“ශු. අන්තෝනි මුනිඳුනි, විල්පත්තු වන උයන රැකදෙනු මැනවි” - සුපුන් ළහිරු ප්‍රකාශ්

“ශු. අන්තෝනි මුනිඳුනි, විල්පත්තු වන උයන රැකදෙනු මැනවි” - සුපුන් ළහිරු ප්‍රකාශ්

මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ කඩයිමක් සනිටුහන් කරමින් 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදනවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික උද්‍යානය විල්පත්තුව ජාතික උද්‍යානයයි. එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ  1938 පෙබරවාරි 25 වැනිදාය. විවිධ කාල වකවානු වලදී විවිධ අභියෝග වලට මුහුණ දෙමින්, ත්‍රස්තවාදයෙන්ද බැටකමින් නමුත් මෙරට සොබා උරුමයන් සපිරි සැලකියුතු බිම් කඩක් දශක නමයකට ආසන්න කාල සීමාවක් තිස්සේ රැකබලා ගැනීමට මෙම අද්විතීය වනජීවී රක්ෂිතයකට හැකියාව ලැබී ඇත. නමුත් කලක සිට විවිධ ස්වරූපයන්ගෙන් ඉස්මතු වෙමින් මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට තර්ජනයක්වූ පල්ලකණ්ඩල් සිද්ධස්ථානය පිළිබඳ ගැටළුව මේ වන විට ඉතා තීරණාත්මක අටියකට පැමිණ ඇත. ඒ ආගම්, ජාති භේදයකින් තොරව සංරක්ෂණයට ලැදි සියලු දෙනා එක්විය යුතු අවස්ථාවක් උදා කරමිනි.

ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානය 1938-1973 දක්වා කාල වකවානුවේදී ප්‍රකාශයට පත් කරන ලද කලාප පහකින් සමන්විත වේ. අනුරධපුරය හා පුත්තලම දිස්ත්‍රික්කවල විහිදී ඇති මෙම ජාතික උද්‍යානය මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත. විල්පත්තුව ජාතික උද්‍යානය වන අලින් ඇතුළු ලොකු කුඩා වනජීවීන් රාශියකට කදිම වාසස්ථාන සපයන අතර කලාතුරකින් මිනිස් ඇස ගැටෙන වලසුන් හා කොටින් නැරඹීමට ඇති කදීම තෝතැන්නක් වශයෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාව තුළ පිහිටි වෙනත් ජාතික උද්‍යානවල දක්නට නොලැබෙන ආකාරෙය් ඝන වනාන්තරයෙන් වැසී ඇති මෙම භූමිභාගය වියළි කලාපීය වනාන්තර, කටු පදුරු සහිත වනාන්තර, තැනින්තැන විශාල ප්‍රදේශයක විසිරී පැතිරුණු විවෘත තැනිතලා, වැලිපර හා මෙම ජාතික උද්‍යානයටම අනන්‍යවූ සුවිශේෂි විල්ලු පරිසර පද්ධතිවලින් සමන්විත වේ. තවද පෘතුගාල බොක්ක හා ලන්දේසි බොක්ක ආශ්‍රිත පටු වෙරළ තීරයෙන් වහා නැගෙන රත් පැහැති නග්න ප්‍රපාතය උද්‍යානය තුළ පිහිටි ආකර්ෂණීය භූමි භාගයකි. විල්පත්තු ජාතික උද්‍යානය ඉපැරණි ඓතිහාසික නගරයක් වන අනුරාධපුරයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන්ම ඉතිහාසයේ විවිධ කාලවකවානුවලට අයත් පුරාණ නටබුන් හා මානව නිර්මාණ වලින් සමන්විත වේ. නමුත් මෙම බිම්කඩ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වනජීවීන් සහ වෘක්ෂලතාදීය සංරක්ෂණය සඳහා කැප කෙරුණු බිම්කඩක් බවට පත්වූ අතර පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා වීම ආනුෂංගික සේවාවක් ලෙස පැවතුනි.

ශු. අන්තෝනි මුනිඳුන්ට පුද පූජා පවත්වන කතෝලික පූජනීය ස්ථානයක් ලෙස පිළිගැනෙන පල්ලකණ්ඩල් සිද්ධස්ථානය කලක් තිස්සේ විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පොම්පරිප්පුව ප්‍රදේශයේ පැවතියේ ද කුඩා කැලෑබද දේවස්ථානයක් ලෙසය. වර්ෂ 1964 අංක 28 දරණ ඉඩම් අත්කර ගැනීමේ (සංශෝධන) පනත (1969.12. 26 දිනැති අංක 14,886 දරන ගැසට් පත්‍රය) යටතේ 1969 දී රජය විසින් එම කුඩා ඉඩම් කොටස රජයේ ඉඩමක් ලෙස අත්පත් කර ගන්නා ලද අතර පසුව විල්පත්තුව ජාතික උද්‍යානයේ V කොටස 1973 දී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ එම කුඩා වනගත දේවස්ථානය ඇතුළුව සමස්ත පල්ලකණ්ඩල් ගම්මානයම උද්‍යානයේ කොටසක් බවට පත්විය.

කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමත් සමග විල්පත්තුව ජාතික උද්‍යානය නැවත විවෘත කිරීමෙන් පසු මෙම දේවස්ථානය ස්ථිර ගොඩනැගිලි සමඟ වේගයෙන් උද්‍යානය තුළට පුළුල් විය. එපමණක් නොව, පල්ලියේ මහා පරිමාණ උත්සවවල ප්‍රතිඵලයක් ලෙස ජාතික උද්‍යානයට සිදුවූ මිනිස් ආක්‍රමණ ද වැඩි විය. සෑම වසරකම ජූලි මස දෙවැනි සතියේ ඉරිදායින් අවසන් වන දින හතක පමණ මහා පරිමාණ පූජා උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මෙම දේවස්ථානය වෙත එක් රැස් වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR/224/2010 දරන නඩුවට අදාළ නියෝග මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු රාජකාරි සඳහා පමණක් භාවිතා කළ හැකි බව සඳහන්කර ඇති විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පිහිටා ඇති මාර්ගයේ කිලෝමීටර් හතක් ගමන් කරමින් දේවස්ථානයට ප්‍රවේශවන එම බැතිමතුන් විසින් අපද්‍රවය බැහැරලීම, ගිණි තැබීම, ඩ්‍රෝන කැමරා භාවිතය, උද්‍යානය තුළ ක්‍රියාත්මක පරිපාලන නීතී රීති උල්ලංඝනය කරමින් ඉබාගාතේ ඇවිදීම හා ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතය වැනි ජාතික උද්‍යානයේ වනජීවීන්ට සහ ඔවුන්ගේ වාසස්ථාන වලට හානිකර ක්‍රියාකාරකම් වල යෙදෙන බවට චෝදනා එල්ලවන අතර ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් නඩු පැවරීම්ද ගණනාවක් සිදුකර තිබේ.

මේ ආකාරයෙන් උද්‍යානයට හානි සිදුවීමට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම්ද ගොනුකර ඇති අතර නීතිපතිවරයා විසින් උද්‍යානය තුළ කටයුතු කළයුතු ආකාරය පිළිබඳ අංක CA/CA/82/2018 (KDP) හා 2019 නොවැම්බර් 13 දිනැති බේරුම්කරණ නියමයන්ද ඉදිරිපත්කර ඇත. කෙසේ නමුත් එම කොන්දේසි කිසිවකට අනුගත නොවෙමින් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කටයුතු උද්‍යානයට හානිකර අන්දමින් අත්තනෝමතික ආකාරයට සිදුකරගෙන යාමට අමතරව මේ වන විට සෑම මසකම පළමු අඟහරුවාදා දින විශාල ජන සහභාගීත්වයකින් යුතුව මාසික දේව මෙහෙයක් පැවැත්වීමට උද්‍යානය තුළට පිවිසීමට දේවස්ථානයේ ලෝගුධාරීන් කටයුතු කිරීම නිසා ඉදිරියේදී විල්පත්තුව ජාතික උද්‍යානය කබලෙන් ලිපට වැටීමේ අවධානමක් උද්ගතව තිබේ.

මෙතෙක් කලක් එම තත්ත්වය පාලනය වූයේ අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයාගේ කැපවීම හේතුවෙනි. ඒ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා විසින් සෑම මසකම පුත්තලම මහේස්ත්‍රාත්වරයා මගින් ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළුවීමට සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝග ලබාගැනීම මගිනි. නමුත් එළැඹෙන මාර්තු මස සිට මෙම තත්ත්වය වෙනස් කරමින් මාසිකව ජාතික උද්‍යානය හරහා ගමන්කොට පල්ලකණ්ඩල් දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකිරීමට ජනතාවට ඉඩ සලසා දෙන බවට ජාතික ජනබලවේග ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනක පොරොන්දුවී ඇති බවත්, එකඟතා ගිවිසුමක් මගින් නීතී විරෝධී ලෙස ඊට අවසර ලබාදීමට දැනට විශ්‍රාම පූර්ව නිවාඩු ගොස් සිටින උක්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා කෙනෙකු වන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරමින් සිටින බවත් අසන්නට ලැබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම වන උයන රැකගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති බව අප අමතක නොකළ යුතුය. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ වනජීවී නිලධාරියෙකු මුල් වරට රාජකාරි අතරතුර මරණයට පත්ව ඇත්තේද විල්පත්තුව ජාතික උද්‍යානය තුළදීය. ඒ 1957 ජූලි මස 04 දින වනජීවී නියාමක කේ. මැණික්රාල මහතා වලසෙකුගේ ප්‍රහාරයෙන් මරණයට පත්වීමය. 1985 මැයි 14 වන දින විල්පත්තු ජාතික උද්‍යානයේ මූලස්ථානයේදී ත්‍රස්තවාදීන් විසින් නිලධාරීන් 24 දෙනෙකු සමූලඝාතනය කරන ලද අවස්ථාව එක් ස්ථානයකදී වැඩිම වනජීවී නිලධාරීන් ප්‍රමාණයකුට දිවි අහිමිවූ අවස්ථාව ලෙස ඉතිහාසගතවී තිබේ. ඊට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා සහ බෝම්බ පුපුරුවා වනජීවී නිලධාරීන් සත් දෙනෙකු ඝාතනය කර ඇත. තවද දඩයක්කරුවන් විසින් වෙඩි තබා වනජීවී නිලධාරීන් දෙදෙනෙකු සහ පහරදී එක් අයෙකු මරා දමා තිබේ. එමෙන්ම රාජකාරි අතරතුර සිදුවූ වන අලි පහරදීමකින් ද එක් නිලධාරියෙකු මරණයට පත්ව තිබේ. ඒ අනුව මෙරට එක් වනජීවී රක්ෂිතයක් රැකගැනීම සඳහා වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් දිවි පූජාකර ඇත්තේ විල්පත්තුවේය. එම සංඛ්‍යාව 36 කි.

එසේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය දිවි පුදා රැකගත් විල්පත්තුව ජාතික උද්‍යානයට කිසිඳු පාලනයකින් තොරව මාසිකව මිනිසුන් දහස් ගණනකට ඇතුළුවිය හැකි ආකාරයෙන් අවබෝධතා ගිවිසුමක් මගින් අවසර ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම මත කටයුතු කරන්නේ නම් එය සංරක්ෂණයට හිතැති කුමන හෝ ආගමක් අදහන පුද්ගලයෙකුට අනුමත කළ නොහැක. තවද මෙහි දිගුවක් වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා එක් දුරකථන ඇමතුමකින් පරිසර අමාත්‍යාංශයට කැඳවා විමර්ශන නාඩගමක් මගින් ඔවුන් බියට පත්කිරීමට දරා ඇති තැතද ජුගුප්සාජනකය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ‘ඇත් දළයක් හෝ වෙහෙර විහාර වලට පුජා කළ නොහැකි නම් තමන්ගේ අමාත්‍ය පට්ටමෙන් පලක් නැතැයි’ කී වනජීවී විෂයභාර අමාත්‍යවරුන් මෙරට සිටි බව සැබෑය. නමුත් දහසක් පුරාජේරු දොඩවා බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේද එවැනි හීනමානකාරයින්, මොළේ අමාරුකාරයින් සිටිත් නම් එය ‘පුනරුද යුගයක්’ පැතූ ජනතාවට සිදුවූ දෛවයේ සරදමක් වැනිය.

එබැවින්,

ශු. අන්තෝනි මුනිඳුනි,

මේ හීනමානකාරයින්, මොළේ අමාරුකාරයින්ගෙන් විල්පත්තු වන උයන රැකදෙනු මැනවි!

“මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි, එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ බවට පත්කර තිබේ”

මැතිව් 21:12-13

Pallekandal_church_development.JPG

දේවස්ථානය 2009 සහ 2019 වසරවල පැවති තත්ත්වය (ඡයාරූප අයිතිය ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය)

Supun Lahiru20220504 1

| සුපුන් ළහිරු ප්‍රකාශ්