වසරකට පෙර, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හදිසියේම, ඉතිහාසයේ නොවූ විරූ ආකාරයකින් මානව හිමිකම් තර්ජනයට ලක් කරන නීතියක් සම්මත කරගත්තේය. අර්ථවත් සාකච්ඡාවකින් තොරව පාර්ලිමේන්තුවදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත (OSA) නමින් වූ පනත සම්මත කර ගත්තේය. ගෝලීය වශයෙන් ඕනෑම අධිකරණ බල ප්‍රදේශයක නිදහසට, පෞද්ගලිකත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට ඇති දැවැන්තම තර්ජනයක් එම පනත නියෝජනය කරයි. විපක්ෂ මන්ත්‍රීවරුන්ට පවා එහි ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවයක් නොතිබූ අතර, පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පැය 24කට පෙර සිටම එම පනත සම්මත වීමේ සලකුණු පහළ විය.
කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම යනුවෙන් සැරසුණු මෙම නීතිය, ඒ වෙනුවට වාරණය පුළුල් කිරීම, පෞද්ගලිකත්වය විනාශ කිරීම, සමූහ නිරීක්ෂණය සහ ඉහළ බලපෑමක් ඇති පුද්ගලයන්, ව්‍යාපාරිකයන්ගේ සිට වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් සහ ශාස්ත්‍රඥයින් දක්වා සෑම කෙනෙකුටම බලපාන එම නීතිය ඒකාධිපති පාලනය සඳහා රාමුවක් ද නිර්මාණය කළේය.
Global Network Initiative (GNI) විසින්, අන්තර්ගත නියාමනය සහ මානව හිමිකම් රාමුව, පරිශීලක-ජනිත අන්තර්ගතය සම්බන්ධයෙන් ලෝකය පුරා රාජ්‍ය මුල පිරීම් සියකට වැඩි ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින්, මෙම ගැටලුකාරී නීතිය, මූලික නිදහස ආරක්ෂා කරමින් නීත්‍යානුකූල ඔන්ලයින් හානි සඵලදායී ලෙස විසඳීමට හැකි එකක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රායෝගික සැලකිල්ලක් දැක්වීමට සූදානම් බව නිවේදයනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. නව NPP රජය ප්‍රතිසංස්කරණ සඳහා විවෘතභාවයක් පෙන්වන බැවින්, මානව හිමිකම් මූලධර්ම භාවිතා කරමින් OSA නැවත හැඩගැස්වීමට තීරණාත්මක අවස්ථා කවුළුවක් පවතින බවට පෙනේනට තිබේ.
OSA මගින් ශ්‍රී ලංකාවේ දේශපාලනය, නීති, ප්‍රතිපත්ති සම්පාදන සහ නියාමන ඉතිහාසයේ නොවූ විරූ ආකාරයෙන්, නිදහස ඇතුළු මූලික මානව හිමිකම් උල්ලංඝනය කෙරිමින් තිබෙන බව දක්නට ලැබිණි. ඔන්ලයින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පැය 24කට පෙර, එවකට විපක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් සියලු දෙනා වාරණය, සමූහ නිරීක්ෂණය, පෞද්ගලිකත්වය ඛාදනය කිරීම සහ ඒකාධිපතිවාදය පුළුල් කිරීම අරමුණු කරගත් එහි ලක්ෂණ (බොහෝ දෙනා යෝජනා කරන පරිදි දෝෂ නොව) පිළිබඳව ඉතා සුළු දැනුමක් තිබූ බව කැපී පෙනුනි. පාර්ලිමේන්තුවේ විවාදයේ ගුණාත්මකභාවය දැඩි ලෙස දුර්වල විය. මන්ත්‍රීවරුන් ඔන්ලයින් හානි පිළිබඳ මූලික කරුණු පිළිබඳව සම්පූර්ණයෙන්ම නොදැනුවත්ව සිටි අතර, විමර්ශනාත්මක ජනමාධ්‍යවේදීත්වය, පුරවැසි මාධ්‍යයේ විවේචනාත්මක දැක්ම, දේශපාලන විවේචනය, තියුණු උපහාසය, පදනම්ගත විවේචනය සහ මහජන වගවීම හරහා දණ්ඩ මුක්තියට ඇති අභියෝග වලින් ආරක්ෂා වීමට මෙය බාධාවක් ලෙස නොදැක්කේය. ඒ වෙනුවට කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කරන නීතියක් ලෙස ‘නිර්මාණය’ කරන ලද අදහසක් සමාජ ගත විය.
අනුගත අධිකරණයක් විසින් ආයුධයක් ලෙස භාවිතා කළ හැකි ආකාරය ඇතුළුව OSA මඟින් සක්‍රීය කරන දේ පිළිබඳ නොදැනුවත්කම මේ දක්වා බොහෝ නිර්වචනයන් තුළ දැනුත් ගැබ්ව පවතියි. 2024 වසර පුරා, මම නීතියේ සුවිශේෂී තර්ජනය පිළිබඳව කතා කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින සිය ගණනක් පුද්ගලයන් හමු වූයෙමි. ඉහළ බලපෑමක් කළ හැකි පුද්ගලයන්, ප්‍රමුඛ ව්‍යාපාරිකයන් සහ විශාලතම ජනමාධ්‍ය වේදිකාවල හිමිකරුවන් සිට උතුරේ සහ දකුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ නීතිඥයන් දක්වා කිසිවෙකු – වැළැක්විය නොහැකි ලෙස – නීතිය කොතරම් නරක දැයි වටහා නොගෙන සිටියහ. ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින්, විදේශ ඍජු ආයෝජන (FDI), ද්විපාර්ශ්වික ව්‍යාපෘති, බහුපාර්ශ්වීය ගිවිසුම්, කර්මාන්ත මූලික වර්ධනය පිළිබඳ ඔවුන්ගේ සියලු ගණනය කිරීම් OSA ක්‍රියාත්මක වීමත් සමඟ ඉතා අසීරු වනු ඇති බව තේරුම් නොගත්හ. මන්ද යත්, අනෙකුත් සැලකිලි අතර, විදේශයන්හි ලියාපදිංචි ආයතන සහ රජයන් ඔවුන්ගේම දේශීය නීති හේතුවෙන් අනුකූල විය යුතු පෞද්ගලිකත්ව-ආරක්ෂණ සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන ආකාරය නිසාය. එනම්, 2024 වසර පුරා මා කතා කළ කිසිවෙකු OSA යනු ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) සමඟ ගැටෙන බව – එතරම් බරපතල ලෙස, පෞද්ගලිකත්ව දත්ත ආරක්ෂණ රාමු සමඟ අනුකූලතාව සහතික කළ හැකි ආකාරය තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම අවශ්‍ය වනු ඇති බව – වටහා නොගත්හ. මෙය අතිශයෝක්තියක් නොවේ. OSA ලෝකයේ ඕනෑම තැනක සිටින සෑම කෙනෙකුටම අදාළ වන පරිදි සහ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ඕනෑම අවස්ථාවක අන්තර්ජාලයට එක්කරන ලද සියල්ල සහ අතීතයටත්, අනාගතයටත් දක්වා අදාළ වන පරිදි සකසා ඇති නිසාය.
මෙවැනි නීතියක් ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ මාර්ගගත නියාමන ඉතිහාසයේ කිසි විටෙක නොතිබුණද, එය ප්‍රතික්ෂේප කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණයද සුදුසුකම් නොලැබීය. ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව – එයට එරෙහිව ඉතිහාසයේ නොවූ විරූ සංඛ්‍යාවක නඩු පැවරුණු – සහ 2024 විදුලි සංදේශ පනත අතර සංසන්දනයක් මගින් පෙන්නුම් කළේ විනිසුරුවන්ට ඔන්ලයින් හානි හෝ ඒවා විසඳීම සඳහා අරමුණට සුදුසු නීති සැලසුම් කිරීම පිළිබඳ අවබෝධයක් නොතිබූ බවයි. නීතිඥ සහ ක්‍රියාකාරී අම්බිකා සත්කුනානාදන් සඳහන් කළ පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළද, ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ මූලික දෝෂ විසඳීමට එය ප්‍රමාණවත් නොවන බවය.
OSA මගින් ශ්‍රී ලංකාවේ සිටින සෑම කෙනෙකුටම, ඔවුන් කළ දේ කුමක් වුවද බලපෑම් කරනු ඇත. උදාහරණයක් ලෙස, එය වෙළඳ දැන්වීම්කරුවන් සහ අලෙවිකරණ ශිල්පීන්ට බලපෑ ප්‍රමාණය සැලකිය යුතු වූ නමුත්, එය ඔවුන් නොදන්නා බව වැටහිනි – ප්‍රමුඛ ඒජන්සියක්, නීතිය පිළිබඳ දැනුවත් කිරීමකින් පසු මට පැවසුවේ එය රටේ කර්මාන්තයේ ඉතිහාසයේ බරපතලම තර්ජනය බවයි. මා කතා කළ ප්‍රමුඛ නීතිඥයන් නීතියේ සිතාමතා ලිහිල් විධිවිධාන සහ වාග් මාලාව ඔවුන්ට එරෙහිව, විශේෂයෙන් දේශපාලන පන්තියේ බලය වගවීමට ලක් කළ හෝ වැරදි හෙළිදරව් කළ සේවාදායකයින්ගේ ආරක්ෂාවේදී, ආයුධයක් ලෙස භාවිතා කළ හැකි ආකාරය අගය නොකළහ. රාජ්‍යතාන්ත්‍රිකයන්, මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ දේශපාලන ගැටලු පසෙක තබා වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා වලට බලපෑම් කරන ආකාරය වටහා නොගත්හ. රටේ පැරණිතම සහ විශාලතම වෘත්තීය සමිති හතළිහකට අධික සංඛ්‍යාවකින් සාමාජිකයින් හැටකට වැඩි පිරිසක් OSA පිළිබඳ වැඩමුළුවක් පැවැත්වෙන තුරු අදාළ නීතිය ඔවුන්ගේ උපායමාර්ගික සැලසුම්, වරප්‍රසාදිත සන්නිවේදන, සංවිධානයවීම් සහ ක්‍රියාකාරිත්වයට එරෙහිව භාවිතා කළ හැකි බව සහ මම තර්ක කරන තෙක් හඳුනා නොගෙන සිටියහ. ජාතික ලේඛනාගාරයේ ඇති ලේඛන රැකබලා ගන්නන් ඇතුළුව, 2022 අරගලය වැනි සමාජ-දේශපාලන මොහොතවල් සහ වැදගත් ව්‍යාපාර සහ ඉන් බිහිවූ ඩිජිටල් නිර්මාණ ඇතුළු අනාගත එකතු කිරීම්වල අඛණ්ඩතාවට OSA හි ඇති බලපෑම් වටහා නොගත්හ. 2024 පුරා මා කතා කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු මැතිවරණ අඛණ්ඩතාව උල්ලංඝනය කරමින්, විශේෂයෙන් මැතිවරණ මොහොතට පෙර සහ එහිදී ව්‍යාපාර, සන්නිවේදන සහ දේශපාලන ක්‍රියාකාරකම් යටපත් කිරීමට, කඩාකප්පල් කිරීමට සහ සම්පූර්ණයෙන්ම නතර කිරීමට පවා OSA සතු විභවය තේරුම් නොගත්හ.
කැපී පෙනෙන ලෙස, OSA ආයුධයක් ලෙස භාවිතා කරනු ලබන ආකාරය පිළිබඳව වඩාත්ම දැනුවත්ව සිටියේ උතුරු සහ නැගෙනහිර දෙමළ ක්‍රියාකාරීන්ය. පනත සම්මත වී සති එකක් හෝ දෙකක් තුළදීම, ඔවුන් සමඟ පැවති රැස්වීමක් මගින් පැහැදිලිව පෙන්නුම් කළේ එය දැනටමත් ප්‍රජාව තුළ මර්දනීය බලපෑම් ඇති කර ඇති බවයි, සමාජ මාධ්‍ය අන්තර්ගතය සහ දෙමළ දේශපාලන දුක්ගැනවිලි, දෙමළ ජාතික ප්‍රශ්නය, යුද අපරාධ සඳහා වගවීම, සිහිවටන සහ බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ යුක්තිය සොයා යාම පිළිබඳ අදහස් දැක්වීම් ඒ තුළ ඇතුළත් විය. මෙම බිය 2024 අග භාගයේදී පොලීසිය ඔන්ලයන් ආරක්ෂණ කොමිසම (OSC) පිහිටුවීම ඇතුළුව OSA සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අත්‍යශ්‍ය බව ප්‍රකාශ කළ කරුණින් තහවරු වෙයි. මෙය එම පොලීසියම, මිලියන ගණනක දුරකථනවලින් ජනතාව සම්පූර්ණයෙන්ම නීරීක්ෂණය කළ හැකි යෙදුමක්, e-Traffic App නමින් හදුන්වා දුන්නේය.
ඇත්ත වශයෙන්ම, OSA එතරම් නරක වූ බැවින්, මෘදුකාංග සංවර්ධනය, සමාජ මාධ්‍ය, කෘතිම බුද්ධිය, cloud පරිගණනය ආදිය සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම සමාගම් නියෝජනය කරන Asia Internet Coalition (AIC) වෙතින් එය දැඩි ලෙස විවේචනය කළේය. මෙම විරෝධය හේතුවෙන්, වික්‍රමසිංහ රජය සහ අදාළ නීතියේ ‘ප්‍රවීණයා’ වූ ටිරාන් අල්ලස්ට එය සංශෝධනය කිරීමට සිදු විය. කෙසේ වෙතත්, 2024 අගෝස්තු මාසයේ සිදු කළ සංශෝධන සමහර අංශ වඩා නරක අතට හැර වූ අතර, ප්‍රධාන වශයෙන් කර්මාන්තය වන්දි ලබා දීමට පමණක් සේවය කළේය. වෙන කිසිවෙකුට ප්‍රතිලාභ නොලැබුණි. උදාහරණයක් ලෙස, “අසත්‍ය ප්‍රකාශයක්” තුළ වන අඩංගුව වන්නේ කුමක්ද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලිය හෝ අභිප්‍රාය විනිශ්චය කරන ආකාරය පැහැදිලි කිරීමට සංශෝධන සම්පූර්ණයෙන්ම අසමත් විය. PDPA සමඟ නීතියේ මූලික නොගැලපීම ද විසඳුමකින් තොරව පැවතුණි, එයින් අනුකූලතා අභියෝග උග්‍ර විය.
OSA ආයුධයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මෑතම සහ දැඩි කනස්සල්ලට තුඩු දෙන තවත් එක් උදාහරණයක් ලෙස, ජනවාරි මාසයේදී ප්‍රමුඛ මාධ්‍ය වේදිකාවක් විසින් තවත් කුඩා ඔන්ලයින් මාධ්‍ය වේදිකාවකට එරෙහිව මෙම නීතිය භාවිතා කළේය. නීතියේ මෙම පූර්වාදර්ශ සපයන භාවිතය, ප්‍රධාන ධාරා මාධ්‍යවල දූෂිත පුද්ගලයන් සහ අපරාධකරුවන් සමඟ ඇති සම්බන්ධතා සහ ඔවුන්ට යටත් වීම අනාවරණය කරන විවේචනාත්මක ජනමාධ්‍යවේදිත්වයට වේදිකාවක් සපයන සමාජ මාධ්‍ය සහ ඔන්ලයින් පුරවැසි මාධ්‍ය මුල පිරීම් ඉලක්ක කර ගැනීම සඳහා එහි වැඩි අපයෝජනයට මංපෙත් සකසයි.
2024 දී නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමේ සිට මෙම නඩු දක්වා, සහ අතරමැදි සියලු අවස්ථාවල,(List of Cases Filed under the Online Safety Act of Sri Lanka) කාන්තාවන් හෝ ළමුන් ආරක්ෂා කර ඇති එක් අවස්ථාවක් හෝ නොමැති වීමත් අප අවධානයට ලක් කළ යුතු ප්‍රමුඛ තත්ත්වයකි. ඊටත් වඩා කනගාටුදායක වන්නේ, මෙම නීතිය හඳුන්වාදීමේදී ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකාරීත්වයට අමතරව, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ බොහෝ දෙනෙක් අන්තර්ජාල හානි නියාමනය පිළිබඳ මූලික කරුණු පිළිබදවත් තේරුම් ගැනීමේ නිරන්තර අසමත්භාවයයි.
පසුගිය මාසයේ පවා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස පිළිබද ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන වන ඇම්නෙස්ටි, PEN International, Human Rights Watch, IFEX සහ Committee to Protect Journalists වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව අත්සන් කළ ලිපියක විශ්මයජනක ලෙස සඳහන් කර ඇත්තේ “…හිරිහැර කිරීම් සහ වංචා වැනි සැබෑ ඔන්ලයින් හානි විසඳීම අරමුණු කරගත් නව සයිබර් ආරක්ෂණ නීති සමඟින් එය සංශෝධනය කළ යුතුය” යනුවෙනි. මෙය සම්පූර්ණ හිස් වචන විය, උපහාසාත්මක ලෙස 2024 මුල් භාගයේ වික්‍රමසිංහ රජයේ සමහර මන්ත්‍රීවරුන් OSA සඳහා සාධාරණීකරණයක් ලෙස ප්‍රකාශ කළ දේ පිළිබිඹු කරමින්, සම්පූර්ණ නොදැනුවත්කම හෝ උපායශීලී කපටිකම හරහා සයිබර් ආරක්ෂණ තර්ජන ඔන්ලයින් වෛරය සහ හානි සමඟ මුසු කරමිනි. 2024 අගෝස්තු සංශෝධන ගෙන ඒමේදී යම් කාර්යභාරයක් ඉටු කළ බව මාධ්‍යවල වාර්තා වූ අනෙක් අයට ඔන්ලයින් හානි නියාමනය පිළිබඳ ඔප්පු කළ හැකි අත්දැකීම් හෝ විශේෂඥතාවයක් නොමැත.
NPP රජය සමාජ මාධ්‍ය සහ එහි මැතිවරණ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වූ ආකාරය පිළිබඳව සංඥා කිරීම සහ 2024 අග භාගයේ නීතිය සංශෝධනය කිරීමට අදහස් කරන බව සංඥා කිරීම ජනවාරි මැද භාගයේ “…මාර්ගගත ආරක්ෂණ පනත එහි මුල් ස්වරූපයෙන් ක්‍රියාත්මක නොකරන බවත් මහජන උපදේශන වලින් පසු සංශෝධන හඳුන්වා දීමට අදහස් කරන බවත්” යන නිවේදනයට පෙර සිදු විය. එම ලිපියේම ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ “අන්තර්ජාල හානි විසඳීමේදී එහි ඵලදායීතාවය ආරක්ෂා කරමින් පනතේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇත”, සහ “අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් පසු පනත ක්‍රියාත්මක කරනු ලැබේ. අපි එය එහි වර්තමාන ස්වරූපයෙන් බලාත්මක නොකරන්නෙමු. බොහෝ අංශ සංශෝධනය කළ යුතුය. කෙසේ වෙතත්, නිදහස අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා අපි ව්‍යවස්ථාව භාවිතා කරන්නෙමු”. යනුවෙනි.
OSA භාවිතාව නැවැත්වීම යහපත් පුවතක් වන අතර, රනිල් වික්‍රමසිංහගේ රජය යටතේ එය දුරස්ථව වත් සලකා බැලීමට නොහැකි වුවද, මන්ත්‍රී වීරරත්නගේ අදහස් ඒවාට පිළිතුරු සපයනවාට වඩා බොහෝ ප්‍රශ්න මතු කරයි. මෙය ගැඹුරින් පෙන්වා දෙමින්, ජනවාරි 29 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත, සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය (CSMD) විසින් යොමු කරන ලද ලිපියක අවධාරණය කර ඇත්තේ,
“2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත (OSA) සඳහා සිදු කිරීමට යෝජිත සංශෝධන පිළිබඳව ප්‍රසිද්ධ අනාවරණයක්/ විනිවිදභාවයක් නොමැති වීම පිළිබඳව සැලකිය යුතු ගැටලුවක් පවතී. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා සැලසුම් කර ඇති බව දක්වා ඇති නමුත්, මෙම සංශෝධන කවුරුන් විසින්, කෙසේ සකස් කර ඇතිද, කුමන විශේෂිත සංශෝධන සලකා බලමින් පවතී ද, සහ විශේෂයෙන් එයට මානව හිමිකම් ප්‍රමිතීන් පදනම් කර ඇතිද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි බවක් නොමැත.” යනුවෙනි.
මානව හිමිකම් සහ ඔන්ලයින් හානි නියාමනයන්හි මූලික පදනමෙහි තිබිය යුතු ආකාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකරු ඩේවිඩ් කේ සහ එක්සත් රාජධානියේ Chatham House හි නිර්දේශ මත පදනම්ව, වත්මන් දේශපාලන මොහොත NPP රජයට, OSA හි සැලකිය යුතු දෝෂ විසඳිය හැකි ආකාරය පිළිබඳ සරල අදහස් සඳහා කැඳවීමක් කරයි. මේ සඳහා, Global Network Initiative (GNI) හි අන්තර්ගත නියාමනය සහ මානව හිමිකම් රාමුව ශ්‍රී ලංකාවේ දැඩි ගැටලුකාරී ඔන්ලයින් ආරක්ෂණ පනත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලකිය යුතු මෙන්ම මානව හිමිකම් කේන්ද්‍රීය ප්‍රවේශයක් සපයයි.
පරිශීලක-ජනිත අන්තර්ගතය සම්බන්ධයෙන් ලෝකය පුරා රාජ්‍ය මුල පිරීම් සියකට වැඩි ප්‍රමාණයක් විශ්ලේෂණය කරන GNI ලියවිල්ල, නීත්‍යානුකූලභාවය, නීතිමය බව, අවශ්‍යතාවය සහ පෞද්ගලිකත්වය යන මූලික කුළුණු හතරක් වටා සංවිධානය කරන ලද නිශ්චිත නිර්දේශ යෝජනා කරයි.
මෙම නිර්දේශ මානව හිමිකම් මූලධර්ම ගරු කරමින් සහ අනපේක්ෂිත ප්‍රතිවිපාක වළක්වා ගනිමින් අන්තර්ගත නියාමනය සැලසුම් කර ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ පැහැදිලි මග පෙන්වීමක් සපයයි. නිශ්චිත නීතිමය නිර්වචන, විනිවිද පෙනෙන පාලනය, සමානුපාතික පියවර සහ ශක්තිමත් පෞද්ගලිකත්ව ආරක්ෂණ කෙරෙහි ලියවිල්ලේ අවධාරණය, එහි පාරිභාෂිත වචන, අධික පුළුල් විෂය පථය, අප්‍රමාණවත් ක්‍රියා පටිපාටික ආරක්ෂණ සහ ගැටලුකාරී ලෙස පෞද්ගලිකත්ව පිළිබද ඇඟවුම් ඇතුළුව OSA හි වත්මන් අඩුපාඩු බොහොමයක් සෘජුවම ආමන්ත්‍රණය කරයි.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ පදනම් වූ සහ විවිධ පාර්ශ්වකරුවන්ගේ දැක්ම මගින් දැනුවත් වූ GNI රාමුව යෙදීම මගින්, ශ්‍රී ලංකාවට OSA එහි වත්මන් ආකාරයෙන් වාරණයේ විභව උපකරණයක් ලෙස සිට මූලික මිනිස් නිදහස ආරක්ෂා කරමින් නීත්‍යානුකූල ලෙස ඔන්ලයින් හානි සඵලදායී ලෙස විසඳන සමතුලිත නියාමන රාමුවක් බවට පරිවර්තනය කිරීමේ අවස්ථාවක් ඇත.
OSA හි ඕනෑම ප්‍රතිසංස්කරණයක් සඳහා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් සමඟ ඔන්ලයින් හානි අවම කිරීම පිළිබඳ නීත්‍යානුකූල උත්සුකයන් සමතුලිත කරන පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වේ. පහත දැක්වෙන නිර්දේශ, GNI හි රාමුවෙන් උපුටා ගන්නා ලද අතර, ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන යථාර්ථයන් මත පදනම් ව, අන්තර්ජාල හානි විසඳීම සඳහා වඩාත් ඵලදායී සහ මානව අයිතිවාසිකම්වලට ගරු කරන මෙවලමක් ලෙස එය සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ග සිතියමක් සපයයි.
නීත්‍යානූකූලභාවය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රධාන නිර්දේශ අතර,
- සිවිල් සමාජ සංවිධාන, විවිධ ප්‍රමාණවල තාක්ෂණික සමාගම්, නීති විශේෂඥයින් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් විවෘත, සහභාගීත්ව ක්‍රියාවලියක් හරහා OSA හී සංශෝධනය සිදුකළ යුතුය. මෙම ක්‍රියාවලියට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, පෞද්ගලිකත්වය සහ විවිධ ව්‍යාපාර ක්‍රියාකාරීත්වයන් කෙරෙහි ඇති වන බලපෑම් පරීක්ෂා කරන ඇගයීම් ක්‍රියාවලියක් ද ඇතුළත් විය යුතුය.
- මාර්ගගත ආරක්ෂණ කොමිසමේ (OSC) බලතල ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් සමඟ වඩාත් නිශ්චිතව නිර්වචනය කළ යුතුය. අදාළ සමහර සංශෝධනය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා අනුමැතිය අවශ්‍ය කරන/ අවශ්‍ය වියහැකි නමුත්, අමතර සංවරණ සහ තුලන ක්‍රියාවලියක්ද අවශ්‍ය වේ. මේ සදහා, පාර්ලිමේන්තු අධීක්ෂණය, අනිවාර්ය මහජනයාට විවෘතභාවය සහ කොමිසමේ තීරණ පිළිබඳ ස්වාධීන විගණනය ද ඇතුළත් විය හැකිය. කොමිසම එහි අභිමතානුසාරී බලතල ක්‍රියාත්මක කරන ආකාරය පාලනය කිරීම සඳහා පැහැදිලි ක්‍රියා පටිපාටියක් සමග නීති ද තිබිය යුතුය.
- තහනම් අන්තර්ගතවල නිර්වචන සැලකිය යුතු සංසකරණයක් අවශ්‍ය කරයි. “අසත්‍ය ප්‍රකාශ” වැනි පුළුල් කරුණක් වෙනුවට, නීතියෙහි පැහැදිලි උදාහරණ සහ බැහැර කිරීම් සමඟ හානිකර අන්තර්ගතවල නිශ්චිත නිර්වචනයන් සිදුකළ යුතුය. නිදසුනක් වශයෙන්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අසත්‍ය ප්‍රකාශ සාමාන්‍යයෙන් තහනම් කිරීම වෙනුවට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කුමක්ද යන්න නීතිය විසින් නිශ්චිතව සදහන් කළ යුතු අතර සත්‍ය හෝ ආසන්න හානිය/ අසත්‍ය පිළිබද දැඩි විනිවිදභාවයක් අවශ්‍ය වේ.
නීත්‍යානුකූලභාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන නිර්දේශ වන්නේ,
- OSA හි සියලු වගන්ති සියලු අන්තර්ගත සීමා කිරීම් ICCPR හි 19(3) වගන්තිය යටතේ නීත්‍යානුකූල අරමුණු සමඟ අනුකූල වන බව සහතික කිරීම සඳහා සංශෝධනය කිරීම. මෙයින් අදහස් කරන්නේ “තහනම් ප්‍රකාශ” පිළිබඳ අපැහැදිලි විධිවිධාන ඉවත් කිරීම සහ මහජන සාමය සහ අන් අයගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැනි නිශ්චිත නීත්‍යානුකූල අරමුණු ඉටු කරන අන්තර්ගතයන් පැහැදිලිව අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.
- නීතිය මූලික වශයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීති මූලධර්ම වටා ප්‍රතිව්‍යුහ කළ යුතුය. මගේ පෙර ලිපියෙහි සහ GNI මෙය අවධාරණය කරයි. මෙයින් අදහස් කරන්නේ නීත්‍යානුකූලභාවය, නීත්‍යානුකූලභාවය සහ අවශ්‍යතාවය / සමානුපාතිකත්වය පිළිබඳ “තුන්-පාර්ශවීය පරීක්ෂණය” නීතියේ රාමුවට පැහැදිලිවම ඇතුළත් කිරීමයි.
- ප්‍රදර්ශනය කළ හැකි ‘හානියක් නොවන’ මතභේදාත්මක කථනයන් පැහැදිලිව ආරක්ෂා කරන්න. මීට යම් ශ්‍රාවක පිරිසකට අපහසුතාවයක් හෝ අපහාසයක් ඇති කිරීම පමණක් නිසා අන්තර්ගතය සීමා කළ නොහැකි බව පැහැදිලි කරන විධිවිධානයක් එක් කිරීම ඇතුළත් විය හැකිය. “යහපත් චේතනාවෙන් කරන ලද අන්තර්ගතයක්” සංශෝධනයෙන් බැහැර කිරීම ආරම්භයක් වුවද එය සම්පූර්ණයෙන්ම අප්‍රමාණවත්ය.
- අන්තර්ගත නියාමනය වේදිකා-මධ්‍යස්ථ විය යුතු අතර, ඔන්ලයින් සහ ඔන්ලයින් නොවන දෙකටම ප්‍රමිති අදාළ කළ යුතුය. ඩිජිටල් අන්තර්ගතය සඳහා වෙනස් ක්‍රියා පටිපාටි අවශ්‍ය වන විට, ඔන්ලයින් කථනය සඳහා වඩාත් සීමාකාරී පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවට මේවා තාක්ෂණික අවශ්‍යතාවය මත පදනම්ව පැහැදිලිව සාධාරණීකරණය කළ යුතුය.
නීතියේ අවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය සහතික කිරීම පහත ආකාරයෙන් ශක්තිමත් කළ හැකිය,
- තාක්ෂණික ස්ථරයේ ඔවුන්ගේ කාර්යභාරය සහ නිශ්චිත හානි විසඳීමේ හැකියාව මත පදනම්ව විවිධ ආකාරයේ සේවා සඳහා විවිධ බැඳීම් ස්ථාපිත කිරීම. උදාහරණයක් ලෙස, අන්තර්ජාල යටිතල පහසුකම් සපයන්නන්ට සමාජ මාධ්‍ය වේදිකාවලට වඩා සීමිත බැඳීම් තිබිය යුතු අතර, කුඩා වේදිකාවලට විශාල ඒවාට සාපේක්ෂව වෙනස් කරන ලද අවශ්‍යතා තිබිය හැකිය.
- පැය 24ක් තුළ අන්තර්ගත ඉවත් කිරීමේ අවශ්‍යතාවය වඩාත් සියුම් පද්ධතියකින් ප්‍රතිස්ථාපනය කළ යුතුය. පැහැදිලිවම නීති විරෝධී අන්තර්ගතයන් හී සමහර කාණ්ඩ (ළමා ලිංගික අපයෝජන වැනි) සඳහා පමණක් වහාම ක්‍රියාමාර්ග අවශ්‍ය විය යුතුය. අනෙකුත් අන්තර්ගත සඳහා ස්ථිර ඉවත් කිරීමට පෙර නිසි අභියාචනා යාන්ත්‍රණ සමඟ සංකීර්ණත්වය සහ සන්දර්භය මත පදනම්ව අදියර වශයෙන් කාලසටහන් තිබිය යුතුය.
- නීතිය මගින් ලේබල් කිරීම, downranking සහ කරුණු-පරීක්ෂා කිරීම ඇතුළුව ඉවත් කිරීමට එහා ගිය අන්තර්ගත මැදිහත්වීමක් සඳහා විවිධ ප්‍රවේශයන් පැහැදිලිවම දිරිමත් කළ යුතුය. වේදිකාවලට ඔවුන්ගේ ක්‍රම පිළිබඳ විනිවිදභාවය පවත්වා ගනිමින් විවිධ ප්‍රවේශයන් සමඟ අත්හදාබැලීම් කිරීමේ නම්‍යශීලීතාවය ලබා දිය යුතුය.
- නිසි අභියාචනා සහ ප්‍රතිකර්ම පද්ධතියක්(appeals and remedy syst) ස්ථාපිත කළ යුතුය. මීට අන්තර්ගත සීමා කිරීම් පිළිබඳව පරිශීලකයින්ට අනිවාර්ය දැනුම් දීම, සාධාරණ කාල රාමු සහිත පැහැදිලි අභියාචනා කිරීමේ ක්‍රියාවලීන්, සහ වැදගත් නඩු සඳහා ස්වාධීන සමාලෝචන යාන්ත්‍රණ ද ඇතුළත් විය යුතුය. අන්තර්ගතවලට මැදිහත්වීමේ තීරණ පිළිබඳ විස්තරාත්මක, නියමිත විනිවිදභාවයකින් යුතුව පරිශීලකයින් වෙත වාර්තා සැපයීම සිදුකළ යුතුය.
පෞද්ගලිකත්ව ආරක්ෂණය ශක්තිමත් කිරීමට ඇතුළත් විය හැක්කේ,
- PDPA යටතේ ස්ථාපිත දත්ත ආරක්ෂණ කාර්යාලය සමඟ දියුණු සම්බන්ධීකරණය සහ සහයෝගීතාව, සහ ඔන්ලයින් හානි සම්බන්ධයෙන් කටයුතු කරන නීතිවල අවධාරණය කරන දේ සියලු පුරවැසියන් සඳහා පෞද්ගලිකත්වයට බාධා නොකරන බව සහතික කිරීම.
- විමර්ශන බලතල (විශේෂයෙන් 33 වන වගන්තිය යටතේ) වඩාත් ශක්තිමත් පෞද්ගලිකත්ව ආරක්ෂක ක්‍රමවේදයක් ඇතුළත් කිරීම සඳහා අදාළ නීතිය සංශෝධනය කළ යුතුය. මීට පරිශීලක දත්ත වෙත ප්‍රවේශ වීම සඳහා අධිකරණ වරෙන්තු අවශ්‍ය කිරීම, කුමන දත්ත වෙත ප්‍රවේශ විය හැකිද සහ ඒවා භාවිතා කළ හැක්කේ කෙසේද යන්න සඳහා පැහැදිලි ප්‍රමිති සැකසීම, සහ අවභාවිතය වැළැක්වීම සඳහා අධීක්ෂණ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම ඇතුළත් විය හැකිය.
- පනත මගින් පැහැදිලිවම end-to-end encryption සහ නිර්නාමික කථනය(anonymous speech) ආරක්ෂා කළ යුතුය. පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති විරෝධී අන්තර්ගතයන් ආමන්ත්‍රණය කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණ සංවර්ධනය කළ යුතුය.
- පරිශීලක දත්ත වෙත රජයේ ප්‍රවේශය සඳහා පැහැදිලි, විනිවිදභාවයකින් යුතු නිසි ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීම සිදුකළ යුතුය. මීට අවශ්‍යතාව සහ සමානුපාතිකත්වය පෙන්වීම, පරිශීලක දැනුම්දීම (පැහැදිලිව නිර්වචනය කරන ලද හදිසි අවස්ථාවලදී හැර), සහ දත්ත අවම කිරීමේ සහ මැකීමේ අවශ්‍යතා ස්ථාපිත කිරීම ඇතුළත් විය යුතුය.
ඔන්ලයින් හානි නියාමනය කිරීම සඳහා ස්ථාපිත කරන ලද ඕනෑම නීතියක ක්‍රියාත්මක කිරීම සහ සමාලෝචනය පහත දැක්වෙන දේවලින් ප්‍රතිලාභ ලබනු ඇත,
- එහි සඵලතාවය සහ අයිතිවාසිකම් කෙරෙහි බලපෑම තක්සේරු කිරීම සඳහා අනිවාර්ය කාලානුරූප සමාලෝචන විධිවිධාන තිබීම. මෙයට අන්තර්ගතයන් ඉවත් කිරීම්, අභියාචනා සහ විවිධ ප්‍රජාවන් කෙරෙහි බලපෑම් පිළිබඳ අත්දැකීම් දත්ත රැස් කිරීම ඇතුළත් විය යුතු අතර, අකාර්යක්ෂම හෝ අනපේක්ෂිත හානි ඇති කරන බව පෙන්නුම් කරන විධිවිධාන වෙනස් කිරීමේ අවශ්‍යතා ද ඇතුළත් විය යුතුය.
- ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීමට සහ වැඩිදියුණු කිරීම් නිර්දේශ කිරීමට රජයෙන් ස්වාධීන බහු-පාර්ශ්වකරු අධීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීම. මෙය RTI කොමිසම ආදර්ශයෙන් ආකෘතිගත කළ හැකිය. මණ්ඩලයට විෂය-ක්ෂේත්‍ර විශේෂඥයින් සහ සිවිල් සමාජය, කර්මාන්තයන්, academia, නීති ප්‍රජාව සහ රජයේ නියෝජිතයින් ඇතුළත් වනු ඇති අතර, විමර්ශන පැවැත්වීමට සහ නිර්දේශ සිදු කිරීමට බලය ඇත.
- සරල, ඉහළ මට්ටමේ අන්තර්ගත ඉවත් කිරීමේ සංඛ්‍යාලේඛන වලට එහා ගිය සාර්ථකත්වය සඳහා පැහැදිලි මිනුම්දඩු පද්ධතියක් ඇති කිරීම. මීට පරිශීලක තෘප්තිය, අභියාචනා ප්‍රතිඵල, නීත්‍යානුකූල කථනය කෙරෙහි බලපෑම් සහ සැබෑ හානි විසඳීමේ සඵලතාවය පිළිබඳ මිනුම් ඇතුළත් විය හැකිය.
GNI රාමුව නියෝජ්‍ය අමාත්‍ය වීරරත්න සහ NPP රජයට ඔන්ලයින් හානිවලට එරෙහිව එහි සඵලතාවය පවත්වා ගනිමින් OSA සංශෝධනය කිරීමේ ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔප්පු කරන ලද, අයිතිවාසිකම්වලට ගරු කරන රාමුවක් සපයයි.
විවෘත, සහභාගීත්ව ආකාරයෙන් නීති සෑදීම කෙරෙහි, අදාළ රාමුවේ අවධාරණය කරන පාර්ශ්වකරුවන් සහ මහජන උපදේශනය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කැපවීම සමඟ පරිපූර්ණව ගැලපෙන අතර, නිශ්චිත නිර්වචන, පැහැදිලි සීමා කිරීමේ නිර්ණායක සහ අධිකරණ තීරණය පිළිබඳ එහි නිර්දේශ මගින් නීත්‍යානුකූල අන්තර්ගතය කෙරෙහි මර්දනීය බලපෑමක් ඇති නොකර “නිදහසේ අවභාවිතය වැළැක්වීමට” උපකාර කළ හැකිය. සේවා වර්ගය සහ ධාරිතාව මත පදනම්ව වෙනස් කරන ලද බැඳීම් ස්ථාපිත කිරීම සඳහා GNI හි ප්‍රවේශය, විනිවිදභාවය, නිසි ක්‍රියා පටිපාටිය සහ ප්‍රතිකර්ම කෙරෙහි එහි අවධාරණය සමඟ එක්ව, නියාමන සඵලතාවය ආරක්ෂා කරමින් අහිතකර බලපෑම් අවම කරන “අවශ්‍ය වෙනස්කම්” ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික මග පෙන්වීමක් සපයයි.
අවසාන වශයෙන් සහ තීරණාත්මක ලෙස, නීතියෙහි සමානුපාතික බව සහතික කිරීම සඳහා අත්දැකීම් සාධක සහ සැලකිලිමත් සාකච්ඡාව කෙරෙහි GNI හි අවධානය සැබවින්ම අවශ්‍ය සහ සුදුසු බව පෙන්වීමට රජයට ක්‍රමවේදයක් සපයයි, නියෝජ්‍ය අමාත්‍යවරයා ස්ථාපිත කිරීමට උත්සාහ කරන ඔන්ලයින් හානි විසඳීම සහ විශේෂයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අතර සියුම් සමතුලිතතාවය සාක්ෂාත් කර ගැනීමට එය උපකාර කරයි.
කෙනෙකුට බලාපොරොත්තු විය හැක්කේ NPP ආණ්ඩුවේ කෙනෙකු සවන් දෙන බවත්, ඉගෙනීමට විවෘත බවත් පමණි.
| ආචාර්ය සංජන හත්තොටුව
(ආචාර්ය සංජන හත්තොටුව විසින් Sri Lanka’s Online Safety Act: A year in review, and framework for reform නමින් ලියන ලද මුල් ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදයක් වන අතර, සිංහල අනුවාදය හී ඇතැම් කියැවීම් තුළ යම් අපහසුතාවයක් වේ නම් කරුණාකර මුල් ඉංග්‍රීසි පිටපත පරිශීලනය කරනමෙන් ඉල්ලා සිටිමු. | vikalpa.org)
සබැඳි පුවත්
- ඔන්ලයින් ආරක්ෂණ පනත(OSA) සංශෝධනය කිරීම සහ මානව හිමිකම් මූලධර්මවල කේන්ද්‍රීයත්වය
- Cyber bullying – අශිෂ්ටත්වයේ නියෝජනයකි. [කළ යුතු දේ කුමක්ද?]
- 2024 අංක 9 දරණ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය’ පිළිබද පනතෙහි ප්‍රතිපාදන සහ බලපෑම පිළිබද කෙටි සටහනක්
- “මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත” හරහා තථ්‍යසමාන ප්රකාශනයේ නිදහස පැහැරගනීවිද?
- සමාජ මාධ්‍ය නියාමනයට කලින් ඒ පිළිබඳ පුළුල් මහජන සංවාදයක් අවශ්‍යයි
- ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද?
- මාධ්‍ය නියාමනය තීන්දු කළ යුත්තේ ජනතාවයි
- PTA හා OSA අහෝසි කරන ලෙස වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරයි
- අන්තර්ජාල ආරක්ෂණ පනත අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම නව පාර්ලිමේන්තුව රුස්වීමෙන් පසුව - අමාත්‍ය විජිත හේරත් (Video)
- ඔන්ලයින් පනත ගැසට් කරයි
- 'ඔන්ලයින් පනත' ගැන කාවින්දගේ මතය සජබයේ මතයදැයි'මර්දනකාරී නීතිවලට එරෙහි සන්ධානය' විපක්ෂ නායකවරයාගෙන් විමසයි
- ඔන්ලයින් පනත අහෝසි කරන්න - වෘත්තීය සමිති ජනපතිට ලියයි