මගේ ජනතාවගේ රුධිරයේ වේගය දන්නවද ?
හැගීම් වල විස්තාරය වැටහෙනවද?
මේ කඳු ගැන ඔවුන් තුල ඇති දැක්ම
ඔබගේ මලකඩ ගැසුණු මොළය හඳුනනවද ?
ඔවුන්ගේ සිනහව, දුක, ශ්‍රමය, ආශාවන්,
කොපමණ නම් මුදලකට විකුණා ඇතිද නුඹ ?
මේ දේශයේ සුළඟ කරට ගෙන ඇවිදින
ඔවුන්ගේ ගමන ගැන ඔබ දන්නවද?
මේ කඳු අතර එක් හිරු සහිත දහවලක ඔබ ඇවිද තිබේද?
එක රැයක මේ කඳු පසුකොට ගමන්කර තිබේද ?
ගල් සහ පස් දියකරමින් වැටෙන දහඩිය සුවඳ ඔබ විඳ තිබේද?
ඔවුන්ගේ අත් කිසි විටෙක හෝ ස්පර්ශ කර තිබේද?
ලයිම් කෙලවරේ සිට හමන මූත්‍ර දුගඳින් ,හුස්ම හිර කරන්
ජීවත් වන අයුරු ඔබ දැක තිබේද?
මුරුංගා හෝ පයිනස් ගසක් යට ඉඳගෙන
ඔවුන් කියන කතා අසා තිබේද?
හවස්යාමේ කාන්සිය විඩාව මකාලන
ඒ ලස්සන කතා කවදාක ඔබට වැටහෙනු ඇතිද?
එක් රැයක් හෝ මගේ ජනතාව ජීවත් වන
ලයිම් කාමරයේ ඔබ නිදාගෙන තිබේද ?
වසර සිය ගණනක් පැරණි ඔවුන්ගේ කතාව, ලියන්නේ කොහොමද ඔබ ?
ඔවුන්ගේ දුක් ගී , ඔබ කෙලෙස ගායනා කරයිද?
කඳු කපා කොටා පස්කර , ගස් සිටවා
ඔවුන් තැනු ඉතිහාසය ගැන
කතාකළ හැකිද ඔබට?
ගලා නොයන ගඟක් ලෙස
සැමදා ඔවුන්ව එකම තැනකම තබා ගැනීමටද ඔබේ කල්පනාව?
ඔවුන්ගෙන්ම ඔවුන්ගේ දුක අසා දැනගෙන
කඳුළු පිරී දෙනෙතින්, රත් වූ රුධිරයෙන්
ඔවුන්ගේම නිදහස ගැන හඬ නගා ගයන්නට,
මා ඉදිරියට එමි …
එදවස වැඩි ඈතක නොමැත!…
| සු. තවච්චේල්වන්
(වතු කම්කරු ජනතාවගේ පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප කරවීම අරමුණු කරගනිමින් ප්‍රකාශයට පත් කරන මලෛග කාව්‍ය සරණිය " කහට සුවඳ කවි" කවි පොතිනි)