්ඡේදයේ පළමු ඡේදයයි.

D.H.Lawrence (1885 -1930) ගේ

Lady Chatterley's Lover (1928)

නවකතාවේ පළමු වන පරිච්ඡේදයේ පළමු ඡේදය අනිකයි. Charles Dickens ගේ A tale of two Cities නවකතාවේ පළමු ඡේදය ඇරඹෙන්නේ " It was the best of times, It was the worst of times." (එය ඉතාම හොඳ කාලයක් වූවා සේම , එය ඉතාම නරක කාලයක්ද විය.) යනුවෙනි. Lawrence තම නවකතාව පටන් ගන්නේ "Ours is essentially a tragic age, so we refuse to take it tragically." (අප ජීවත් වන්නේ අත්‍යවශ්‍යයෙන්ම ඛේදනීය යුගයක වුවද අපි එය එසේ යැයි නොපිළිගනිමු.) යන වදන් පෙළිනි.

අජන්තාත් මාත් ශාන්ත ජෝන් විදුහලේ S.S.C පන්තියේ ඉගෙන ගනිද්දී අප දෙදෙනා වාඩිවී උන්නේ මුල්ම ඩෙස් පේලියේ එක ළඟමය. එකල අපට ඉංග්‍රීසි සාහිත්‍යය විෂය සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථය වූයේ Charles Dickens ගේ A tale of two Cities නවකතාවය. එය අපට ඉගැන්නුවේ ෂින්නියා ටීචර්ය. ඕ යහපත , පැහැපත , රූපත. දිළිසෙන රන් කෙන්දෙන් වියූ අගනා ඉන්දියානු සාරියකින් සැරසුණු ඕ කෙළින්ම විත් ගුරු මේසය මත හිඳ ගනියි. පළමු ඩෙස් පේලිය තිබෙන්නේ මේසය ළඟින්මය. හිඳ ගත් ඕ ස්ලිපරයෙන් මිදුණු දෙපතුල ඩෙස් පෙළ මත රඳවා පහසු ඉරියව්වකින් සැදී පාඩම අරඹයි. "It was the best of times , It was the worst of times."

අපේ සිංහල සර් වන කෘතහස්ත විශ්ව සාහිත්‍ය පරිවර්තක කේ. ජී. කරුණාතිලකයන් ඉගැන්වූ 'කාව්‍ය ශේඛර' පැදියක දෙපදයක් මගේ සිහියට නැගෙන්නේ ඉබේය.

'නුපුබුදු තැඹිලි            මල්

ඇගෙ දඟ යුගට මන කල්'

කාන්තාවකගේ කෙණ්ඩා යුවළ නුපුබුදු රන් වන් සිනිඳු තැඹිලි මලකට උපමා කරමින් සිරි රහල් කිවි හිමියන් මැවූ සොඳුරු සිතු සිත්තම කෙරෙහි මසිත උපන්නේ අපමණ සෙනෙහසකි. ඒ සමගම මගේ වම් කලවය නොනවතා කොනිත්තනු දැනේ. අජන්තා වාඩිවී ඉන්නේ අල්ලපු පුටුවේ බව මගේ සිහියට නැඟුණේ සුපුරුදු නිරා දුකට ගොදුරු වූ පසුවය. Charles Dickens නවකතාකරුගේ වචන බොරු නොවේ. It was the best of times, It was the worst of times.

මුලදී ශාන්ත ජෝන් විදුහලේ දිව්‍ය යාච්ඤා මන්දිරය සඳහා වෙන් කොට තිබුණේ ප්‍රධාන ශාලාවේ වේදිකාව පිටුපස පහළින් පිහිටි නේපථ්‍යාගාරයයි. එහි විසල් පුළුල් ජනේලය පිහිටියේ ශාන්ත ජෝන් බාලිකා විදුහල් පටු මග පැත්තේය. එය එල්ල වී තිබුණේ පාර අනික් පස වූ බාලිකා විදුහල් ප්‍රධාන ගොඩනැගිල්ලේ උඩු මහල් තලයටය. එදෙසට හැරී දේව ගීතිකා ගයද්දී කිතුනු සිසු කැලගේ බැති සිත තම දැල්වුණු දෑස් ඔස්සේ බාලිකා දේව දූතිකාවන් වෙතට නිසැක ලෙස පාවී යන බව පසක් කළ විදුහල් බලධාරීහු එවිපත වළකන අටියෙන් නොපමාව ඊට පිළියම් යෙදූහ. අජන්තාත් මාත් එකට සිටි එස්.එස්.සී පන්තිය දිව්‍ය යාඥා මන්දිරය වූ තැනට සම්ප්‍රාප්ත වීම එහි ඉෂ්ට ප්‍රතිඵලයකි. දුර්ලභ භාග්‍යෝදයකි. පුරා කෘත කර්ම ඵල මහිමයකි. පිපාසාර්ත චාතක රැළකට විජ්ජුලතාවන් දැකීම තරම් ප්‍රහර්ෂයක් තවත් ඇද්ද !

බාලිකා විදුහල් උඩුමහලේ බබළන විජ්ජුලතාවන් දැක්මේ දළ ලොබින් පෙළුණු අප පන්ති සගයන් රැළ ජනේලය අසල තරඟයට රොද බැන්දේ අලුත් පන්ති කාමරය තවත් දිව්‍ය යාච්ඤා මන්දිරයක් බවට හරවමිනි. ඒ චල ලෝචනියන්ටද අපේ ජනේලය නේත්‍රාංජනයක් වන්නට ඇතුවා නිසැකය.

එකල මෙරට පැවතුණේ එකම එක ගුවන් විදුලියකි. එය සරසවියකට සරිලන්නකි. එම ආදර්ශ ගුවන් විදුලිය කෙරෙහි බැති සිත් වැඩූ අපි අපේ අලුත් පන්ති කාමරය තුළද ගුවන් විදුලියක් ඇරඹීමු. එය ප්‍රචාරය වන්නේ නිදහස් කාල පරිච්ඡේදය අතරතුරය. අපේ ගුවන් විදුලියේ ශ්‍රාවකයන් වූයේ පන්තියේ සිටි සගයන් රැළ පමණි. එසේම එමගින් ඉදිරිපත් වූයේ සංගීත වැඩ සටහන් විතරමය. ගුවන් විදුලි මැදිරිය ඩෙස්ක් එකකින් හා ඒ වටා තැබූ පුටු දෙක තුනකින් සැදුණකි. එය පිහිටියේ අර උඩුමහල සරසන කුසුම කෝමල බාල ලියන්නේ නෙත් සර පහරට හසුවන මානයේය. එනම් අපේ පන්ති කාමරයේ විසල් පුළුල් ජනේලය අසලමය.

ගුවන් විදුලියේ ගායකයෝ දෙදෙනෙකි. නිවේදකයෝද දෙදෙනෙකි. අජන්තා රණසිංහයෝ සහ නිහාල් කුමාරපතිරණයෝ ගායකයෝය. නිවේදකයෝ දෙදෙනා අතුල විජේමාන්න සහ මම්ම වම්හ. අප දෙදෙනා හඳුන්වා දෙන ගී අජන්තා හා නිහාල් නොනවතාම ගායනා කළහ. Non-stop ගායන මාදිලිය ලොවට හඳුන්වා දුන්නේ අපේ ගුවන් විදුලියෙන් යැයි පවසනු කවර වරදද? ඒ ඒ ගායනයට අයත් සංගීතය නිපදවා ගන්නා ලද්දේ ගායකයන්ගේ කටින්මය. දෙදෙනාගේම ගායනයන්ට තබ්ලාව වූයේ ඩෙස්ක් එකේ පිට පැත්තය. එකම තබ්ලා වාදකයා නිහාල් කුමාරපතිරණයෝය.

පසු කලෙක ගුණසේන ගලප්පත්ති නාට්‍ය වේදියාගේ 'සඳ කිඳුරු'  නාට්‍යයේ සඳ කිඳුරියට රඟ පෑවේ නිහාල්ගේ අක්කා වන ස්වර්ණා කුමාරපතිරණය.    

එදා S.S.C පන්ති ගුවන් විදුලියෙන් බිහිවූ ශිල්පීන් සිවු දෙනාගෙන් අන්තිමේදී ගුවන් විදුලි මාධ්‍ය ලෝකයට පිවිසියේ අජන්තා රණසිංහයන් හා අස්මතාණන් පමණි. භාවමය ස්වරයක් සහ නෛසර්ගික ගායන කෞශල්‍යයක් උරුම කොට සිටි නිහාල් කුමාරපතිරණයන් මෙන්ම ‍ ප්‍රශස්ත සාහිත්‍යධරයෙකු හා භාෂාඥයෙකු වීමේ උපනිශ්‍රය තිබුණු අතුල විජේමාන්නයන්ද නොසිතූ මංවලට පිවිස සැඟවී යෑම බලවත් ඛේදයකි.

ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ අජන්තා රණසිංහයන්ගේ බද්ධ ප්‍රේමය හට ගෙන තිබුණේ කවිය කෙරෙහි මිස ගීය කෙරෙහි නොවේ. අප දෙදෙනාගේම ගැදි පැදි රචනා පළ වූ 'අරුණ' නම් ශාන්ත ජෝන් විදුහල් සාහිත්‍ය සංගම් සඟරාව වූකලී අපේ සාහිත්‍ය නිර්මාණ අංකුරය සුහුඹුල්ව ලියැල වූ සීතල ආලවාලය මෙන්ම ඊට උණුසුම් ජීවය දුන් අරුණාලෝකයද විය.

අංකුර  ගුවන් විදුලි සරල ගීත නිබන්ධකයෙකු ලෙස මා ගීත රචනා ක්ෂේත්‍රයට නමෝ විත්තියෙන් පිවිසවීමේ ගෞරවය හිමි විය යුත්තේ ලෙස්ලි අසෝකා නම් සංගීතඥයා හටය. අපේ කළුබෝවිල ගමේ මිතුරෙක් වූ ඔහු එකල ගුවන් විදුලි සරල ගී ගායකයෙකි. පසු කලක ඔහු ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ශූර ඉංග්‍රීසි මැන්ඩලීන වාදකයෙකු බවට පත්වුණි. ගුවන් විදුලියේම සංගීත වැඩ සටහන් නිෂ්පාදිකාවකව සිට ඉසිඹු ලත් ජනප්‍රිය ගායිකා යමුනා විනෝදිනිය ලෙස්ලිගේ ආදරණීය දියණියයි.

මා කවි ලියන බව දන්නා ලෙස්ලි දිනක් මට මිහිරි ඇරයුමක් කළේය. ඒ ඔහුගේ ඊ ළඟ ගුවන් විදුලි සරල ගී වැඩ සටහන සඳහා සින්දු තුනක් ලියා දෙන ලෙසටය. එකල විනාඩි 15 සරල ගී වැඩ සටහනකට ගීත තුනක් ඇතුළත් විය. මවිසින් ලියන ලද ගී තුනටම තනු නිර්මාණය කොට සංගීතය සංයෝජනය කළේද ලෙස්ලිමය. ඒ මුල් අවධියේ පවා ඔහු ගායන වාදන ශූරත්වයෙන් පමණක් නොව තනු නිර්මාණ කුසලතාවෙන්ද පොහොසත් සංගීතඥයෙකි.

මා ලියූ ගීත පාදක කොට ගෙන කෙරෙන තනු නිමැවුම් කාරියට සහභාගී වීම සඳහා මා අපේ මහ ගෙදර සිට ලෙස්ලිගේ ගෙදරට ගියේ මගේ බයිසිකලයෙනි. එකල අවිවාහක තරුණයෙක් වූ ඔහු විසුවේ අපේ ගෙදරට ඉතා නුදුරිනි. ඒ ගමන මා ගියේ අජන්තාද මගේ බයිසිකල් බාරය මත හිඳුවා ගෙනය. මම ඔහු ලෙස්ලිට හඳුන්වා දුන්නෙමි. එදා තම හාර්මෝනියම් සංගීත භාණ්ඩය (සරපිනාව) උපයෝගී කොට ගෙන ගී තනු නිර්මාණ කාර්යයේ නිරත වුණු ලෙස්ලිගේ එම සංගීතාත්මක අභ්‍යාසය අජන්තා තුළ ගීතය කෙරෙහි බලවත් උත්තේජනයක් මෙන්ම ආවේශයක්ද හට ගැන්වීමට සමත් නොවූහයි කාට නම් කිය හැකිද?

ලෙස්ලිගේ සරල ගී වැඩ සටහන ප්‍රචාරය වූ රාත්‍රිය ගෙවී උදා වූ දින පාන්දර මා අවදි වූයේ 'කරුණා' යන ස්නේහාර්ද්‍ර ඇමතුමෙනි. මගේ කාමරයට ඇතුළු වූ අජන්තා දිගු වෙලාවක් නිහඬව මා බදා වැලඳ ගෙන සිටියේය. ලෙස්ලිගේ සරල ගී වැඩ සටහනට මා ලියූ ගී තුනෙන් මැද ගීතයේ රචකයා ලෙස ගුවනින් ප්‍රචාරය වූයේ අජන්තා රණසිංහයන්ගේ නමය. මගේ සිත හා තැත පිළිබඳ කිසිවක් ඔහු නොදැන සිටියේය. කාලයාගේ ඇවෑමෙන් අප දෙදෙනාගේම හිස නර කෙස් නැඟි අවධියේ මගේ අධ්‍යක්ෂකත්වයෙන් පැවති සන්නිවේදන පාඨමාලාවේ ආරාධිත අමුත්තා ලෙස පැමිණි අජන්තා මේ ඉකුත් වත අස්මී මානයෙන් තොරව මගේ ශිෂ්‍ය ගණයා ඉදිරියේ අනතිමානයෙන් නොසඟවා හෙළි කළේ අපමණ කිතු කැන් විහිදුවමින්  විරාජමාන වන මහා ගේය කාව්‍ය රචකයෙකු ලෙසිනි.

මා කුඩා කල සති අන්තයේ සෑම සෙනසුරාදාවකම කළුවර වැටෙද්දී අපේ කළුබෝවිල ගමේ කොහේ හෝ ගෙදරක තොවිලයකි. එකල්හි ගෙජ්ජි හඬ, මල් යහන් කවි හඬ, හත් අඩියේ කවි හඬ, යක් බෙර හඬ සමග ආයු බෝ හඬද , ගම කෙළවර නරි හූ කියන වෙල් යාය පැත්තෙන් හමන ඇල් හුළඟේ නගිමින් බසිමින් සමුදුරු ගොස් විරිතින් පාවී එන්නේ මගේ හිත ආවේසයෙන් මුස කරමිනි. ගලෙක රළුව දී මා ළදැඩියෙකු නොකොට මලෙක මෙළෙක දී මා ළ ඇත්තෙකු කළ පරම සුඛාවහ සෞන්දර්ය රස ඉඳුල නමෝ විත්තියෙන් මහද ගල්වන ලද්දේ අපේ ගමේ ඒ රමණීය ජන කලා මාධූර්යය විසිනැයි පවසනු කවර වරදද? ඒ සුධා මධුර රස ධාරා මගේ රුධිර ධාරා පරිශෝධනය කරමින් අධ්‍යාත්මය ප්‍රක්ෂාලනය කරමින් අනන්ත රළ  ලෙළවමින් තවමත් නොසිඳී ගල ගලා යයි.

මේ මධුර භාවමය උරුමය තවමත් මෙසේම නොනැවත ගලා යන අධ්‍යාත්මයක් හිමි තවත් පුරුෂාත්මයක් ඇත. ඒ වනාහි කලක් ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති වරයාණන්ගේ ලේකම් ධුර ධර හැරල්ඩ් පීරිස් නම් ජීවමාන ක්ෂුද්‍ර සෞන්දර්ය නිකේතනයයි. අපේ කළුබෝවිල ගමේ උපන් ඔහු කුඩා වියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට ගියේ මගේ අතේ එල්ලීගෙනය. තම පියා සතුව එකල කළුබෝවිල ලයිට් මෝල හංදියේ (රෝහලකින් තොර බොතේජු වත්ත කෙළවර හතර මං හන්දිය අයිනේ එදා තිබුණේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයකි.) පැවති එකම හෝටලය ළඟදී ඔහු මගේ අතේ එල්ලන්නේ ඔහුගේ මවු තොමෝය. මා කුඩා සන්ධියේ භැරල්ඩ්ලෑ හෝටල් ගෙදර වත්තේ නැටූ දහඅට සන්නියේ වූ මන් මත් කළ රැඟුම් හා එහි ඇසුණු කන්කලු කවි ගැයුම් හා බෙර වැයුම් තවමත් නොනැසී මගේ මනසේ දිසේ ඇසේ. එසේම තම පියා තනවා දුන් කුඩා බෙරය කරේ එල්ලා ගෙන එය වයමින් සිටින හැරල්ඩ්ගේ ළමා රුවද තවමත් මගේ මතකේ රැකේ.

අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල සාහිත්‍යධරයාණන් අධ්‍යාපන හා සංස්කෘතික ඇමතිව සිටි සය වන දසකයේ ඇරඹුණු අභිනව කනිෂ්ඨ විශ්වවිද්‍යාල (Junior University) පද්ධතිය අර්ථවත් කළේ පසු කලෙක මහාර්ඝ සෞන්දර්ය මූර්තියක් බවට පත් ඒ ළමා රුවය.

අජන්තාගේ සෞන්දර්ය රසාවේශයේ මූල බීජයන්ද ඔහුගේ පියා උපන් රමණීය තලම්මැහැර ගම්මානය නිදන් බිම කොට ඇතැයි සිතමි. ඔහු සමග එහි අනේක නිශා කල් හා දිවා කල් ගෙවා මා ලත් නැතක් අත්දැකීම් මගින් එය සක් සුදක් සේ පසක් වන හෙයිනි. තම ගැමි දනන්ගේ සිත් දවන දුක් විපත්වලට සෙත් සිලිල් ලෙස සැලකුණු තොවිල් පවිල් ඇසුරෙන් සන්තාන ගත ගායන නර්තන රස මාධූර්ය අජන්තාගේද නිසර්ග සිද්ධ ප්‍රතිභා ප්‍රබෝධයට උපස්තම්භක නොවූහයි කාට නම් කිව හැකිද ?

අජන්තාගේ මවගේ වැඩිමහල් සොහොයුරු අශෝක පීරිස්හු ප්‍රකට ලේඛකයෙකි. කෙටිකතා කරුවෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. මා ඉතා ළංව ඇසුරු කළ ඔහු හාස්‍ය උපහාස රස ආකරයකි. ඔහු එදා අතිශය ජන මෝහන ගුවන්විදුලි ප්‍රහසන වැඩසටහන බවට පත්ව තිබුණු 'විහිළු තහළු' වැඩසටහනේ නිත්‍ය පිටපත් සම්පාදකයෙක් වූයේ එහෙයිනි. එදා 'විහිළු තහළු' වැඩසටහන නිර්මාණය කළේ ප්‍රහසන කලා නිපුණයෙකු මෙන්ම ශූර ප්‍රවෘත්ති නිලධාරියෙක්ද වූ

එච්. ඩී. විජේදාසයන්ය. ඔහු වූකලී, බුද්ධි ප්‍රබෝධක සංස්කෘතික නිකේතනයක් ලෙස අතීතයේ විරාජිත අපරාජිත එකම ගුවන්විදුලියෙන් තමා නොදිළී එම ගුවන් විදුලිය දුල වූ මාධ්‍ය මහාශයන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි.අජන්තාගේ ලොකු මාමා වන අශෝක පීරිසුන් මෙන්ම ඔහුගේ පිය පාර්ශ්වයේ වැඩිමහල් ඥාති සහෝදරයෙකු වන කීර්තිමත් පඬිවරයෙකුද ඉතා ළඟින් ඇසුරු කිරීමට මම භාග්‍යවන්ත වීමි. ඔහු වූකලී විද්‍යාලංකාර හා කැලණිය විශ්වවිද්‍යාලයන්හි දර්ශන අංශයේ මහාචාර්ය ධුරය ශෝභමාන කළ එස්. ජී. එම් වීරසිංහ ආචාර්ය තුමාය. මේ දුර්ලභ ගණයේ පඬිවරයා විශ්වවිද්‍යාලයේදී දර්ශනය විෂය පිළිබඳ මගේ ආචාර්යවරයා වීම පුරා කෘත පුණ්‍ය ඵලයකි.

අජන්තාගේ මවගේ පියා වන පීරිස් මුදලාලි සීයා වෙසෙස් චරිතයකි. හාස්‍ය උපහාස සාගරයකි. ඔහුගේ ලොකු පුතා අසෝක පීරිස්හු ජානමය ගංගාවක් පමණි. අජන්තා සීයා ඉදිරියේ හැසිරුණේ ගරු සරු බියකිනි. මිතුරා අසීරුවකට නොහෙළන්නට අපිදු වග බලා ගතිමු. සීයා සමග නොපැකිළව නිදහසේ කතා බස් කිරීමට තරම් එඩි නොපෑ මුනුපුරා සැඟවී සිට සීයාගේ හාස්‍ය උපහාස රස පිරි මුකරි බස් අසා හා චර්යා බලා වින්දේ වාන් දමන අමන්ද විනෝදානන්දයකි.

ජන්ම ගැමි උරුමයත් තම මව් පිය උභය පාර්ශ්වයන්ගෙන්ම ලත් ජාන උරුමයත් සමග තොවිල් පවිල් වැනි ජන කලා ආස්වාද උරුමයත් අජන්තා සතුව නොමඳව පැවති බව නිසැකය. මේ ඊට ප්‍රත්‍යක්ෂ පසුබිම් සාධකයකි.

අජන්තා වැඩි කලක් තිස්සේ හැදුණු වැඩුණු, පාසල් ගිය, නුගේගොඩ ගමේ තම මවගේ මහ ගෙදර වන ශ්‍රාවස්තියේ එක්තරා දවසක පැවති තොවිලයකි. ආතුරයා ඔහුගේ මවගේ පියා වන පීරිස් සීයාය. ග්‍රහ දෝෂ දුරු කිරීමට කරන නවග්‍රහ පූජාවකි. කළුවර වැටෙයි. ගල් තාර දැමූ පටු නාවල පාරේ වාහන ගමන අඩු වී ගොසිනි. පාර අයිනේ වූ ශ්‍රාවස්තියේ ඉස්තෝප්පුවේ තනා තිබුණු මල් යහන ඉදිරියේ එලූ පන් පැදුර මත සීයා තැන්පත්ව හිඳියි. ඔහු තම දික් කර ගත් දෙපා තබා ගෙන හුන්නේ පැදුරු කෙළවර තබා තිබුණු මෝල් ගස, පොල් ගෙඩිය හා හීරැස්ස පලු යන පූජා වස්තුවල ගෑවෙන සේය. සුදු හැඳ සිටි සීයාගේ හිස මතද සුදු රෙදි කඩකි

සුදු පිරුවටයක් හැඳි, ඉණ වට පච්ච වඩමක් බැඳි, සුදු ජටාවක් හිස රැඳි යකැදුරු මල් යහන ඉදිරියේ නැඟී සිට අතින් ගත් ගගනය (කුඩා සීනුව) සොලවමින් යාතිකාව අරඹයි. යන්තම් තට්ටු වන යක් බෙර හඬට ඔහුගේ දෙපා දෙපසට තැබෙයි.

"සසිරි බර මෙසිරි ලක එබරණැස් පුරවරා...."

ඇසුණේ එපමණකි. ඒ හඬ අභිභවන ඝෝර භීරු ගාඪ හඬකින් මුළු ශ්‍රාවස්තියම භ්‍රාන්ත වෙයි.

"නවත්තනවා! නවත්තනවා ඔය තොයිලෙ! කොහෙද ඕයි සසිරි බර මෙසිරිලක එබරණැස් පුරවරා?

තමුසෙලා පටන් ගන්න කොටම මෙහෙම පච කෙළිනව නං පස්සට කොහොම කෙප්ප කෙළියිද?"

ඒ වූකලී ආශීර්විෂයෙකු සේ කෝපාවිෂ්ටව ගිය පීරිස් සීයාගේ සීහ ගර්ජනයයි. අවසානයේ යකැදුරා ආතුරයා වෙයි. නවග්‍රහයන්ට මොනවා සිතුණේදැයි කවුරු දනිත්ද?

අට්ට හාස නගමින් මිතුරන්ගේ ඇඟ තළමින් කොනිත්තමින්

අතෘප්ත විනෝදාස්වාදන ප්‍රතිචාරයක් දක්වන ප්‍රකෘතියක් ඇත්තෙකු ශ්‍රාවස්තියෙන් පහළ වීම කවර අරුමයක්ද?

තොවිල් පවිල් නමින් දන්නා ජන කලා නිසා මහද හාහපුරා කියා උපන් රස මාධූර්යය හා රිද්ම මෝහනය මගේ සංගීත ආකර්ෂණයේ ආවේශ උල්පත වූ බැව් නිසැකය. එකල සෑම සති අන්තයකම සෙනසුරාදා හැන්දෑ යාමේ සිට රෑ දෙගොඩ හරිය වන තුරු අපේ ගමේ මසන් ගහ ගෙදර පැවති සංගීත සාජ්ජේ නිත්‍ය රසිකයෙකු වීමට මා පෙලඹී යෑම එහි අනිවාර්ය ප්‍රතිඵලයකි. සරපිනාව වයමින් එහි ගී ගැයූ සංගීතඥ ලෙස්ලි අශෝකයෝ එම සාජ්ජේ මාස්ටර්ය. මසන් ගහ ගෙදර බාල පුතා වූ හේමපාල පීරිස්හු එහි ආකර්ෂණීය තබ්ලා වාදකයාය. තබ්ලාව කෙරෙහි මා තුළ බද්ධ ප්‍රේමයක් හට ගත්තේ තබ්ලාව මත ඔහුගේ ඇඟිලි රඟ දෙන විස්මය දැකීමෙනි. හේමපාලයෝ පසු කලෙක ගුවන්විදුලි වාද්‍ය වෘන්දයේ ප්‍රශස්ත තබ්ලා වාදකයෙකු ලෙස බැබළුණහ.

ශාන්ත ජෝන් විද්‍යාල ශිෂ්‍ය සමයේම මා අපේ ගමේ විසූ විශිෂ්ට සංගීතඥයෙක් වූ ඩී. ඒ. දේවගේ මාස්ටර්ගේ සංගීත ශිෂ්‍යයෙක් වූයේ යටකී සෞන්දර්යාස්වාද උරුමයේ නියත උත්තේජනයෙනි. දේවගේ මාස්ටර් වූකලී කීර්තිමත් මාස්ටර් යුගයේ මෙරට වැජඹුණු සුප්‍රකට සංගීතඥයෙක් වූ ජෝෂෆ් මාස්ටර්ගේ ශිෂ්‍ය රත්නයකි. ජෝෂෆ් මාස්ටර්ගේ මුවින් ගැයුණු ,

'ප්‍රීති සාර වේ කොළඹ නගරෙ රෑට

සුර පුර සිරි'

යන ගීතය ඒ යුගයේ මෙරට දනන් තුඩ තුඩ රැව් දුන් ග්‍රැමර්ෆෝන් ගීයකි. ලූෂන් බුලත්සිංහල නාට්‍ය වේදියාණන් තැනූ 'තාරාවෝ ඉගිලෙති' දෘශ්‍ය කාව්‍යයෙහි එන ගුණදාස කපුගේ ගාන්ධර්ව වේදියාණන්ගේ ,

'සෝබාව දේ මෙරට සිරි විසිතුරු

බලනු මිතුරු මඟ පියකරු වූ'

යන ගීතය ජෝෂෆ් මාස්ටර් ගැයූ පෙර සඳහන් ගීතයේ රසාවේශයෙන් කළ නිර්මිතයකි.

මහා ගාන්ධර්ව ලයනල් එදිරිසිංහ මහාශයන් 50 දශකයේ රජයේ සංගීත විද්‍යාලයාධිපතිවරයා ලෙස වැජඹෙන අවධියේ එහි සෙනසුරාදා පැවති සංගීත පාඨ මාලාවට ඇතුළු වීමට මා පෙලඹවූයේ දේවගේ මාස්ටර්ය.

අජන්තා වූකලී සංගීත රස ධාරා සිසාරා ගිය රුධිර ධාරා උරුම කොට ගත්තෙකු බව දන්නා මම ශාන්ත ජෝන් විද්‍යාල පන්තියේ මෙන් නිරා දුක් විඳින්නට සිදු වුවද ඔහු සංගීත විද්‍යාලයේද මගේම පන්තියේ ළඟින් හිඳුවා ගැන්මට බලවත් රිසි ඇත්තේ වීමි. එහි ලා ඔහු පෙලඹවීමට ‍ මා දැරූ ප්‍රබල ප්‍රයත්නය නිෂ්ඵලව යෑම බලවත් ඛේදයකි. එදා එය සමෘද්ධ වී නම් අද අප සන්තක වන්නේ

අජන්තා රණසිංහ නම් විශිෂ්ට ගේය කාව්‍ය රචකයා නොව අජන්තා රණසිංහ නම් උත්කෘෂ්ට වාග්ගේයකාර මහාශයාය. භාරතීය සංගීත ක්ෂේත්‍රයෙහි 'වාග්ගේයකාර' යනු ගායන , ගේය කාව්‍ය රචන ,

ස්වර රචන යනුවෙන් දන්නා ත්‍රෛ නෛපුණ්‍යයෙන් උප ශෝභිත ගාන්ධර්ව තෙමේය. අපගේ සංගීත වංශයෙහි 'වාග්ගේයකාර' නාමෝපලක්ෂිත කොට සැලකිය හැකි ප්‍රථම සංගීතඥ ශ්‍රේෂ්ඨයා ආනන්ද සමරකෝනුන් යැයි සිතමි.

ශ්‍රති දුෂ්ටත්වයෙන් හා තාල නෂ්ටත්වයෙන් තොරව ගීයක් ගැයිය හැක්කේ නිසර්ග සිද්ධ සංගීත ප්‍රතිභාංශුවක් ආත්ම ගත කෙනෙකුට පමණි. රසයෙන් කුල්මත්ව ගිය අජන්තා ගීයක් ගයන කල ඔහුගේ ඒ උපනිශ්‍රය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂ වෙයි. මගේ මිත්‍ර විශාරද සංගීතඥයන්ගෙන් හා කෝවිද ගායකයන්ගෙන් මේ බව මා අසා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

අජන්තාගේ මනසේ උපන් කවි චින්තාව ධ්වනිතාර්ථාත්මක වදනින් හා චිත්ත රූපාත්මක යෙදුමෙන් අලංකෘතව මාත්‍රා නියමයෙන් යුත් විරිතකට වැටෙන ගේය කාව්‍යයකට නැගෙන්නේ ස්වයංජාත තනුවක් පාදක කොට ගෙනය. තම   ගේය කාව්‍යය තනු නිර්මාපකයා ඉදිරියේ වචනයෙන් නොකියවා ඔහුම  ගයා පෙන්වන්නේ තම හද තුළ නිපන් අර  ස්වයංජාත තනුව අනුවය. ඇතැම් විට එය අභිනව තනු නිර්මාපකයාට තම නිර්මාණ කාර්යේදී භාවාත්මක

වූත් නිර්මාණාත්මක වූත් අනුප්‍රාණයක් වන්නට ඇතුවා නොඅනුමානය.

රජයේ සංගීත විද්‍යාලයේ සෙනසුරාදා පාඨ මාලාවේ පළමු වන අධ්‍යයන වර්ෂය තුළ උත්තර භාරතීය රාග ධාරී සංගීතයට අයත් ශාස්ත්‍රීය ගායනය හදාළ මා දෙවන වර්ෂය සඳහා තෝරා ගත් සංගීත භාණ්ඩය වූයේ මගේ සිත් ගත් තබ්ලාවය. එහෙත් පාසල් අධ්‍යාපනය හා සංගීත අධ්‍යයනය අඹු - සැමි ප්‍රේම න්‍යායෙන් ගෙන යා ගත නොහැකි වීමේ නියත ප්‍රතිඵලය වූයේ මගේ සංගීත විද්‍යාල ජීවිතය දෙවසරකින් කෙළවර වීමය. එසේ වුවද ඒ දෑවුරුද්ද මට මගේ සංගීත අත්දැකීමට පරිබාහිර වූ එක්තරා දුර්ලභ අත්දැකීමක් අත් පත් කර දුනි.

ශාන්ත ජෝන් විද්‍යාලයේ S.S.C පන්තියේදී අජන්තාගේ හා මගේ මෙන්ම තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේද සම්භාව්‍ය සාහිත්‍ය ගුරුතුමා වූයේ කීර්තිමත් විශ්ව සාහිත්‍ය පරිවර්තක කේ. ජී. කරුණාතිලක ලේඛකයාණන්ය. ගුණදාස පෙරේරා කවියාණෝ හා ලේඛකයාණෝ නූතන සාහිත්‍ය ගුරුතුමාණෝය. මේ ගුරු ශ්‍රේෂ්ඨයන් දෙදෙනා එදා සංගීත විද්‍යාලයේ සෙනසුරාදා පාඨ මාලාවේ මගේ පන්ති සගයන් වීම දුර්ලභ අත්දැකීමක් නොවන්නේද? අජන්තාත් එහි සිටියේ නම්!

වයලීනයට පෙම් බැඳි ගුරු උතුමන් දෙදෙනා එක් පන්තියකත් තබ්ලා ප්‍රේමී මා තවත් පන්තියකත් වෙන්ව හිඳ තත් ශිල්ප හැදෑරූවද ගායන පංතියේදී හා ලයනල් එදිරිසිංහ විද්‍යාලයාධිපති තුමන්ගේ සංගීත ඉතිහාස හා මූලධර්ම පන්තියේදී අපි තිදෙනාම එකම පන්ති සගයෝ වීමු.

සංගීත ක්ෂේත්‍රයේ වාසනාවකට මා ගායකයෙකු හෝ තබ්ලා වාදකයෙකු නොවුණද සංගීත විද්‍යාල අධ්‍යයනයෙහි නිරත ඒ කෙටි කාලය තුළ ශ්‍රැති විඥානය හා තාල විඥානය විෂයෙහි ලා මා ලත් ශික්ෂණය අදත් මට සංගීත රසාස්වාදයේදී මහත් ඵල මහානිසංස උදා කර දෙයි.

ඇතැම් හැන්දෑවක අජන්තාත් මාත් ගංගොඩවිල ගම්සබා පාරට යන්නේ කරුණාතිලක සර්ගේ ගෙදර සංගීත සාජ්ජයටය. එකල අවිවාහකව සිටි සර් තමා සංගීත විද්‍යාලයේදී උගත් වයලීන වාදන එහිදී ඉදිරිපත් කළේ නොතිත් ආශාවෙනි. සංගීත විද්‍යාලයෙන් උගත් වාද්‍ය ශිල්පය නමෝ විත්තියෙන් අත්හදා බැලීමට මටද අවස්ථාව උදා වූයේ එහිදීය. කිසි දා සංගීතය නොහදාළ අජන්තා ශ්‍රැතිය හා තාලය නොබිඳ ගයන මධුර ගීතයන්ට මා තබ්ලා වාදකයා වූ හෙයිනි.තමා ගැයූ ගීතවලට අයත් සියලුම අතුරු වාදන ඔහු ඉදිරිපත් කළේ කටින්මය. කටින් වැයූ අතුරු වාදනවලට තබ්ලා ගැසූ එකම වාදකයාද මා විය හැකිය.

එකල ගුවන් විදුලියේ වෙළඳ සේවයේ නිතර රැව් දුන් වෙළඳ දැන්වීමකි.

"කන්දේ සම බිමේ හෙලේ

හොඳට පැදෙන බයිසිකලේ

රැලේ"

මෙය වූකලී උපතින්ම කවිකම හිමි,අති චතුර සන්නිවේදක , කෘතහස්ත ගීත රචක කරුණාරත්න අබේසේකරයන් අතින් බිහිවුණකි.

දිනක් අලුයම අපේ තාත්තා ඔහුගේ රැලේ බයිසිකලේ ලගේජයේ මා වාඩි කර ගෙන ශාන්ත ජෝන් විද්‍යාලය වෙතට එක්ක ආවේ දින කීපයක අධ්‍යාපන චාරිකාවක් සඳහා පිටත් කරවීමටය.පාන්දර ගමන ඇරඹූ අපි එදා රෑ නවාතැන් ගත්තේ අනුුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේය. එදා රාත්‍රියේ එම විද්‍යාලයේ ගුරු පිරිස සහ සිසු පිරිස එක්ව සංවිධානය කළ විවිධ ප්‍රසංගයකි. කරළිය සරසමින් විකසිතව ගිය දෙවිදුහලෙහිම ගුරු-සිසු කුසලතා කුසුමින් ප්‍රේක්ෂකයෝ ප්‍රමුදිතව ගියහ.  ශාන්ත ජෝන් විද්‍යාලයේදී මට ගුරු වූත් රජයේ සංගීත විද්‍යාලයේදී මගේ පන්ති සගයන් වූත් මගේ ආදරණීය ගුරුවරුන් දෙදෙනාගේ වයලීන වාදනයන්ට මා අවසාන වරට තබ්ලා වාදනයෙන් සහාය වූයේ එදාය. ගායක අජන්තාගේ තබ්ලා  වාදකයා ලෙස මා ප්‍රසිද්ධ වේදිකාවක පෙනී සිටි පළමු දවසත් අවසාන දවසත් එදාය.

මට මෙවේලේ මහාකවි විලියම් ශේක්ස්පියරයන්ගේ As You Like It දෘශ්‍ය කාව්‍යයේ 2 අංකයේ 7 වැනි දර්ශනයේ Jaques ගේ මෙවදන් සිහියට නැගෙයි.

All the world's a stage

And all the men and women merely

players;

They have their exists and their

entrances;

And one man in his time plays many

parts,

His acts being seven ages.

මුළු ලොවම කරළියකි

නළුවෝය සියලු දන

ඔවුහු ඉන් පිටව යති

නැවත එහි ඇතුළු වෙති

එකෙක් තම වාරයෙදි

රඟ පායි නන් චරිත

ඔහු රඟන ජවනිකා

දිවියෙ සත් අවධියකි

කරුණාතිලක සර්ද , ගුණදාස පෙරේරා සර්ද , අජන්තාද කරළියෙන් පිටව ගොසිනි. මම පමණක් එහි හුදකලාව රඟමින් හිඳිමි.

karunarathna amarasinghe

| කරුණාරත්න අමරසිංහ

(මුහුණ පොතිනි)