චීන කෘත්‍රිම බුද්ධි (AI) app එකක් වන DeepSeek, ChatGPT ඇතුළු අනෙකුත් තරගකරුවන් අභිබවා යමින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය තුළ ඇපල් App Store හි ඉහළම ශ්‍රේණිගත කිරීම හිමි නොමිලේ ලබා ගතහැකි යෙදුම (app) බවට පත්ව තිබේ.
එහි ජනප්‍රියත්වය ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පාදක කර ගත් කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ සමාගම්වල කොටස් අඩුමිලට විකුණා දැමීමට හේතු වී ඇත. Nvidia, මයික්‍රෝසොෆ්ට් සහ මෙටාහි කොටස් සඳුදා උදෑසන පහත වැටුණු අතර එම ප්‍රවණතාව හේතුවෙන් යුරෝපීය කොටස් මිල ගණන් ද පහත වැටිණි.
App එක එළිදැක්වූ දිනයේ සිට ඉතා ජනප්‍රිය වී ඇති අතර, කෘත්‍රිම බුද්ධියෙහි ප්‍රමුඛයා ඇමෙරිකා එක්සත් ජනපදය බවට පවතින පුළුල් විශ්වාසයට අභියෝගයක් එල්ල කරමින්, ඇමෙරිකා එක්සත් ජනපද සමාගම් කෘත්‍රිම බුද්ධිය සඳහා සිදුකිරීමට යන ආයෝජනවල පරිමාව පිළිබඳව ප්‍රශ්න මතු කර ඇත.
තරගකාරී සමාගම් වැයකළ ඩොලර් බිලියන ගණනක මුදලකට සාපේක්ෂව DeepSeek-V3 නම් විවෘත මූලාශ්‍රය (open-source) මත ක්‍රියාත්මක වන මෙම මොඩලය සංවර්ධනය කිරීමට ඩොලර් මිලියන 6කට වඩා අඩු මුදලක් වැය කළ බව එහි පර්යේෂකයින් පවසයි.
නමුත් මෙම හිමිකම් පෑම කෘත්‍රිම බුද්ධි අවකාශයේ අනෙකුත් පාර්ශව විසින් විවාදයට ලක් කර ඇත.
DeepSeek හි හදිසියේ සිදුවූ නැගීසිටීම වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කෘත්‍රිම බුද්ධිය සඳහා අවශ්‍ය උසස් තාක්ෂණික චිප් (chip) චීනයට විකිණීම සීමා කරන මොහොතක ය.
උසස් තාක්ෂණයෙන් යුත් අඛණ්ඩ ආනයනික චිප් සැපයුමකින් තොරව ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා, චීන කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින් සිය වැඩ බෙදා ගනිමින් තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා නව ක්‍රම අත්හදා බලමින් සිටියි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, කෘත්‍රිම බුද්ධි මොඩල වලට දැන් අවශ්‍ය වන්නේ පෙර සිතුවාට වඩා අඩු පරිගණක බලයක් සහ බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් අඩු වියදමකි. මින් සමස්ත කර්මාන්තයම උඩුයටිකරු විය හැකිය.
මෙම මස මුලදී DeepSeek-R1 දියත් කිරීමෙන් පසුව, සමාගම ප්‍රකාශ කළේ ChatGPT නිෂ්පාදකයින් වන OpenAI හි නවතම මොඩලයට සාපේක්ෂව සිය මොඩලයේ ක්‍රියාකාරිත්වය සාර්ථක බවයි. ඒ, විශේෂයෙන් ගණිතය, ඛේතකරණය සහ භාෂා තර්කනය වැනි කාර්යයන් සඳහායි.
සිලිකන් වැලි හි ආයෝජකයෙකු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදේශකයෙකු වන මාර්ක් ඇන්ඩ්‍රෙසන්, DeepSeek-R1 හැඳින්වුයේ "කෘත්‍රිම බුද්ධියේ ස්පුට්නික් මොහොත" ලෙසයි, ඒ, අභ්‍යවකාශ තරගයේ විශාල සන්ධිස්ථානයක් සනිටුහන් කළ සෝවියට් සංගමය විසින් 1957 Sputnik චන්ද්‍රිකාව දියත් කිරීම පිළිබඳ සඳහනකි.
එකල එක්සත් ජනපදය සලකනු ලැබුවේ තම ප්‍රතිවාදියාගේ තාක්ෂණික ජයග්‍රහණ නිසා අනාරක්ෂිතව සිටි බව ය.
DeepSeek හි ජනප්‍රියතාවය වෙළඳපොල කම්පනයට පත් කර ඇත. නෙදර්ලන්ත චිප් උපකරණ සමාගමක් වන ASMLහි කොටස් 10%ට වඩා පහත වැටුණු අතර, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දෘඩාංග නිපදවන Siemens Energy හි කොටස් 21%කින් පහත වැටිණි.
City Index හි ජ්‍යෙෂ්ඨ වෙළඳපල විශ්ලේෂකයෙකු වන ෆියෝනා සින්කෝටා පැවසුවේ, "අඩු වියදම් චීන app එකක් පිළිබඳ මේ අදහස අපේක්ෂා නොකළ බැවින් එය වෙළඳපොළ පුදුමයට පත්කර තිබෙනවා."
ඇය පැවසුවේ, "අඩු වියදම් කෘත්‍රිම බුද්ධි මොඩල ලබා ගන්නේ නම්, එය ප්‍රතිවාදීන්ගේ ලාභය ගැන කනස්සල්ලට හේතු වනු ඇති බව lය. විශේෂයෙන් ඔවුන් දැනටමත් මිල අධික කෘත්‍රිම බුද්ධි පද්ධති වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබෙනවා"
සිංගප්පූරුව මූලස්ථානය කර ගත් තාක්ෂණික උපදේශකයෙකු වන වේයි - සර්න් ලින්ග් බීබීසීය වෙත පැවසුවේ මේ හේතුවෙන් "සමස්ත කෘත්‍රිම බුද්ධි සැපයුම්දාමය සඳහා වන ආයෝජනයන් විනාශ විය හැකි" බවයි.
නමුත් වෝල් ස්ට්‍රීට් හි බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සිටි (Citi) අනතුරු ඇඟවූයේ DeepSeek, OpenAI වැනි ප්‍රමුඛ පළේ ඇමෙරිකානු සමාගම්වලට අභියෝග කළ හැකි නමුත්, චීන සමාගම් මුහුණ දෙන ගැටලු ඔවුන්ගේ සංවර්ධනයට බාධාවක් විය හැකි බව ය.
"අපි ඇස්තමේන්තු කරන්නේ නොවැළැක්විය හැකි ලෙස වඩාත් සීමාකාරී පරිසරයක් තුළ, වඩාත් දියුණු චිප්ස් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයට ඇති ප්‍රවේශය වාසියක් බවයි," එම විශ්ලේෂකයින් වාර්තාවක දක්වා තිබේ.
පසුගිය සතියේ, ඇමෙරිකා එක්සත් ජනපද තාක්‍ෂණ සමාගම් සහ විදේශීය ආයෝජකයින් කණ්ඩායමක් විසින් The Stargate ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කළ අතර, ටෙක්සාස්හි AI සමාගමක යටිතල පහසුකම් ඉදිකිරිම වෙනුවෙන් ඩොලර් බිලියන 500ක් ආයෝජනය කරන බව නිවේදනය කළේය.
DeepSeek ආරම්භ කළේ කවුද?
මෙම සමාගම 2023 වසරේදී ගිනිකොනදිග චීනයේ හන්ජෝහි ලියාංග් වෙන්ෆෙන්ග් විසින් ආරම්භ කරන ලදී.
40 හැවිරිදි, තොරතුරු සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිධාරියා, DeepSeek සඳහා සහාය දක්වන හෙජ් අරමුදල ද ආරම්භ කළේය.
මේ වන විට චීනයට අපනයනය කිරීම තහනම් කර ඇති Nvidia A100 චිප් ඔහු විසින් එහි ගබඩා කර ඇති බව වාර්තා වේ. එම චිප් එකතුව 50,000 ක් පමණ වෙතැයි විශේෂඥයින් විශ්වාසය පළ කර තිබේ. ඔවුන් විශ්වාස කරන්නේ මෙම චිප්ස් තවමත් ආනයනය කළ හැකි මිල අඩු චිප් සමඟ ඒකාබද්ධ කිරීමෙන් DeepSeek එළි දැක්වීමට ඔහුට උපකාර වන්නට ඇති බවය.
ලියාංග් පසුගියදා කර්මාන්ත විශේෂඥයින් සහ චීන අගමැති ලී චෑන්ග් සහභාගී වූ හමුවකදී දැකගත හැකි විය.
2024 ජූලි මාසයේදී ද චයිනා ඇකඩමිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ලියාංග් පැවසුවේ ඔහුගේ කෘත්‍රිම බුද්ධි ආකෘතියේ පෙර අනුවාදයට දැක්වූ ප්‍රතිචාරය ගැන තමා පුදුමයට පත් වූ බවයි.
"මිලකරණය මෙතරම් සංවේදී ප්‍රශ්නයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වුණේ නැහැ," ඔහු පැවසීය.
"අපි හුදෙක් අපගේම වේගය අනුගමනය කරමින්, වියදම් ගණනය කරමින්, ඒ අනුව මිල නියම කරමින් සිටිනවා."
අතිරේක වාර්තාකරණය : ජොආ ඩා සිල්වා සහ ඩෙර්බේල් ජෝර්ඩාන් විසින්
DeepSeek භාවිත කිරීම ආරක්ෂිත ද?
වෙළඳපොළ තුළ සහ සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ කැළඹීම් ඇති කරන චීන චැට්බොට් එකක් වන DeepSeekහි පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු මතු කළ බටහිර රජයක පළමු සාමාජිකයා බවට ඔස්ට්‍රේලියාවේ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය, එඩ් හියුසික් පත්ව තිබේ.
Huawei සිට TikTok දක්වා චීන තාක්ෂණික සමාගම් චීන රජයට සම්බන්ධ බවට නැවත නැවතත් චෝදනාවලට ලක්ව ඇති අතර, මෙය බුද්ධිමය අරමුණු සඳහා මිනිසුන්ගේ දත්ත රැස් කිරීමට හේතු විය හැකි බවට බියක් මතු කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ DeepSeek යනු, එක්සත් ජනපදය සඳහා "දෑස් විවර කිරීමේ ඇඟවීමක්" වන නමුත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පෙනෙන්නට නොමැති බව ය. ඒ වෙනුවට වියදම් අඩු කළහොත් එය හොඳ දෙයක් විය හැකි බව ඔහු පැවසීය.
නමුත් හියුසික් අඟහරුවාදා ABC ප්‍රවෘත්ති වෙත පැවසුවේ "දත්ත සහ පෞද්ගලිකත්වය සම්බන්ධ කටයුතු කළමනාකරණය" ඇතුළුව පිළිතුරු නොලැබුණු ප්‍රශ්න රාශියක් ඉතිරිව ඇති බව ය.
"මම ඒ ගැන ගොඩක් පරිස්සම් වෙනවා, මේ වගේ ප්‍රශ්න හොඳින් කිරා මැන බැලිය යුතුයි," ඔහු වැඩිදුරටත් පැවසීය.
අදහස් දැක්වීම වීමසීමට බීබීසීය කළ ඉල්ලීමට DeepSeek ප්‍රතිචාර දක්වා නැති නමුත් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ පරිශීලකයින් මෙතෙක් එවැනි කනස්සල්ලක් පළ කර නැත.
DeepSeek රටවල් දෙකෙහි ම app storesවල ඉහළට ම පැමිණ ඇති අතර වෙළෙඳපොළ විශ්ලේෂක සමාගමක වන Sensor Tower පවසන්නේ එය දියත් කිරීමෙන් පසු බාගත කිරීම් මිලියන 3ක් සිදුව ඇති බව ය.
මේවායින් 80%ක් පසුගිය සතිය තුළ සිදුව තිබේ. එනම්, එය Perplexity වැනි ප්‍රතිවාදී යෙදුම් බාගත කළ අනුපාතය මෙන් තුන් ගුණයකි.
DeepSeek රැස් කරන දත්ත මොනවා ද?
DeepSeekහි පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට අනුව, එය පරිශීලකයින්ගෙන් පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් රැස් කරයි. පසුව ඒවා චීනයේ "ආරක්‍ෂිත සර්වර් තුළ" ගබඩා කරයි.
ඊට මේවා ඇතුළත් විය හැක:
ගිණුමක් නිර්මාණය කිරීමේදී ඇතුළත් කරන ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකතන අංකය සහ උපන් දිනය.
එමෙන් ම, පරිශීලකයින් විසින් ඇතුළත් කරන text, audio සහ chat histories.
තව ද "තාක්ෂණික තොරතුරු" බව කියන ඔබගේ දුරකතනයේ ආකෘතිය සහ මෙහෙයුම් පද්ධතියේ සිට ඔබගේ IP ලිපිනය සහ ඔබ "යතුරු ලියනය හසුරුවන ආකාරය (keystroke patterns) දක්වා.
එහි "සුරක්ෂිතභාවය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය," වැඩි දියුණු කිරීම මගින් DeepSeek දියුණු කිරීමට මෙම තොරතුරු භාවිත කරන බව එය පවසයි.
එය පසුව මෙම තොරතුරු, "අවශ්‍ය තාක්කල්" තබා ගනිමින් සේවා සපයන්නන්, වෙළෙඳ ප්‍රචාරණ හවුල්කරුවන් සහ එහි ආයතනික කණ්ඩායම වැනි වෙනත් අය සමග බෙදා ගනු ඇත.
"DeepSeekහි තාක්‍ෂණික විභවයන් පිළිබඳව, විශේෂයෙන් ම එහි පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ නියමයන් වටා, අව්‍යාජ ලෙස සැලකිලිත්මත් විය යුතු කරණු තියෙනවා," ExpressVPN හි ඩිජිටල් පෞද්ගලිකත්ව උපදේශක ලෝරන් හෙන්ඩ්‍රි පාර්සන්ස් පැවසීය.
"සේවාවෙන් පිටත ඔබ සහ ඔබගේ ක්‍රියාවන් සමග ගැළපීමට උදවු කිරීමට" දත්ත භාවිත කළ හැකි බව පවසන ප්‍රතිපත්තියේ සඳහන් කොටස ඇය විශේෂයෙන් අවධාරණය කළා ය. එය "තම පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වන ඕනෑ ම කෙනෙකුට වහා ම අනතුරු ඇඟවීමක් නිකුත් කරන" බව ඇය පැවසුවා ය.
නමුත් මෙම යෙදුම දත්ත විශාල ප්‍රමාණයක් රැස් කර ගන්නා අතරතුර, විශේෂඥයින් පෙන්වා දෙන්නේ, එය ChatGPT සහ Gemini වැනි ප්‍රතිවාදී සේවා සඳහා පරිශීලකයන් දැනටමත් එකඟ වී ඇති පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිවලට හෝ සමාජ මාධ්‍ය වේදිකාවලට බෙහෙවින් සමාන බව ය.
එබැවින් එය ආරක්‍ෂිත ද?
"DeepSeekවලට විතරක් නෙවෙයි, වෙබ් එකකින් හෝ ඇප් එකක් හරහා භාවිත කරන ඕනෑ ම AI ආකෘතියක්, අපි ඊට ලබා දෙන prompts, ප්‍රශ්න, ඒවා එම ආකෘතියේ නිෂ්පාදකයින්ට ලබා ගත හැකියි," Oxford Information Labsහි ප්‍රධාන විධායක එමිලි ටේලර් පැවසීය.
"ඒ නිසා, රහස්‍ය හෝ ජාතික ආරක්ෂාවට සම්බන්ධ කටයුතු කරන ඕනෑ ම කෙනෙක් එම අවදානම් ගැන දැනුවත් වෙන්න ඕන," ඇය බීබීසීය වෙත පැවසුවාය.
සැල්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රිචඩ් විටල් පැවසුවේ, මෙම යෙදුමේ "දත්ත සහ පෞද්ගලිකත්වය පිළිබඳ විවිධ ගැටලු" ඇති නමුත් එක්සත් ජනපදයේ භාවිත කරන මාදිලි සම්බන්ධයෙන් "අවධානය යොමු කළ යුතු බොහෝ කරුණු" ඇති බව ය.
"පරිශීලකයින් හැම වෙලේ ම සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. විශේෂයෙන් ම නව, ඉහළ ජනප්‍රිය, යෙදුමක් මග හැරීමට ඇති බියෙන්," ඔහු පැවසීය.
එක්සත් රාජධානියේ දත්ත නියාමක, තොරතුරු කොමසාරිස් කාර්යාලය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ AI ආකෘති පුහුණු කිරීම සඳහා භාවිත කරන ඔවුන්ගේ තොරතුරු වටා ඇති ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන ලෙස ය.
ඔස්ට්‍රේලියානු රජයේ අදහසට ඔවුන්ගේ අදහස ද සමාන දැයි බීබීසී පුවත් කළ විමසීමකදී එය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ: "Generative AI සංවර්ධකයින් සහ ඒවා යෙදවුම්කරුවන් මිනිසුන්ට ඔවුන්ගේ පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳ අර්ථවත්, සංක්ෂිප්ත සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි තොරතුරු ඇති බවට වග බලා ගත යුතු අතර මිනිසුන්ට ඔවුන්ගේ තොරතුරු අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පැහැදිලි සහ ඵලදායී ක්‍රියාවලීන් ඇති බවට සහතික විය යුතුයි.
"අපගේ නියාමන කිරීම් නොසලකා හරින විට ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවී, ඵලදායී විනිවිදභාවයේ පියවර ප්‍රවර්ධනය කිරීම සඳහා අපි පාර්ශවකරුවන් සමග දිගට ම කටයුතු කරන්නෙමු."
| පීටර් හොස්කින්ස් සහ ඉම්රාන් රහ්මන්-ජෝන්ස්
(bbc/sinhala)