කොළඹ අයිතිකාරයෝ - සියවසක් කොළඹ දිහා බලාගෙන සිටි ජින්තුපිටියේ පියසිලි අම්මා (1 කොටස)
ක්‍රිස්තු වර්ෂ 127- 151 දක්වා ජීවත් වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ටොලමි ලංකා සිතියමේ කොළඹ පෙන්වා ඇත්තේ, ජෝව්ස් එක්ස්ට්රීමම් යනුවෙනි. සමහරු එය ජුපිටර් තුඩුව ලෙස නම් කළහ. හත්වන ශතවර්ෂයේ සිට කොළඹ තොටුපළ අරාබි වෙළෙන්දන්ගේ මර්මස්ථානයක් විය. 1505 සිට පෘතුගීසින්,ලංදේසින් හා ඉංග්‍රීසින් කොළඹ නගරය ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ පරිපාලන හා දේශපාලන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කරගත්තේය .ඒ හැමෝටම වැදගත් වූ සාධකය වූයේ කොළඹ වරාය හෙවත් තොටමුණයි.
කොළඹ නගරයක් බවට පත් කළ ප්‍රධාන සාධකය කොළඹ වරායයි. වරාය ආශ්‍රිත ඇති වූ අතුරු ව්‍යාපාර, කර්මාන්ත, සේවා හා රජයේ ආයතන නිසා නගරයේ විශාල රැකියා ඉල්ලුමක් පසුගිය සියවස මුල් භාගයේ දී ඇති විය. ඒ ඉල්ලුමට සැපයුම දීමට කොළඹට පැමිණි ග්‍රාමීය ජනයා ගෙන් කොළඹ නගරයේ ජනාවාස බිහි විය.
මුඩුබිම් පනතෙන් පසු ගමේ ඉඩම් අහිමි වූ සමහරු සහ කුමක් හෝ ජීවනෝපායක් සොයාගෙන රට මැදින් සහ දකුණෙන් කොළඹට පැමිණි ගමේ මුල් සිදුනු එවක තරුණ පරපුර අහුවෙන රස්සාවක් කරමින් නගරයේ අහුමුළුවල හා අහුවුණ තැන පැලපදියම් විය. කොළඹ නගරයේ මුඩුක්කු පැල්පත් හා ශාස්ත්‍රාලීය භාෂාවෙන් කියනවා නම් "නාගරික ජනාවාස"වල ආදි කර්තෘවරු මේ රස්සාවල් සොයාගෙන කොළඹට ආ පසුව නගරයේ නන්නත්තාර පන්තිය වූ නාගරික ලුම්පන් පන්තියයි.
පසුගිය සියවසේ මුල් භාගයේ මෙසේ පැමිණි අය අතර දේශීය ග්‍රාමීය ජනයා මෙන්ම ඉන්දියාවෙන් පැමිණි මලයාලම්, දමිල හා ඉන්දියානු සංස්කෘතියට අනුව පහත් කුල ජනයා ද වූහ.
මේ අය කොළඹදී එකිනෙකාට සම්මිශ්‍රණය වී පැරණි පරම්පරා අහෝසි වී අද වන විට ඔවුන්ගේ පස්වන පරම්පරාව තරුණ වියට එළඹී ඇත.කොළඹ නගරයට පැමිණි එම පරම්පරාවන්ගේ පළමු පරපුරේ කිසිවෙකුත් අද ජීවතුන් අතර නැත. දෙවන පරපුරේ ද ඉතාම සීමිත පිරිසක් මේ වතු ඇතුලේ නිස්කලංක සැඟවිල්ලේ ජීවත් වෙති.
එවැනි මහා ඉතිහාසයක් මතකයේ ගබඩා කරගෙන සිටින ඒ මතකයන් ඉතාම ආදරයෙන් නැවත නැවත සිහිපත් කරන ජින්තුපිටියේ පියසිලි අම්මාට දැන් අවුරුදු එකසිය දෙකකි. මීට වසරකට පෙර ඇය ඇස් කන්නාඩි රහිතව ඉදිකට්ටට නූල දැමුවාය. අපහසුවකින් තොරව පුවත්පත් කියවූවාය.අසන දෙයට ඉතාම නිරවුල්ව පිළිතුරු දුන්නාය. නමුත් කෙටි කාලයක් තුළ ඈ විවිධ පීඩාවන්ට ලක් වී අද යම් රෝගාතුර භාවයකට පත් වී ඇත. එහෙත් ඇයගේ මුව තවමත් හැමවිටම පුළුල් සිනහවකින් සැරසී ඇත. තම දරුවන් ද , ඒ දරුවන්ගේ දරුවන් ද ඒ මුණුපුරන්ගෙ දරුවන් ද නැලවීමේ වාසනාව ලත් ඇය මේ වන විට සිය දරු පරම්පරා හතරක ආදරය මැද ජීවත් වන්නීය.
ඇය අද ජීවත් වන්නේ ජින්තුපිටියේ ගේට්ටුවත්ත හෙවත් 170 වත්තේ ඇයගේ පැරණි නිවසේමය.එය ඇගේ දෙවන නිවසයි.ඇය උපන් නිවස මේ වන විට ඇස්මානයේම සැඟවී ගොසින්ය.
මට ඇය ගැන තොරතුරු දී ඇය හමුවට මා රැගෙන ගියේ ජින්තුපිටිය හිටපු නාගරික මන්ත්‍රී ජින්තුපිටියේම ජනාවාසියෙකු වූ තුෂාර හේමන්ත (මංජු) මහතාය.
| ඇගේ පුතුන් දෙදෙනෙක් වන සිසිර කුමාර සහ ශාන්ති විරාජ
අපි දැන් ඇයට සවන් දෙමු.
"මගේ තාත්තා බුලත්සිංහල ආරච්චිගේ මනුවෙල්. අම්මා ලෝරා. අපේ තාත්තා බොරලැස්ගමුවේ. පොඩි කාලෙම රස්සාවක් හොයාගෙන තමයි කොළඹට ඇවිල්ලා තියෙන්නේ. එක එක සිල්ලර රස්සාවල් කර කර ඉඳලා පස්සේ බෙලෙක් වැහි පීලි හදන සිලෝන් කොම්පැනියේ තමයි තාත්තා මුලින්ම ස්ථීර රස්සාවක් කරලා තියෙන්නේ. අම්මා ඉඳලා තියෙන්නේ මේ පැත්තෙම තමයි. මම ඉපදුනේ 1921 ඔක්.11 දා අපේ ගෙදරමයි. මම පවුලේ පස්වැනියා. අපේ පවුලේ හැමෝම ඉපදුනේ ඒ ගෙදරමයි. අපි ඉපදුන ගෙවල් තිබුණේ ජින්තුපිටියේ දැන් මැටිනිටි හෝම් එක තියෙන තැන වත්තේ. ඒ කාලයේ වත්තට කිව්වෙ "බෝධිය වත්ත" කියලා. මොකද ඒ වත්තේ සරුවට වැවුණ බෝ ගහක් තිබුණා. පස්සේ කාලෙක තමයි අපි දැනගත්තේ ඒ බෝ ගහ හිටෙව්වෙත් අපේ තාත්තා කියලා. තාත්තා බෝ ගහ හිටවලා තියෙන්නේ දෙවියන්ට භාරයක් විදියට.මට කලින් අපේ පවුලේ ඉපදිච්ච හතර දෙනාම ඉපදුන ගමන්ම මැරිලා. ඒ කාලේ ඔය මැටිනිටි හෝම් තිබිලා නෑ. ගෙදර ළමයෙක් හම්බ වුණාම අහල පහල වැඩිහිටි ගෑනු කෙනෙක් ඇවිල්ල තමයි ඉතුරු වැඩ ටික කරන්නේ.
දැන් මම පවුලේ පළවෙනියා වුණාට ඇත්තටම මම පවුලේ පස්වෙනියා. අපේ තාත්තා බෝ ගහ හිටවපු දවසෙ ඉදන් ඒකට මල් පහන් තියලා හැමදාම වැන්දා කියලා අම්මා කිව්වා. බෝ ගහ ටික ටික හැදෙනකොට අපේ තාත්තා වගේම අනිත් අයත් ඒකට වඳින්න ගත්තා. මොකද මම ඉපදිලා බාරේ හරි ගියාට පස්සේ ඒ බෝ ගහ හාස්කම් තියෙන තැනක් කියලා මේ පැත්තේ මිනිස්සු ඒ බෝ ගහට වඳින්න ගත්තා.
පස්සේ අපිව ඒ වත්තෙන් අයින් කළා ජින්තුපිටියේ ඉස්පිරිතාලේ (මාතෘ නිවාසය) හදන්න කියලා. නගර සභාවේ කට්ටිය ඇවිල්ලා ඔය බෝ ගහ කපන්න හදනකොට අපේ තාත්තා ලොකු රණ්ඩුවක් ඇල්ලුවා. ඒ වුණාට නගර සභාවේ මහත්තුරු බෝ ගහ කපලා ඉස්පිරිතාලේ හැදුවා. ඊට පස්සේ අපි එතනම ඉස්සරහා තිබුණ වත්තේ පොඩි ගෙවල් හදාගෙන හිටියා. ඒකට කිව්වේ බැංකුවත්ත කියලා. ඒක තමයි ලංකා බැංකුවේ ගබඩාව වගේ එක තිබුණේ. පස්සේ කාලෙක ඒකෙනුත් අපිට යන්ඩ වුණා.
ඒ වත්ත අයිතිකාරයා අපිව අයින් කළා.
පීයසිලි අම්මගේ එක් පුතෙකු වන සිසිර කුමාර (69) ප්‍රකාශ කරන අන්දමට "1968 දී ඒ ඉඩම අයිතිකාරයා පවුලකට රුපියල් දාහ ගානේ දීලා ඒ වත්තේ සිටිය හැමෝම අයින් කළා.ඊට පස්සේ ඊට එහා පැත්තේ වත්තේ තිබුන අපේ අම්මගෙ මාමා හිටිය මේ ගෙදරට ආවා. අද වෙනකන් අම්මයි ඉන්නේ මේ ගෙදර තමයි. අපි ඔක්කොම හැදුනෙත් මේ ගෙදර තමයි."
"ඔය ඉස්පිරිතාලේ හදන්න ආපු බාස්ලට අපේ අම්මා තේ වතුර පොඩි පොඩි කෑම බුලත් විට වික්කා මට මතකයි. මොකද ඒ කාලෙ මේ පැත්තෙ හෝටල් නැහැ."
"මම ඉස්කෝලේ ගියේ හිල් වීදියේ, ඒ කියන්නේ දැන් ඔය කෙලින් වීදිය කියලා කියන්නේ, කිංස්ලි හෝල් එක ළඟ තිබුණ ආණ්ඩුවේ සිංහල ඉස්කෝලෙට. (වත්මන් කොටහේන මධ්‍යම මහා විද්‍යාලය). මම ඉස්කෝලේ ගියේ හතට වෙනකන් විතරයි. ඒ කාලේ සාමාන්‍යයෙන් ගෑණු ළමයි වැඩි කාලයක් ඉස්කෝලේ අරින්නෙ නෑ. අපේ ගෙදර තිබුණා අත් මැෂිමක්. මම ඒකෙන් තනියම ඇඳුම් මහන්න ඉගෙන ගත්තා. ඇඳුම් කපන්නත් තනියම ඉගෙන ගත්තා. මුල් කාලෙ මං මැහැව්වේ අපේ ගෙදර අයගේ ඇදුම් විතරයි.
ඒ කාලේ පොට්ටනිකාරයෝ ඒ කියන්නේ බායිලා රෙදි අරන් එනවා වතුවලට. රෙදි යාරයක් සත දහයට විසිපහට තිබුණා. හොඳම එක සත පනහයි යාරයක්. සල්ලි නැත්නම් බාලා ණයටත් රෙදි දීලා යනවා .ඒව අරන් තමයි මම ගෙදර අයට සායවල් ගවුම් මැහැව්වේ.
අපේ තාත්තා අපි කාටවත් මොන දේකටවත් ගෙදරින් එළියට යන්න දුන්නේ නෑ. අඩුගානේ අම්මව කඩේකටවත් යැව්වේ නෑ. ගෙදරට අවශ්‍ය සේරම දේවල් තාත්තා ගෙනත් දෙනවා. ඒ කාලේ කිසිම කෙනෙක් ගෑනු ළමයි අරන් සාප්පු ගානේ ගියේ නෑ. අඩු ගානේ විනාඩි පහෙන් අපිට යන්න පුළුවන් පිටකොටුවට වත් අපේ තාත්තා යන්න දුන්නේ නෑ. මොකද එක එක ජාතිකාරයෝ. එක එක ගම්කාරයෝ. එක එක මොත්තකාරයෝ කැරකෙනවා අපිට බැල්ම දානවා කියලා.
තාත්තා කවදාවත් අපිට පිච්චර් බලන්න දුන්නේ නැහැ. ඒවට එක්ක ගෙන යන්නෙත් නැහැ. කසාද බැන්දට පස්සේ තමයි ඔය එකක් දෙකක් බැලුවේ. මම නම් තවමත් බලල තියෙන්නෙ පිච්චර් දෙක තුනක් තමයි.
අපි පොඩි කාලේ වරායේ ඔය තාප්පෙ තිබුණේ නැහැ. (කොච්චිකඩේ පල්ලිය පාර) ජින්තුපිටියේ කන්ද මුදුනට මුහුද හොඳට පේනවා. දැන් තියෙන පාරට එහා පැත්තේ තිබුණා ලොකු කානුවක්. ඒකට එහා පැත්තේ මුහුද. තාත්තා මාවයි නංගිවයි මුහුද බලන්න එක්ක යනවා සමහර දවස්වලට. තාත්තා අපිව ඒ කානුවෙන් එහා පැත්තට අරන් ගිහින් බැම්ම උඩ තියාගෙන එහා පැත්තෙ මුහුදේ යන නැව් පෙන්නනවා. අපි වාඩිවෙලා ඉන්න හරියෙත් මාළු රංචු රංචු පීනනවා. ඒ දවස්වල වරාය පැත්තෙන් මුහුද දැන් මේ තාප්පෙ තියෙන හරියට එනකන් තිබුණා. පස්සේ කාලෙක මේවා ඔක්කොම ගොඩ කරලා දැන් ඔය බිල්ඩින් හදලා පාරවල් හදලා තියෙන්නේ.
කොච්චිකඩේ පල්ලිය ඔතන තිබුණේ ඔය විදිහටමයි. පල්ලිය මංගල්‍යය කාලෙට හරිම ලස්සනයි. සුරුවම අරගෙන වීදි ගියේ අපේ ගේ ඉස්සරහින්. හැබැයි දැන් තරම් සාරෙට වීදි ගියේ නැහැ. මොකද ඒ කාලෙ මේ පැත්තෙ වැඩිපුරම හිටියේ සිංහල අය.
අපිට ළඟම තිබුණ පන්සල ආමර් වීදියේ ජේතවනාරාමය. අපි ඒකට තමයි ගියේ වැඩිපුර. අපි ඉඳලා හිටලා ගියා විහාර ගෙයක් එහෙම තිබුණ කොටහේනේ මහා පන්සලට. (දීපදුත්තාරාමය) අපි පන්සල් යන්නෙත් තාත්තා එක්ක විතරයි. ඒත් ඒ ගමනටවත් අම්මව එක්කන් යන්නේ නැහැ.
අපි පොඩි කාලේ මෙගොඩ කැලණිය පන්සලට යනවා මට මතකයි. තොටළඟ ඉඳලා පාරුවෙන් තමයි කැලණි ගඟ දිගේ යන්නේ. හිටගෙන තමයි අපි යන්නේ. පාරුව පදින්නෙත් හිටගෙන. අපි තාත්තා බදාගෙන හරිම බයෙන් තමයි මේ ගමන යන්නේ. ඒ කාලේ පාරු ඇවිල්ල කැලණි ගඟ අයිනේ දිගට නතර කරලා තියෙනවා. හරියට පිටකොටුවේ බස් නතර කරලා තියෙනවා වගේ.
අපේ පැත්තෙ තිබුණ අනිත් ලොකුම උත්සවය තමයි වේල් පෙරහැර. වේල් පෙරහර පටන් ගන්නේ වැල්ලවත්තේ කෝවිලෙන්. වේල් කරත්තෙ එන්නේ හෙට්ටි වීදීයේ කතරගම (කදිරේෂන්) කෝවිලට. මහා කතරගම දිය දිය කපලා අරන් එන වතුර කළය වැල්ලවත්ත කෝවිලට ගෙනල්ලා එතන ඉඳන් ඒක අරන් තමයි හෙට්ටි වීදියේ කෝවිලට වේල් කරත්ත පෙරහර එන්නේ. වැල්ලවත්තේ ඉදලා වේල් පෙරහර මෙහෙට එන්න පැය 24කට වැඩි යනවා. ඒ නිසා තමයි තැන තැන නතර වෙවී එන ගමන්වලට "වේල් කරත්තේ" වගේ කියලා කියන්නේ. මොකද පාර දිගටම මිනිස්සු වේල් කරත්තේ නවත්තමින්, පූජා දෙනවා පොල් ගහනවා, බාරහාර ඔප්පු කරනවා. මේකට සිංහල දෙමළ කියල භේදයක් නෑ. හැමෝම වේල් කරත්තෙට පඬුරු දානවා. පූජා තියනවා.
මේ වේල් බලන්න තාත්තා අපිව වැල්ලවත්තටත් එක්කන් ගිහින් තියෙනවා. වේල් කියන්නේ කානිවල් එකක් වගේ සෙනග රැස්වෙන තැනක්. එක එක බඩුමුට්ටු විකුණන්න තියෙන තොරම්බොල්කාරයෝ පිරිච්ච අලුවා, බිබික්කං, බූන්දි වගේ රස කැවිලි විකුණන මැරිගෝ රවුඩ්, කතුරු ඔන්චිල්ලා වගේ සෙල්ලම් තියෙන මහා කානිවල් එකක්. ඒ කාලේ ඒකට කිව්වේ "වේල්පොල" කියලා. අසූ තුනේ කලබලවලින් පස්සේ මේ වේල් කරත්ත පෙරහැරයි වැල්ලවත්ත කෝවිලේ වේල් පොලයි දෙකම නතර වුණා.
| පියසීලි අම්මා සිය මුණුපුරෙකු සමග
ඒ කාලේ අපේ පැත්තේ ජෝගි නැටුවා. ඒ කියන්නේ පිරිමි ගෑණු වගේ ඇඳලා ඇවිල්ලා ගෙවල් ඉස්සරහා නටලා සල්ලි ඉල්ලනවා. බෑන් චූන් කාරයෝ පස්සෙන් එනවා සින්දු ගගහා.
ඒ කාලේ හෙට්ටි වීදියේ මෙච්චර රත්තරන් බඩු සාප්පු තිබුණේ නැහැ. මොකද ඒ කාලේ අපි දැම්මේ රත්තරන් නෙමෙයි රිදී. ඒ කාලේ රත්තරං එච්චර වටින්නේ නැහැ. රිදී බඩු රත්තරන් බඩු වලට වඩා ගණන්. ඒ කාලේ රත්තරන් පවුමක් රුපියල් දාසයයි. රිදී ඊට වඩා ගණන්. ඒත් මං බඳින දවසෙත් ළමයින්ගේ තාත්තා මට දැම්මේ පොඩි රත්තරන් චේන් එකක්. අපිට රිදී බඩු ගන්න තරම් සල්ලි බාගෙ තිබුණේ නැහැ.
ඈත පළාත්වල ඉඳන් කොළඹට බඩු ගේන ගොන් කරත්ත ඒ බඩු පිටකොටුවේ බජාර් එකේ බාලා, කොළඹින් අරගෙන යන ලෝඩ් එක පටෝනකං ඒ ගොන් කරත්ත නතර කරලා තියෙන්නේ ජින්තුපිටිය පල්ලෙහා. ඒවා රකින්නේ චාල්ස් අප්පුහාමි. එයා තමයි මේ පැත්තේ චණ්ඩියා. ඒ වුණාට එයාල ගෙන් ගමේ කාටවත් කරදරයක් හිරිහැරයක් නැහැ. එයා වැයික්කියේ හැමෝම ආරක්ෂා කළේ තමන්ගෙ දරුවෝ සහෝදරයෝ වගේ. ඒ කාලේ අපේ ගමේ හොරකම් කුපාඩි වැඩ නැහැ. ඒවට චාල්ස් අප්පු දුන්නෙ පොල් ගුටි. චාල්ස් අප්පු විතරක් නෙමේ වටේ වතුවල හිටපු හැම චණ්ඩියෙක්ම ජීවත් වුණේ ඒ වගේ තමයි. ඒ මිනිස්සු ජීවත් වෙන්න පොඩි පොඩි නීති විරෝධී වැඩ කළාට ගමයි ගමේ අයවයි බොහොම ගෞරවයෙන් බලා ගත්තා. පිට කෙනෙක් ගෙන් කාටවත් නරකක් වරදක් වෙන්න ඉඩ තිබ්බේ නෑ. ඒ වගේම අපේ වතුවල බොහොම සමගියක් තිබුණා. කාට කරදරයක් වුණත් වත්තම එකට එකතු වුණා. වත්තේ ඇතුලේ කොච්චර රණ්ඩු තිබුණත් පිට කවුරු හරි පාට් එකක් දැම්මොත් වත්තම එකට එකතු වෙලා උන්ට දුවනකන් ගහනවා.
ඒ කාලේ ජින්තුපිටියේ වතුවල ගොඩක් හිටියේ වරායේ, ගෑස් කොම්පැනියේ, නගර සභාවේ, කොටුව පිටකොටුවෙ එක එක පොඩි පොඩි සිල්ලර රස්සාවල් කළ මිනිස්සු. ඉන්දියන්කාරයෝ ගොඩක් හිටියා. එක එක ජාතියේ දෙමළ මිනිස්සු හිටියා. කොච්චි, පරවර, සක්කිලි ඒ වගේම මලයාලම්, බෝරා, මරක්කල හැම ජාතියෙම අය මෙහෙ හිටියා. අපි කාගේ ළඟවත් කිසිම භේදයක් තිබුණෙ නෑ. අදත් ඒ වගේ ජීවත් වෙනවා හරියට නෑදෑයෝ වගේ. අපේ තාත්තලා ළඟ කොහොමටත් ජාතිවාදය තිබුණේ නෑ. ඒ නිසා අපිත් අපේ දරුවොත් කවදාවත් ජාතිවාදී විදිහට හැදුවේ නෑ. මම බැඳපු එක්කෙනත් ඒ වගේම තමයි. එයාටත් ඔය හැම ජාතියෙම කට්ටිය යාළුවො හිටියා.
මහත්මා ගාන්ධිතුමා අපේ සත්තරමට ආවා (1927) මට හොඳට මතකයි. අපේ බුද්ධාගමේ අය තමයි මහත්මා ගාන්ධිතුමාව බොහොම ගෞරවයෙන් පිළිගත්තේ. එතුමාව සත්තරම ළඟ පිළිගන්න කොට මම එතුමාව ළඟින්ම දැක්කා. අමුඩේ වගේ සුදු ඇඳුමක් ඇඳලා හිටියේ. උඩට ඇඳුමක් ඇඳලා හිටියේ නෑ රෙද්දක් වගේ එකක් පොරෝ ගෙන හිටියා. කන්නාඩි දෙකක් දාලා හිටියා. එයා හැමෝම එක්ක ලස්සනට හිනා වුණා. හැමෝටම එක්ක වැඳගෙන තමයි එයා අපේ ළඟින් ගියේ. ඒ කාලේ අපේ රටේ හිටිය ලොකු ලොක්කෝ ගොඩාරියක් එක්ක මහ සෙනගක් ආවා එතන්ට ගාන්ධි බලන්න.
එංගලන්තයේ මහ රැජින ආපු වෙලාවේ (1926 අප්‍රියෙල් )මම එයාවත් දැක්කා. එයාට කිව්වේ එලිසබත් රැජින කියලා. එයා නැවෙන් බැහැලා අපේ වත්ත ලගින් තමයි කාර් එකෙන් ගියේ. අපි ඒ කාලෙ හිටියේ බැංකුවත්තේ. ඒ වත්තේ ඉඳන් තමයි අපි රැජිණව බැලුවේ. රැජිණ ගිය ඒ කාර් එක එංගලන්තෙන්ම අරන් ආවා කියලා තමයි අපේ තාත්තා කිව්වේ.
ඔය මැලිබන් මුදලාලිගේ මුල්ම බේකරිය තිබුණේ මේ පල්ලෙහා. එයා හින්නි අප්පුහාමි. එතන තිබුන ගේක ඉඳන් තමයි එයා පාන් පිච්චුවේ. එතන තේ කඩේකුත් තිබුණා. හින්නිඅප්පුහාමි මුදලාලි අපේ ගමේ අය එක්ක හොඳට කතාබහ කරලා ආශ්‍රය කරපු හරිම හොඳ කෙනෙක් කියලා අපේ තාත්තා හැම තිස්සෙම කියනවා. මොකද අපේ තාත්තා එයාගේ හොඳ යාලුවෙක්. පස්සේ මේ බේකරිය එයාගේ පුතා ද කොහෙද ලොකු කරලා හැදුවා.
අපි පුංචි කාලේ මෙහේ දේශපාලනය කළේ ගුණසිංහ මහත්තයා.(ඒ.ඊ.ගුණසිංහ) එයා තමයි අපේ තාත්තාගේ දේශපාලනයේ මහ ලොක්කා. වීරයා. බොහොම උස මහත සද්දන්ත පුරුෂයා. කළුම කළුයි. කතා කරන්නේ හරිම තේජස් හඬින්. ටයි කෝට් දාලා තමයි හිටියේ. හැබැයි එයා මිනිස්සු ළඟට යන්නේ නැහැ. හරි ගාම්භීරයි. මිනිස්සුත් කවුරුත් එයාගෙ ළඟට ගිහිල්ලා මුහුණට කතා කරන්නත් බයයි. එයා ගහපු පත්තරේ නම "වීරයා".අපේ තාත්තා හැමදාම වීරයා පත්තරේ ගෙදර ගේනවා හවසට. අපිත් ඉතින් ඒක බලනවා. මොකද වෙන පත්තර පොත් බලන්න අපිට තහනම්. ඒවා කියෙව්වම ළමයි නරක් වෙනවා කියලා. ඒ කාලේ මැද කොළඹ ගුණසිංහ මහත්තයාට උඩින් යන්න කෙනෙක් හිටියේ නැහැ. වරායේ හිටිය සේරම සිංහල කම්කරුවෝ හිටියේ ගුණසිංහ මහත්තයාගේ පක්ෂයේ. ගුණසිංහ මහත්තයට කොච්චි මිනිස්සු පෙන්නන්න බැහැ .හැබැයි අපි එදත් අදත් කොච්චි මිනිස්සු එක්ක සමගියෙන් එකට ඉන්නවා. ඒ කාලේ පොඩි අපිත් ගුණසිංහ මහත්තයාගේ ඡන්ද කොළ බෙදන්න යනවා ඡන්ද කාලෙට ගෙවල් ගානේ. කැන්වසින් යනවා කියලා කියන්නේ. හැබැයි ගුණසිංහ මහත්තයා අපේ පැත්තට වැඩිය එන්නේ නැහැ. මොකද එයා දන්නවා එයාට තමයි මේ පැත්ත වැඩි බර කියලා. ඇයි වැඩිපුර සිංහල අයනේ මේ පැත්තෙ හිටියේ. සිංහල අය සේරම ඡන්දෙ දුන්නේ ගුණසිංහ මහත්තයාට. එයාගේ පාට රතු පාට. අපේ තාත්තා ඉතින් මැරෙනකම්ම ගුණසිංහ මහත්තයාට තමයි. පස්සේ කාලෙක සුගතාදාස මහත්තයා (වී.ඒ. සුගතදාස) ආවා මේ පැත්තට. එතුමා මේ පැත්තට ගොඩක් වැඩ කරලා දුන්නා.
පිටර් කෙනමන් මහත්තයත් මේ පැත්තට ගොඩක් වැඩ කළා .ලස්සන සුදු ලන්සි මහත්තයා. චිරිස් බිරිස් ගාලා ඉංග්‍රීසියෙන් තමයි කතාව. අපි වගේ පොඩි මිනිස්සුන්ට හරියට පිහිට වුණා. අපේ මේ ගෙවල්වලට ඔප්පු අරන් දුන්නේ පීටර් කෙනමන් මහත්තයා තමයි. ළමයින්ගේ තාත්තා නම් කෙලින්ම ප්‍රේමදාස මහත්තයට තමයි. එතුමත් මේ පැත්තට ගොඩක් වැඩ කළා.
"මං කසාද බැන්දේ අඟුරු මඩුවේ (වරාය දුම්නැව්වලට අඟුරු පටවන තැන) වැඩ කරපු එක්කෙනෙක්. එයා එදිරිසිංහ ආරච්චිලාගේ ගෝමස් එදිරිසිංහ. අපි කසාද බැන්දේ 1940. එයා ඇහැලියගොඩ කිරිඇල්ලේ කෙනෙක්. පස්සේ මුදලිගේ මාවතේ ප්‍රෙස් එකකත් වැඩ කළා. අපි බැඳලා හිටියෙත් අපේ ගෙදරමයි. සමහර දවස්වලට නැන්දම්මා කොළඹ ඇවිල්ලා මාව කිරිඇල්ලේ ගෙදර එක්කන් යනවා. අපි ට්‍රෑම් එකෙන් පිටකොටුවට ගිහින් එතනින් බස් එකේ රත්නපුරේට ගිහින් ආයිත් එතන ඉඳන් කිරිඇල්ලට තව බස් එකක යනවා. නැන්දම්ම හරි හොඳයි හැබැයි සැරයි වැඩිය කතා නැහැ.
ඒ කාලේ දවසේ පඩිය සත පනහයි. ඒ කාලේ හැටියට අපිට ජීවත් වෙන්න හොඳටම ඇති. මම කසාද බැඳලා හිටියේ මේ ගෙදරම තමයි.
"ළමයි එකොළොස් දෙනාම හැදුවේ හැදුනේ මේ හුණ්ඩුවේ තමයි .මේ වත්තේ තමයි. මේ පැත්තේ තමයි."
ඇය හුණ්ඩුව යයි කිව්වේ අඩි සියයක වර්ගඵලය නැති කුඩා පේළි ගෙදරටය. මේ වත්ත කිව්වේ ගේට්ටුවත්තටය මේ පැත්ත කිව්වේ ජින්තුපිටියට. ඇය ඒ බව කියන්නේ ආඩම්බරයෙනි. ගෞරවයෙනි.
පියසිලිඅම්මට දැන් අවුරුදු එකසිය දෙකකි. ඇයට දරුවන් එකොළොස් දෙනෙකි. පුත්තු හතයි දූවරු හතරයි. ඉන් හතර දෙනෙක් අද ජීවතුන් අතර නැත.
මීට අවුරුද්දකට පෙර නම් ඇය තමන්ගේ වැඩ ටික තනියම කර ගත්තාය. කන්නාඩි නැතුව ඉදිකට්ටට නූල දාගන්නත් පත්තර කියවන්නත් තරම් ඇයගේ ඇස් දෙක එදා නිරෝගී බව මෙම ලියුම්කරු දුටුවේය. මී මුණුබුරන් ද පිරිවරාගෙන ඇය පසුගිය ඔක්තෝම්බර් දහ තුන්වෙනිදා ඇයගේ එකසිය දෙවන උපන්දිනය ඉතා සෙනෙහෙබරව සමරනු ලැබුවාය. එහෙත් කාලයා විසින් ඇයගේ මතකය ද නීරෝගී බවද සොරාගෙන ඇත. වසරකට පෙර දවසක ඇය මෙම ලියුම්කරු සමග කී මෙම කතා අද ඇයට එකවරම මතකයට එන්නේ නැත. එහෙත් ඇයගේ සිනහව වියැකී නැත.
අද ඇය ජීවත් වෙන්නේ සිය පුතෙකු (සිසිර කුමාර) සමග ඇයගේ මුනුපුරාගේ පවුල සමගය.
කොළඹ නගරයේ ජීවමාන සෙල්ලිපියක් බඳු ජින්තුපිටියේ පියසීලි අම්මාට අපි නිදුක් නීරෝගී සුවය සමඟින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.
කොළඹ නම් නගරය බිහි කළ ඒ කොළඹට ජීවිතය දුන්න මේ නාගරික ආදීවාසින්ගේ අතීත ජීවිත කතා තුළ සැඟවී ඇති කොළඹ නගරයේ ඉතිහාසය අදත් කිසිම තැනක ලියැවී නැත. මේ අය සමග කතාබහ කර මේ ඉතිහාසය කොහේ හෝ සටහන් කර තබන්න, ඒ වැළලී යන කොළඹ ඉතිහාසය මතු පරපුරට කියවන්න දායාද කරන්න රාජ්‍ය මට්ටමින් කිසිම ආයතනයක් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බව කණගාටුවෙන් සඳහන් කරමු.
| පියසීලී අම්මා පසුගියදා අපෙන් සමුගන්නා ලදී.
| උපුල් ජනක ජයසිංහ
(අරුණ පුවත්පතට ලියූ ලිපි මාළාව)