කීත් නොයාර් මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි.ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත.2008 වසරේ සිට පසුගිය දහසය වසරකට අධික කාලය තුළම ඔහු නමින් ලියැවුණ පිරිපුන් විශ්ලේෂණ කිසිවක් කියවන්නට පාඨකයින්ට අවස්ථාවක් නොලැබිණි. 2008 මැයි 22 වැනිදා දිනය කීත් මෙම තත්ත්වයට පත් වූ තීරණාත්මක දිනය වන්නේය. කීත්ගේ තියුණු හෙළිදරව්කිරීම් දරාගත නොහැකිවූ පිරිසක් විසින් කීත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට දරුණුලෙස වධහිංසා පමුණුවමින් ඔහුගේ මාධ්‍ය භුමිකාවට අවසන් තිත තබන්නේ 2008 මැයි 22 වැනිදාය.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් ම්ලේච්ඡ ලෙස ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයට සිදු වූ හිංසාකාරී සිදුවීම් අතර කුප්‍රකටම සිදුවීමකි. කීත් සේවය කළේ මීට වසර කිහිපයකට පෙර වසා දැමූ 'රිවිර මීඩියා කෝපරේශන්' ආයතනයේ 'ද නේෂන්' පුවත්පතේ සම කර්තෘවරයා හැටියටය. ඔහු පුවත්පතේ යුද තොරතුරු වාර්තා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුද විය. 'ද නේශන්' පුවත්පතේ 'සෙන්පති' යන අන්වර්ථ නාමයෙන් 'මිලිටරි මැටර්ස්' නමැති ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ යුද තත්ත්වය පිළිබඳව වූ ලිපිය සතිපතා රචනා කළේ කීත්ය.
"යුද හමුදාව එහි ප්‍රධානියාගේ පෞද්ගලික නින්දගමක් නොවේ"
කීත් පැහැරගැනීමට පෙර පළ කෙරුණ ලිපිය කීත් විසින් රචනා කරනු ලැබ තිබුණේ එවකට යුද තත්ත්වය සහ දේශපාලන බලධාරීන් විවේචනය කෙරෙන පරිදිය.කීත් පැහැරගෙන යාමට ආසන්න හේතුව බව පැවැසුනේ "යුද හමුදාව එහි ප්‍රධානියාගේ පෞද්ගලික නින්දගමක් නොවේ" යන හිසින් පළ වූ ලිපියයි.
සිය සගයින් සහ ප්‍රධානීන්ගේ කොන්දේසි විරහිත මැදිහත්වීම් නොවන්නට වධහිංසාවට මුහුණදීමට පමණක් නොව ඇතැම් විට ඔහුගේ ජීවිතය උදුරාගන්නටද එම ලිපිය හේතුවන්නට ඉඩ තිබූ බව මේ වනවිට විමර්ශනවලින් හෙළිදරව්වී ඇති සිදුවීම් අනුව පැහැදිලිය.
අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය
කීත් පැහැරගනු ලබන්නේ 'ද නේශන්' පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් සහ එහි හිමිකාරීත්වය ඇති රිවිර මීඩියා කෝපරේශන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත කුරේ සමග කොළඹ ඩුප්ලිකේශන් පාරේ පිහිටි අවන්හලක රාත්‍රී ආහාරය ගෙන නිවසට පිටත් වීමෙන් අනතුරුව එළඹෙන ඊළග නිමේෂයේදීය. ('රිවිර' ආයතනයද එම දිනවල එහි හිමිකාරීත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් අභියෝගයකට මුහුණ දෙමින් පැවති අවධියකි.) කීත් සිය මෝටර් රථයෙන් දෙහිවල වෛද්‍ය පාරෙහි පිහිටි සිය නිවස ඉදිරිපිටටම පැමිණෙන අතර පැහැරගැනීමට ලක් වන්නේ නිවස ඉදිරිපිට වාහනය නතර කිරීමට සූදානම්වන මොහොතේය. කීත්ගේ බිරිඳ නිවස ඉදිරියට එන විට කීත් එහි නොසිටි අතර වාහනයේ රියදුරු අසුනේ දොර හැර දමා එන්ජිම ක්‍රියා විරහිත කර නොමැති බව දැකීමෙන් ඈ කලබලයට පත්වන්නීය. කීත්ගේ බිරිඳ රෝෂිණී මේ පිළිබඳව 'ද නේශන්' නියෝජ්‍ය කර්තෘවරයා දැනුම්වත් කරන්නේ එහෙයිනි. 'ද නේශන්' නියෝජ්‍ය කර්තෘවරයා විසින් කීත් සමග රාත්‍රී ආහාරය ගත් ලලිත් අලහකෝන් සහ ක්‍රිෂාන්ත කුරේ දැනුම්වත් කරනු ලබන්නේ ඉන් අනතුරුවය.
මහින්දගෙන් ගෝඨාට හදිසි ඇමතුමක්
කීත් පැහැරගැනීම ගැන කලබලය ඇති වන්නේ ක්‍රිෂාන්ත කුරේ එවකට රජයේ රාජ්‍ය පරිපාලන ඇමති ධුරය දැරූ කරූ ජයසූරිය අමතා මෙම සිදුවීම දැනුම් දී සිය ආයතනයේ ඉංග්‍රීසි පුවත්පතේ සම කර්තෘවරයාගේ ජීවිතාරක්ෂාව පිළිබඳව සහතිකයක් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීම සමගය. එයින් පොළඹවනු ලබන ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා - ඔහුගේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි සිය සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ ඇමතීම සිදුව තිබේ.
ඒ අතරේ සිදු වූ තවත් සිදුවීම් කිහිපයකි. සිදුවීම පිළිබඳව පැමිණිලි කිරීමට දෙහිවල පොලිසිය වෙත ගිය ක්‍රිෂාන්ත කුරේ සිය ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටියද ඒ සඳහා පොලිසියෙන් සූදානමක් නොතිබිණි. (එවකට දෙහිවල පොලිස් ස්ථානාධිපති රංජිත් කොට්ටච්චි සෑම දෙයකටම ඉහළින් උපදෙස් පැතූවෙකු බව කියැවේ.) පොලිසියේ නොසලකා හැරීමත් එතැනට පැමිණි එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර සේනානායක සහ ක්‍රිෂාන්ත කුරේ එකිනෙකා අතරවූ විවාද මැදත් කීත්ගේ සමීපතමයෝ ඔහුගේ විසන්ධි කර ඇති දුරකථනයට දිගින් දිගටම ඇමතුම් ගැනීම සිදු කළහ. ඔහුට කෙටි පණිවිඩ යැවීමට ඔවුහු කටයුතු කළහ. එහිදී රිවිර බෙදාහැරීම් කළමනාකාරවරයා ගත් ඇමතුමකදී කීත්ගේ දුරකථනය නාද වීමත් සමග කෙටි පණිවුඩද දුරකථනයට සම්බන්ධ විය. ඒ අනුව පණිවිඩ හුවමාරු වී ඇත්තේ දොම්පේ දෙකටන ප්‍රදේශයේ කුළුණකින් බව අනාවරණය කෙරිණි. (මෙම අනාවරණය කරගැනීම් සිදු වූයේද පොලිස් සහායක් නැතිව කීත්ගේ ප්‍රධානියාගේ සම්බන්ධකම් මතය.) එම තොරතුරත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු හරහා නිලධාරියකු සම්බන්ධ කරගනිමින් කීත්ගේ සමීපතමයින් පිරිස දොම්පේ ගොස් තිබියදී කීත් යළි ගෙනත් දමා ඇත. ඒ වන විට වේලාව අලුයම 05ට පමණ වූ බව පැවසේ. දැඩි වධ බන්ධනයට ලක් වී හමු වූ මාධ්‍යවේදියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද ඔහුගේ ජීවිතය පිළිබඳව ආරක්ෂාවක් නීතිය පසින්ද එවකට හෝ පසුවද තහවුරු නොවීය.
දේශපාලන අධිකාරියේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ, සිවිල් සංවිධාන සහ මාධ්‍ය සංවිධානවලින් සිදුවීම පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කෙරුණ අතර තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට අවධාරණය කෙරිණි. නමුත්, මේ වනවිට අවසන් කරඇති, වරදකරුවන්ට දඬුවම් නොදුන් විමර්ශන අනුව මාධ්‍යවේදියාගේ ජීවිතාරක්ෂාව ගැන එවකට කිසිසේත්ම වගවීමක් නොවූ බව ඉතා පැහැදිලිය. එහෙයින් කීත් තෝරා ගත්තේ විදේශගත වීමේ විකල්පයයි.සිදුවීමෙන් පසු කීත් කිසිදා යළි ශ්‍රී ලංකාව තුළ තමන් වෙනුවෙන් සාධාරණය ඉල්ලන ක්‍රියාවලියකට හෝ කිසිදු මාධ්‍ය කටයුතුත්තකට සම්බන්ධ වනු දක්නට නොලැබිණි.
යහපාලන ආණ්ඩුවේ විමර්ශන
2015 ජනවාරි 08 වැනිදා 'යහපාලන' රජය පත්වීමත් සමග වසර 07ක් ගෙවෙන තුරු පරීක්ෂණ සිදු නොවූ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමේ සිදුවීම පිළිබඳව බොහෝ කාරණා කතාබහට ලක් කෙරිණි. සිදුවීම පිළිබඳව විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. කීත් නොයාර් පැහැරගැනීම හොඳින් සැලසුම් කර සිදු කළ එකක් බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක එහිදී හමු විය. කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම පිළිබඳව ගල්කිස්ස උසාවියේ ගොනු කර ඇති අංක 314 නඩුවේ බී වාර්තාව අනුව කරුණු මෙසේ සඳහන් කර තිබේ. (බී වාර්තාවේ සඳහන් දුරකථන අංක මෙහි ඇතුළත් නොකිරීම, ආචාර ධාර්මික පියවර අනුගමනය කිරීමකි.)
කීත් පැහැරගැනීම ‘බී වාර්තාවට ‘ අනුව
"x ‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘව සිටි මාධ්‍යවේදී කීත් ලෙරෝයි නොයාර් මහතාව, ඔහු පදිංචි ව සිටි අංක 52, වෛද්‍ය පාර, දෙහිවල නිවස ඉදිරිපිටදී 2008 මැයි 22 වැනි දින පැහැරගෙන යාම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී නිවසට පැමිණ කාර් රථයෙන් බැස ගේට්ටුව විවෘත කරන අවස්ථාවේදී සුදු පාට වෑන් රථයකින් බැස පැමිණි අය පිස්තෝල සහ පොලූ වලින් පහර දුන් බවත් ඔවුන් ඔහුව වෑන් රථයකට දමාගත් බවත් එහිදී ඇස් බැඳ දෑත් පිටුපසට තබා හෑන්ඩ්කප් දැමූ බවත් රුපියල් 2,000 ක් තිබූ පර්ස් එක ද ලබාගත් බවත් රන් පවුමක පමණ මුද්ද පිස්තෝලයෙන් ගැසූ කෙනා ගත් බවත් වෑන් රථය තුළදීද පහර දී ඇති අතර පැයක පමණ කාලයක් ගමන් කර නැවත බැස්සවූ බවත් අත් විලංගුවලට හරහට පොල්ලක් දමා පොල්ලෙන් උස්සාගෙන ගිය බවත් ලොකු කාමර සහිත නිවසකට ගෙන ගොස් ඇඳුම් ගලවා පහර දුන් බවත් එල්ටීටීඊ එකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියා විමසූ බවත් උඹට පත්තරේ දමන්න තොරතුරු දෙන්නේ කවුද යනුවෙන් විමසූ බවත් ඉන්පසුව එතැනට කෝල් එකක් ලද බවත් ඉන්පසුව දුරකතනයට කතා කළ කෙනා තමන් ළඟට ඇවිත් ඇඳුම් ඇඳගන්නා ලෙසත් මඩ හෝදාගන්නා ලෙසත් පැවසූ බවත් ඉන්පසුව නැවත වෑන්රථයක නංවාගෙන ඇස් බැඳ රැගෙන ඇවිත් තැනකට දමා 'මේක කාට හරි කියලා තිබුණොත් මරනවා' යනුවෙන් තර්ජනය කර මුදාහැර ඇත.
x 'ද නේෂන්' පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් මහතා හා රිවිර මීඩියා කෝපරේෂන් සමාගමේ සභාපති වූ ක‍්‍රිෂාන්ත කුරේ විසින් ..... දරන දුරකතනයෙන් එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇමතුම් ලබාගත්තත් එතුමා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ නිසා එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ..... දරන දුරකතනයට කතා කොට ‘මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. පැහැරගැනීම කරලා තියෙන්නෙ ආමි කොමාන්ඩෝ එකෙන්’ බව පවසා ඇත. එහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් "මගේ ආමි කොමාන්ඩෝට ඇඟිල්ල දික්කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්" යනුවෙන් පවසා ඇත.
x ..... එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතා කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන් මහතාගෙන් විස්තර විමසා ඇති අතර එහිදී අනුර සේනානායක මහතා විසින් පවසා ඇත්තේ "ඔය මනුෂ්‍යයා පැය දෙකකින් විතර එයි. මම ඕකට ටීම් එකක් දාලා ඉන්වෙස්ටිගේෂන් කරනවා." යනුවෙනි.
x ලලිත් අලහකෝන් මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුරකතනයෙන් අමතා මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු සිදු වූ දුරකතන සංවාදයන් පිළිබඳව විමර්ශන පවත්වන ලදී.
එසේම, X එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ අංක ….. දරන දුරකතනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න භාවිතා කළ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිත කළ දුරකතනයෙන් රාත‍්‍රී 11.39 ට ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිත කළ ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත.
X ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.51 ට දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවත්.
X ඉන්පසුව ජාතික බුද්ධි ප‍්‍රධානී භාවිතා කළ ….. දරන දුරකතනයෙන් රාත‍්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත.
X යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිත කරන ලද ….. අංක දරන දුරකතනයෙන් ට්‍රිපොලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වනවිට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප‍්‍රදේශයේ තිබී ඇති අතර,ට්‍රිපෝලි කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප‍්‍රදේශයේ තිබී ඇත. (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප‍්‍රදේශයට බව හෙළි වී තිබේ.)
X බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකතනයෙන් ට්‍රිපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වනවිට මේජර් බුලත්වත්තගේ දුරකතනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප‍්‍රදේශයේ ය. (එනම් කීත් නොයාර් පැහැරගෙන ගිය බවට හෙළි වී ඇති ප‍්‍රදේශයයි.)"
ට්‍රිපොලි බුද්ධි අනු ඛණ්ඩයට අයත් දුරකථන අංක පහක්
කීත් නොයාර්ගේ ජංගම දුරකථනයට සමගාමීව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩයට අයත් දුරකථන අංක පහක් ගමන් කර ඇති බව හඳුනාගෙන ඇත. මරදාන ට්‍රිපොලි යුද්ධ හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනු ඛණ්ඩයකට අයත් භට පිරිසක්ද අත්අඩංගුවට ගැනිණි. මාධ්‍යවේදියාගේ එවකට පිහිටි මරදාන පිහිටි කාර්යාලයේ සිට හා ඒ මහතාගේ නිවස අවට, පැහැර ගැනීමෙන් පසු දොම්පේ දෙකටන ප්‍රදේශයේ ඔහුගේ ජංගම දුරකථනයට සමගාමීව ඉහත හමුදාවේ දුරකථන අංක පහ ක්‍රියාත්මක වී ඇති බව හඳුනාගෙන ඇත. මාධ්‍යවේදියා පැහැර ගැනීමට ලක්වූ සමයේ දොම්පේ 'බදුවත්ත වලව්ව' නම් ස්ථානය යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් කුළී පදනම මත පරිහරණය කර ඇති බවත් මරදාන ට්‍රිපොලි හමුදා කඳවුරේ බුද්ධි අනු කණ්ඩය යටතේ රාජකාරී කළ පිරිසක් එය භාවිත කර ඇති බවත් හෙළි කර ගැනිණි. එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ රාත්‍රියේ බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ සහ බුද්ධි අංශ අධ්‍යක්ෂ අමතා ඇති බවද පරීක්ෂණ කෙරෙන් තහවුරු වී ඇත. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමට අදාළව 2017 පෙබරවාරියේදී පැවති නඩු වාරයකදී මාධ්‍යවේදියාගේ කට උත්තරය සැකෙවින් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර අවසන් වරට තමන් ලියුවේ කොළඹ ලෝටස් පාරේ සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව වන අතර එහිදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හා ආරක්ෂක ඇමතිවරයාට ඍජුවම විවේචනය කර ලිපිය පළ වී දිනක් ඇවෑමෙන් තමන් පැහැරගෙන ගිය බව මාධ්‍යවේදියා විසින් පැවසිණි.
ප්‍රහාරය අතරතුර "හරි සර්, හරි සර්"ඇමතුම
පැහැරගෙන යන අතරතුර තමන්ට පහර දුන් බවත් තමාගේ ලිපිවලට තොරතුරු ලැබෙන්නේ කෙසේද, රහස් මාර්ගවලින් තොරතුරු ලබා දෙන්නේ කවුද, බිරිය හා දරුවන් පිළිබඳව හා බැංකු ගිණුම් පිළිබඳව තොරතුරුද විමසූ බවත් මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දී ඇත. පැහැර ගත් අය තම දෑස් බැඳ පැහැරගෙන ගිය ස්ථානයේ අඩ නිරුවත් කර, ජංගම දුරකථන හා මංගල මුද්ද ගත් බවත් පහර දෙන අතරතුරදී එම ස්ථානයේ සිටි අයකුට දුරකථන ඇමතුමක් ලැබුණු පසු ඔවුන් "හරි සර්, හරි සර්" කියමින් කතා කළ බවත් මාධ්‍යවේදියා පවසා තිබේ. අනතුරුව තමාට පහරදීම නවතා ගල්කිස්ස ප්‍රදේශයේ දමා ගිය අතර තමන්ට පහර දුන් බව කිසිවකුට පැවසුවහොත් දරුපවුලට ඉන්න නොදෙන බව පැවසූ බව කීත් නොයාර්ගේ ප්‍රකාශයේ සඳහන්ය. සිදුවීමෙන් අනතුරුවද තමාගේ නිවස අවට සුදු වෑන් සැරිසැරූ පසුව තමා දරුවන් හා බිරිය සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචියට පැමිණි බව කීත් නොයාර් සඳහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් වධහිංසා කිරීම යන කාරණා සම්බන්ධයෙන් හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හැටියට කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පවා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සක්‍රීයව මැදිහත් විය. සාක්ෂිකරුවෝ ඇතැමෙක් එකිනෙකා චෝදනා කරගනිමින් විමර්ශන සඳහා සම්බන්ධ වූහ.
රාජපක්ෂවරුන් අපහසුතාවට පත් කිරීමේ උත්සාහයන්
මෙම පරීක්ෂණ පැවැත්වෙන වකවානුවේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන පිල ඒකාබද්ධ විපක්ෂය බවට පත්ව තිබිණි. කීත් නොයාර් පැහැරගැනීමේ සිදුවීමට අදාළව බොහෝ කරුණු තහවුරු වේද්දී දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂය විසින් පවසනු ලැබුවේ මෙය රාජපක්ෂවරුන් අපහසුතාවට පත් කිරීමට ගන්නා ලද උත්සාහයක් බවයි. එවකට දේශපාලන බලධාරින්ද පරීක්ෂණ අවසන් අදියරේ ඇති බව කීවද තත්ත්වය දේශපාලනිකව වරින් වර වෙනස් වෙමින් පැවතිණි. සැබෑ අපරාධකරුවන් කවුද යන්න සිද්ධි දාම එකින් එක ගලපා බලන විට පැහැදිලි වෙමින් පැවතියත් යහපාලන ආණ්ඩුව විසින්ද සිදු කරනු ලැබුවේ අපරාධකරුවන්, සැකකරුවන් පිළිබඳව මුනිවත රැකීමය. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙම විමර්ශන උඩුයටිකුරු වූ අතර 2020 ජනවාරි 20 වැනිදා පත් කළ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධබන්ධනයට ලක් කිරීම පිළිබඳව සිදුවීමේ සැකකරුවන්ට අදාළව ක්‍රියාමාර්ග වෙනස් විය. සිද්ධියේ සැකකරුවන් ලෙස සැලකූ විශ්‍රාමික යුද හමුදා මාණ්ඩලික සැරයන් චන්ද්‍රාභය ජයසූරිය, විශ්‍රාමික යුද හමුදා නිලධාරී ප්‍රියන්ත කුමාර සෝමසූරිය යනාදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට චෝදනා කරමින් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පළිගැනීම පිණිස මාධ්‍යවේදී කීත් නොයාර් සිදුවීම මෙහෙයවූ බවය. මේජර් ප්‍රහාත් බුලත්වත්ත නැවතත් සක්‍රීය සේවයේ පිහිටුවීමටද ගෝඨාභය රාජපක්ෂ පාලනයෙන් කටයුතු කෙරිණි. එතැන් සිට කීත් නොයාර්ට සාධාරණය ඉටු වීමේ ක්‍රියාවලිය යළි පුස් වදින්නට පටන් ගැනිණි. ශ්‍රී ලංකා හමුදාවේ ට්‍රිපොලි ප්ලැටූන්හි හිටපු ප්‍රධානියා වූ මේජර් ප්‍රභාත් බුලත්වත්ත යනු මේ වන විට 2022 වසරේදී මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවනු ලැබූවෙකු වේ. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම මෙන්ම 2009 වසරේ 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති නීති විරෝධී හමුදා කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ ප්‍රභාත් බුලත්වත්ත විසිනි.
කීත් නොයාර් පැහැරගෙන යෑම සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමට 30.10.2017 ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළාය. ඒ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට කීත් සහභාගි නොවීම හේතුවෙනි. නමුත්, ඉහත කාරණා කෙරෙන් සැකකරුවන් ගැන තහවුරු කරගත් ක්‍රියාවලියක් හෙළි විය. කීත් නොයාර්ව පිරිසක් විසින් පැහැරගෙන වධහිංසා කරනු ලැබුවේ කීත් සමග පැවැති පෞද්ගලික කෝන්තරයක් නිසා නොවන බව විමර්ශනවලදී තහවුරු වී ඇත. මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනයට, උපාලි තෙන්නකෝන්ට කළ පහරදීම මෙන්ම මාධ්‍යවේදී නාමල් පෙරේරාට කළ පහරදීමටද අදාළව සැකකරුවන්ගේ නම් මෙම විමර්ශනවලදී නිශ්චිතව කියවිණි.
දණ්ඩ මුක්තිය අවසන් කිරීමේ අභියෝගය
මෙම සිදුවීම මේ වන විට තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව භාරයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණ අවසන් කර තිබේ. ඒ සඳහා නිසි පියවර ගැනීමේ වගකීම ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවටය. සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේශා මුතුමාලගෙන් විමසීමක් කළද ඒ සම්බන්ධයෙන් අලුත් කරුණු කිසිවක් ඇයගෙන් ප්‍රකාශ නොවිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ හැකි මැදිහත්වීමේ උපරිමය මේ වන විට අවසන් වී ඇත. රජයේ ප්‍රමුඛතාවද මෙම සිදුවීමට මෙහිදී හිමි වීම වැදගත්ය. මහජන ආරක්ෂාව යනු පාලක පැලැන්තියක, ආණ්ඩුවක හිතුවක්කාරකමක්ද යන්න ප්‍රශ්න කරන තැනට කීත්ගේ සිදුවීම තුළ කරුණු ගොනු වී තිබේ. ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ කර මතද කීත්ට සාධාරණය ඉටු කිරීමේ එම වගකීම පැටවී ඇත. අපරාධ රාජ්‍යයක් යැයි හංවඩු ගැසුණු වකවානුවක් වෙනුවට මෙවන් සිදුවීම්වලට සාධාරණය හිමි කර දීමෙන් ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යයට ගරු කරන රටක් බව පෙන්වීමට වත්මන් රජයට අවස්ථාව එළඹ තිබේ. නොඑසේනම් නිර්දෝෂී මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ සිදුවීම් ලැයිස්තුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සදාතන වගකීමක්ව ඉදිරියටද ඉහළ යනු නිසැකය.
(මාධ්‍ය වාර්තාකරණය හේතුවෙන් ඝාතනයට ලක් වූ, අතුරුදන් කළ, පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරන, ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට යුක්තිය ඉටුකරන ලෙස අදාළ පාර්ශවයන්ට බලකරන කළු ජනවාරිය වැඩසටහන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය විසින් සංවිධානය කරන ලද වැඩසටහන 2025 ජනවාරි 31 වන දා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම වැඩසටහනට සමගාමීව මෙරට ජනමාධ්‍යට එරෙහිව සිදු වූ තෝරාගත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් දැනට මාධ්‍යකරණයේ නියුතුව සිටින මාධ්‍යවේදීන් විසින් ලියන ලද ලිපි පෙළක ජනමාධ්‍යවේදීනී ශිවන්ති ප්‍රනාන්දු විසින් පහරදීමට ලක්වූ ජනමාධ්‍යවේදී කීත් නොයාර් පිළිබඳ ලියන ලද පර්යේෂණාත්මක ලිපියකි.)
| ශිවන්ති ප්‍රනාන්දු