"ආනන්දයෙන් ප්‍රඥාවට" කාගේ කියමනක්ද?

"ආනන්දයෙන් ප්‍රඥාවට" කාගේ කියමනක්ද?

"ආනන්දයෙන් ප්‍රඥාවට" යන කියමන මෙකල මෙරට සිටින සාමාන්‍ය දැන උගත්කමක් ඇති අය අතර පවා තම උගත්කම කියා පාන සෘෂි භාෂිතයක් ලෙසට නිධන්ගතව ඇත. මේ කියමන නෑසෙන පාසැල් පන්ති කාමරයක් පිරිවෙන් පන්ති කාමරයක් විශ්වවිද්‍යාල දේශන ශාලාවක් සාහිත්‍ය රැස්වීමක් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවක් අද ඇත්තේම නැති තරම්ය.එය ඇස නොගැසෙන පුවත්පතක් රූපවාහිනී තිරයක්ද නැත්තේම යැයි කිය හැකිය.

අතීත කීර්ති උරුමයක් ඇති එක්තරා සති අන්ත ජාතික පුවත්පතකට මීට ටික කලකට පෙර සාහිත්‍ය ලිපියක් සැපයූ එම පුවත්පතේම සුප්‍රකට විචිත්‍රාංග කර්තෘවරයා එම කියමන ප්‍රාමාණික සංස්කෘත විචාර ග්‍රන්ථයක් වන 'ධ්වන්‍යාලෝක' කර්තෘවර ආනන්දවර්ධන ආචාර්ය පාදයන්ගේ බවට නිශ්චිත ප්‍රකාශයක් කරමින් ශාස්ත්‍රීය ශික්ෂණය අන්ත දූෂිත කළේය. කර්තෘ නාමය ආනන්දවර්ධන නිසාදැයි නොදනිමි. ඒ අනුව මෙකල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයෙහි බහුලව වැජඹෙන අල්පශ්‍රුත අඥයෙකු විසින් එම සදා සම්භාවනීය ආප්ත ප්‍රකාශයේ ජාත උරුමය නුදුරු දිනකදී කවර හෝ ව්‍යාජ සාහිත්‍ය චක්‍රවර්ති වේශ ධර වර්චසයෙකුට පවරා දෙනු ලැබේදැයි කාට නම් කිය හැකිද? එහෙයින් මෙය සිංහල සාහිත්‍ය වාග් ව්‍යවහාරයට ප්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳ නිදාන කතාව හුදෙක්  හුදී ජන නයනෝන්මීලනය හා පහන් සංවේගය උදෙසා මෙසේ සසාධකව සකාරණව හෙළිකිරීම ශාස්ත්‍රීය වගකීමක් හා යුතුකමක් කොට සලකමි.

මෙහි ව්‍යවහාර ප්‍රාප්තියේ ඉතිහාසය 06 දශකයේ මුල් භාගය කරා දිව යයි. එකල මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ අභිනව විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ආරම්භක උපාධි අපේක්ෂක කණ්ඩායමේ විද්‍යාර්ථියෙක් වූහ. ඔහු හැදෑරුවේ සිංහල විශේෂ වේදී උපාධි පාඨමාලාවය. ඔහුගේ අනුවිෂය වූයේ ඉංග්‍රීසි භාෂාවය. ශාස්ත්‍ර පරිසේවනය සහ ශාස්ත්‍ර ගෞරවය උද්දීප්තව පැවති එම අසමසම මනෝරම සමයේ 'භාවිත විචාරය' ( Practical Criticism) නමැති බටහිර විචාර මාර්ගය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රචලිත කිරීමේ කාර්යයෙහි නිරන්තරයෙන්ම නිරතව සිටි, එසේම ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය විෂයෙහි පෘථුල දැනුමක් ඇති,

ඒ. එම්. ජී. සිරිමාන්න ආචාර්ය තුමා සුනන්ද මහේන්ද්‍ර විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාට ඥාන දීපායමාන ආචාර්ය පාදයෙක් වීය. එකල ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය ඉංග්‍රීසි අංශයේ ප්‍රධානයා මෙන්ම සුනන්ද මහේන්ද්‍රයන්ට ඉංග්‍රීසි භාෂා සාහිත්‍ ය ඥානය සුව්‍යක්ත ලෙස ගුරුමුෂ්ටි මුක්තව නිර්ලෝභීව ප්‍රදානය කළ ගුරු ශ්‍රේෂ්ඨයාද වූ හෙයිනි.

ඒ. එම්. ජී. සිරිමාන්නආචාර්යවරයාණෝ ඉංග්‍රීසි කාව්‍යය ඇතුළු බටහිර කාව්‍ය සාහිත්‍යය විෂයෙහි හසළයහ. ඔහු ඒ කෙරෙහි උපන් බද්ධ ප්‍රේමයකින් යුක්තයෙකි. ඔහු තමාගෙන් ඉංග්‍රීසි විෂය හැදෑරූ උපාධි අපේක්ෂකයන් තුළද ඉංග්‍රීසි කාව්‍යය ඇතුළු බටහිර කාව්‍ය රසාස්වාදය කෙරෙහි වූ තම උනන්දුව හා ඇල්ම එලෙසින්ම හට ගැන්වීමට මහත් සේ උත්සුක විය.මෙහි ලා මහත් ඵල මහානිසංස නියත ලෙස අත්පත් කොටගත් ප්‍රමුඛ විද්‍යාර්ථීයා වූයේ සුනන්ද මහේන්ද්‍රයන්ය.

සිරිමාන්න ආචාර්ය තුමා තම ශිෂ්‍යයන් ලවා විශිෂ්ට ගණයේ බටහිර කාව්‍ය රචනා සිංහලට පරිවර්තනය කරවීමට දැඩි ප්‍රයත්නයක් දැරීය. ඒ කාර්යයේදී සුනන්ද මහේන්ද්‍රයෝ මුල් තැනක් ගත්හ. එකල ඔහු අතින් බටහිර කාව්‍ය නිර්මාණ රාශියක් සිංහලට නැඟුණි. සුනන්ද මහේන්ද්‍රයන් විසින් මව් බසට පෙරළන ලද බටහිර කාව්‍ය රචනා බිහි කළ කවියන් අතරින් ඔහුගේ සිත විශේෂයෙන් ඇද බැඳ ගැනීමට සමත් වූ විශිෂ්ට ගණයේ කවියෙක් විය.ඒ වනාහි විශ්ව කීර්තිධර Robert Frost නම් ඇමෙරිකානු කාව්‍ය ශ්‍රේෂ්ඨයාය.

Robert (Lee) Frost (1874-1963) කවියාට ආවේණික වූ අනන්‍ය ලක්ෂණ දෙකක් ලෙස වඩාත් ප්‍රකටව ඇත්තේ ඔහුගේ කාව්‍ය රචනා මගින් නිතර ප්‍රතිරාව වන උත්ප්‍රාසාත්මක ධ්වනිය සහ සරල කාව්‍ය භාෂා භාවිතයයි. එසේම ඇමෙරිකානුවෙකු වුවද ඔහුගේ නිර්මාණවලින් වැඩි සංඛ්‍යාවක් නෑකම් කියන්නේ නව එංගලන්තයටයි. Frost කවියාගේ කාව්‍ය නිර්මාණ හා කාව්‍ය චින්තනය ගැන සුනන්ද මහේන්ද්‍රයන්ගේ කුහුල වැඩී යෑමට තම ඉංග්‍රීසි ආචාර්යවර සිරිමාන්නයන්ගෙන් ලද ශාස්ත්‍රීය අනුබලයද ප්‍රබල පිටිවහලක් වූ බැව් නිසැකය

'Complete works of Robert Frost' නමැති ග්‍රන්ථය පළමු වරට ප්‍රකාශයට පත් වූයේ1930 වසරේය. 'The Figure a Poem makes'(කවිය මවන සිතු සිත්තම) යන මැයෙන් Robert Frost කවියා විසින් ලියන ලද උත්කෘෂ්ට නිබන්ධයක් එකී ග්‍රන්ථයෙහි 1939 වසරේ පළ කළ සංස්කරණයට ප්‍රස්තාවනාව විය.1957 වසරේ ප්‍රකාශයට පත් 'Literary Criticism in America' නමැති පොතෙහි ඒ ලිපිය යළි පළ කොට තිබුණි.මේ අගනා ලිපිය පළමු වරට කියවන්නට සුනන්ද මහේන්ද්‍රයන්ට අවස්ථාව උදා කර දුන්නේ ඒ පොතය.

කාව්‍ය නිර්මාණයක් සතු අපූර්වත්වය (Originality) නම් සුවිශේෂ ලක්ෂණය ඉතා කාව්‍යමය ලෙස වර්ණිත නිර්මාණාත්මක අර්ථ විවරණයක් හැටියට සැලකිය යුතු මේ විශිෂ්ට ඉංග්‍රීසි නිබන්ධය සිංහලට නගා ලීමේ බලවත් උනන්දුවක් සුනන්ද මහේන්ද්‍රයන් තුළ ජනිත වුණි. එම නිබන්ධය වනාහි කාව්‍ය නිර්මාණයක පමණක් නොව හැම සාහිත්‍ය හා කලා නිර්මාණයකම අපූර්වත්ව ලක්ෂණය පිළිබඳ සර්ව කාලීන විවරණයක් වීම ඊට හේතුවයි. එම නිබන්ධයෙහි ලා Robert Frost කවියා කාව්‍යයක අපූර්වත්වය අරබයා වූ තම විශිෂ්ට විවරණය කාව්‍යමය ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කර ඇත්තේ මෙසේය.

"It begins in delight and ends in wisdom. For myself originality need be no more than the freshness of a poem run in the way I have described: 'From delight to wisdom'

"Read it a hundred times: It will forever keep it's freshness .as a metal keeps it's fragrance. It can never lose it's sense of a meaning that once unfolded by surprise as it went".

ඉංග්‍රීසි විවරණයේ සිංහල අර්ථය මෙසේය.

"එය ආනන්දයෙන් ආරම්භව ප්‍රඥාවෙන් පරිසමාප්ත වෙයි.

"අපූර්වත්වය වනාහි කාව්‍යයක නැවුම් බවට වැඩි දෙයක් නොවේය යනු මගේ හැඟීමයි.මා විවරණය කළ ආකාරයට එය ආනන්දයේ සිට ප්‍රඥාව කරා දිව යන්නකි.

"කාව්‍යයක් සිය වරක් කියවන්න. එය එහි නැවුම් බව සදා රැකගන්නේ ලෝහයක් එහි සුවඳ රැකගන්නාක් මෙනි. චමත්කාරය දනවමින් වරක් ඉන් ප්‍රකාශයට පත් වුණු අරුත කිසි දා එයින් අතුරුදහන්ව නොයනු ඇත."

Robert frost කවියාගේ මේ නිබන්ධය සිංහලට නැඟීමේදී 'From delight to wisdom' යන ඉංග්‍රීසි පාඨය සිංහලෙන් යෙදිය යුතු ආකාරය ගැන සුනන්ද මහේන්ද්‍රයෝ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් විමසූහ. එවේලේ සරච්චන්ද්‍රයන්ගේ මුවින් 'ආනන්දයෙන් ප්‍රඥාවට' යන සිංහල පාඨය ගිලිහුණේ තත් ක්ෂණයකිනි.

ඒ යුගයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සෑම අධ්‍යයන අංශයකින්ම වාගේ ශාස්ත්‍රීය සඟරා රාශියක් ප්‍රකාශයට පත් විය. සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිංහලට පරිවර්තනය කරන ලද Robert frost නිබන්ධය පළමු වරට පළ වූයේ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශනය වූ 'චින්තක' සඟරාවේ හෝ සිංහල අංශයේ ප්‍රකාශනය වූ 'සිංහල' සඟරාවේ හෝ විය යුතුය.

මෙකල තුඩ තුඩ රැව් දෙන 'ආනන්දයෙන් ප්‍රඥාවට' නමැති ප්‍රාඥ පාඨය කාලයාගේ ඇවෑමෙන් මෙසේ පණ්ඩිතමානී ලේබලයක් ලෙස ව්‍යවහාර ව්‍යාප්තව ගියේ ඉන් අනතුරුවය. එහි ප්‍රභවය හෝ අන්තර්ගත ගම්භීර අර්ථය පිළිබඳ ලේශ මාත්‍ර හෝ වැටහීමකින් තොර බොහෝ අල්පශ්‍රැතයන් විසින් අද නිතර දෙවේලේ තොරතෝංචියක් නැතිව පට්ට ගසනු ලබන මේ ප්‍රශස්ත ආප්ත වාක්‍යය වත්මන් පරිණත සාහිත්‍යකරුවන් හා කලාකරුවන් විසින් පරමාදර්ශ පාඨය කොට ගත යුත්තක් යැයි උදක්ම විශ්වාස කරම්හ.

Robert Frost කවියාගේ මේ නිබන්ධයෙන් උත්තම ගණයේ සාහිත්‍ය හා කලා නිර්මාණ තුළ තිබිය යුතු විශිෂ්ට ලක්ෂණ දෙකක් ධ්වනිත වෙයි. ඒ උභය ලක්ෂණය ඔහු තම නිබන්ධය මගින් ඉදිරිපත් කර ඇති විවරණයේ සාරාර්ථය ලෙස සැලකිය හැකිය. "ආනන්දයේ සිට ප්‍රඥාව කරා" කරන යාත්‍රාව පිළිබඳ ප්‍රකාශයෙන් විශද වන්නේ කවර සෞන්දර්ය නිර්මාණයක් වුවද වින්දනයේ සිට චින්තනය වෙත ගමන් කළ යුතු බව නොවේද? එය අර විශිෂ්ට ලක්ෂණ දෙකින් එකකි. මෙකල බිහි වන බොහෝ නිර්මාණ තුළ අවිද්‍යමාන වන්නේද එයමය.

මින් පෙර නුදුටු විරූ නෑසූ විරූ අපූර්වත්වයක් හෙවත් නැවුම් බවක් උද්වහනය කරන නිර්මාණය සියක් වර ඇසූ දුටු මුත් එය කිසි දා පැරණි නොවන්නකි. මුල් දින දැනවූ චමත්කාරය සැම දා එලෙසින්ම දනවන්නකි. එවැනි නිර්මාණයෝ මුළු ලෝකයෙහිම අතිශය දුර්ලභයහ. එවැනි නිර්මාණ බිහි කිරීමෙහි සමත් නිර්මාණ කරුවෝද සුදුර්ලභයහ.

කීයේමැ නො?

"අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා' ('ප්‍රතිභාව' නම් පෙර නුවූ විරූ වස්තු අලුතෙන් නිර්මාණය කිරීමට සමර්ථකම ලබා දෙන නුවණයි.)

('ධ්වන්‍යාලෝක ලෝචන' කෘතිය - අභිනවගුප්ත ආචාර්ය තුමා.)

'ප්‍රඥා නවනවෝන්මේෂ ශාලිනී ප්‍රතිභා මතා' ('ප්‍රතිභාව' යනු අලුත් අලුත් වස්තු හෙළි කොට දැක්වීමේ නුවණයි.)

(භට්ටතෞත ආචාර්ය තුමා)

Frostගේ නිබන්ධය මගින් ප්‍රකාශිත අනික් විශිෂ්ට ලක්ෂණය එකී  'අපූර්වත්වය' මිස අන් කවරක්ද?

මුලින් විඳි චමත්කාරය සියක් වරක් එලෙසින්ම විඳීමට අවස්ථාව සැලසිය හැකි සර්ව කාලීන නිර්මාණයෝ අප රටේ සාතිශය දුර්ලභයහ. එවැනි ලේශ මාත්‍ර ගුණ යුක්ත නිර්මාණයන් පවා මෙකල පරම දුර්ලභව පවත්නා බව සසාධකව සකාරණව සාක්ෂාත් වන්නේ අති ප්‍රශස්ත කෘතිවල  ව්‍යාජයෙන් මෙකල සුලභ ලෙස සම්මාන ප්‍රදානයට පාත්‍ර වන සාහිත්‍ය ශත්‍රැ අන්ත ගර්හිත කෘති මගිනි.

karunarathna amarasinghe

 | කරුණාරත්න අමරසිංහ (මුහුණ පොතෙන්)