සමාජ මාධ්‍ය නියාමනයට කලින් ඒ පිළිබඳ පුළුල් මහජන සංවාදයක් අවශ්‍යයි

සමාජ මාධ්‍ය නියාමනයට කලින් ඒ පිළිබඳ පුළුල් මහජන සංවාදයක් අවශ්‍යයි

අප පරිහරණය කරන වෙනත් ඕනෑම දෙයකදී මෙන්, සමාජ මාධ්‍ය තුළත් හොඳ සහ නරක යන දෙකම තිබේ. ශල්‍ය වෛද්‍යවරයෙකු පිහියක් පාවිච්චි කරන විට කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරගැනීමටත්, මිනීමරුවෙකු පාවිච්චි කරන විට කෙනෙකුගේ ජීවිතය නැති කිරීමටත් එය හේතු විය හැකිය. ඒ හා සමානවම, සමාජ මාධ්‍යද, ගින්දර සේ, එක විට ආලෝකය සේම දාහයද උරුමකොට පවතී. ආලෝකය සේ, සමාජ මාධ්‍යයට කෙනෙකුව ආලෝකමත් කළ හැකිය. දාහය සේ, කෙනෙකුව පිළිස්සිය හැකිය.

මිනිස් වර්ගයාගේ ප්‍රවර්ධනයට සමාජ මාධ්‍ය බෙහෙවින් දායක වී ඇති බව නොරහසකි. මිනිසුන් නොදන්නා දේවල් ඒ මාර්ගයෙන් මිනිසුන්ට දැනගැනීමට ලැබේ. ඒ මගින් මිනිසුන් එකිනෙකා කෙරෙහි සම්බන්ධ කෙරේ. දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ජනතාව වඩාත් දැනුම්වත් කෙරේ.

සමාජ මාධ්‍ය භාවිතය පැමිණීමට කලින් සිටි ජනතාවට වඩා වර්තමාන සමාජ මාධ්‍යයෙහි හැසිරෙන පරම්පරාව දේශපාලනික වශයෙන් වඩාත් මේරූ පිරිසක් යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් සමාජ මාධ්‍ය තුළ දීප්තිය දෙන සියල්ල දැනුම නොවේ. බොරු ප්‍රවෘත්ති, පුහු ප්‍රචාරණ, ඕපාදූප මෙන්ම, අසභ්‍ය චිත්‍රපට සහ මත්ද්‍රව්‍ය වැනි දුරාචාරයන්ටද එය වාහකයක් විය හැකිය. සමාජ මාධ්‍ය තුළ එක බොත්තමක් එබීමෙන් දුසිරිත වෙත ළඟා වීමේ හැකියාවක් පවතී. මැතිවරණ කාලවලදී, සමස්ත ජාතියේම ප්‍රජාතන්ත්‍රීය අභිමතය විකෘති කරන තරමේ බොරු මේ සමාජ මාධ්‍ය අවකාශය තුළ පැතිරිය හැකිය.

එය, වෛරී භාෂණය සහ සමාජ ආරෝව පතුරුවාලිය හැකිය. මියන්මාරයේදී, රෝහින්ග්‍යා ප්‍රජාව කොටුකොට ඔවුන්ට පහර දීම සඳහා භාවිත කෙළේ සමාජ මාධ්‍යයයි. ශ්‍රී ලංකාවේදී මුස්ලිම්-විරෝධී ප්‍රහාරයන් සංවිධානය කෙළේ සහ මැරයන්ව මෙහෙයවන ලද්දේ සමාජ මාධ්‍ය හරහා ය. කෘත්‍රීම බුද්ධි තාක්ෂණ මෙවලම් මගින් නිර්මාණය කරන ලද තමන්ගේ නිරුවත් රූප සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන බවට දියණියන් තමන්ට පැමිණිලි කර ඇතැයි කියන දෙමාපියන් පිරිසක්, ඒවා මැඩලීම සඳහා දැඩි නීති ගෙන ආ යුතු යැයි කියා සිටියහ. ඒ ස්පාඤ්ඤයේ ය. ඊටත් වඩා, ‘කේම්බි්‍රජ් ඇනලිටිකා අපචාරය’ විසින් පෙන්වා දෙන පරිදි, සමාජ මාධ්‍ය සමාගම් තමන් වෙත ජනතාව තබන විශ්වාසයට පිටුපාන බවත් නිරීක්ෂණය කෙරේ.

කරුණු එසේ වුවත් එහි සාධනීය පැත්තක්ද තිබේ. පසුගිය කාලයේ ලංකාවේ ආණ්ඩු පෙරළියක් ඇති කළ ‘අරගලය’, සමාජ මාධ්‍ය වේදිකා මගින් ජනතාව බලගන්වන ලද අවස්ථාවක් වශයෙන් හඳුනාගත හැකිය. මැදපෙරදිග ‘අරාබි වසන්තයත්’ එවැනිම තවත් අවස්ථාවකි.

මෙවැනි සාධනීය සහ නිෂේධනීය කරුණු ගැන සලකා බලන විට, යම් ආකාරයක සමාජ මාධ්‍ය නියාමනයක් තිබිය යුතු බවට සැකයක් නැත. ළමයින්ගේ ආරක්ෂාව සේම සමාජයේ යහපැවැත්ම සඳහා කෙරෙන එවැනි නියාමනයක් නිදහස් භාෂණය සඳහා ජනතාවට ඇති අයිතිය යටපත් නොකරන එකක් වන බවටත් වගබලාගත යුතුව තිබේ.

එහෙත් ප්‍රශ්නය වන්නේ, එය කරන්නේ කෙසේද යන්නයි. ඵලදායී විකල්ප මාර්ග සොයාගැනීමට නැති විට ආණ්ඩුවක් කල්පනා කරන්නේ, සමාජ මාධ්‍ය තුළ ඇති නපුර දුරලීම සඳහා ඇති එකම මාර්ගය වන්නේ නීතිරීති සහ අණපනත් පැනවීම බව ය. ශ්‍රී ලංකාවේ, මීට අදාළ පනත් කෙටුම්පතක් ‘මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත’ නමින් ගැසට් කිරීමෙන් පසු දැන් ඒ ගැන මහජන සංවාදයක් ඇති වී තිබේ. කෙටුම්පතේ සඳහන් අරමුණු වන්නේ, (1) මාර්ගගත ආරක්ෂණ කොමිසමක් පිහිටුවීම (2) ශ්‍රී ලංකාව තුළ පළ කෙරෙන දත්ත පිළිබඳ ඇතැම් ප්‍රකාශන සමාජ මාධ්‍ය ජාලා තුළ පරිහරණය වීම තහනම් කිරීම සඳහා අණපනත් පැනවීම, (3) තහනම් කරන ලද දේවල් ප්‍රචාරණය සඳහා මාර්ගගත ගිණුම් සහ හොර ගිණුම් පාවිච්චි කිරීම වැළැක්වීම (4) තහනම් කරන ලද දේවල් වෙනුවෙන් යොදාගන්නා මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම, (5) සිද්ධි පිළිබඳ වැරදි අර්ථකථන සන්නිවේදනය කිරීම සඳහා මූල්‍ය සහ වෙනත් ආධාර සපයන මාර්ග මර්දනය කිරීම ආදියයි.

ළමුන් ආරක්ෂා කිරීම සඳහා මෙවැනි පනතක් අවශ්‍ය කරන බවට ආණ්ඩුව තර්ක කරයි. ගිය සතියේ සිය කොලම තුළ කිෂාලි පින්තු ජයවර්ධන පෙන්වා දී ඇති පරිදි, ‘මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත’ වර්තමාන ස්වරූපයෙන් ගත්තොත් විශාල අවදානමකි. විශේෂයෙන් ඒ මගින් යෝජනා කෙරෙන ‘මාර්ගගත කොමිසමේ’ සංයුතිය සහ ඊට ස්වාධීනත්වයක් හිමි නොවීම වඩාත් බරපතල ය.

මේ කෙටුම්පතත්, යෝජිත ප්‍රති-ත්‍රස්ත නීතියත්, විකාශන නියාමන පනතත් ගැන ඈ මෙසේ කියයි: “රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය විසින් මේ නීති කෙටුම්පත් ගෙනැවිත් ඇත්තේ ඒවායින් ඇති කළ හැකි සමාජ බලපෑම පිළිබඳ හරි අවබෝධයක් නැතිව නොව, ඉතා පැහැදිලි නිශ්චිත ඉලක්කයක් ඇතිව බව කිව යුතුය. ඒවා ‘සංශෝධනය’ කෙරෙන්නේය, ‘සාකච්ඡාමය විසඳුමකට’ පැමිණෙන්නේය ආදී කතා බොරු මායම් ය. එසේ කියන්නේ, යම් මොහොතක තමන්ගේ වාසිය සඳහා ඉල්ලා අස්කරගැනීමටත්, වඩාත් ප්‍රයෝජනවත් අවස්ථාවක පෙරළා පහරදීම සඳහා යොදාගැනීමටත් ය.”

ගිය සතියේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ‘මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත’ සම්මත කරගත්තේ අවුරුදු හතරක් තිස්සේ කරන ලද සමාජ සංවාදයකින් පසුවයි. ඒ මගින්, වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා අනීතික සහ හානිකර දේවල්වලින් වියුක්ත කරගන්නා අතරේම ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමටත් බැඳී සිටී. මේ නීතිය, එරටේ තොරතුරු සෙවීමේ අන්තර්ජාල යාන්ත්‍රණයන්ට බලපවත්වයි: අන්තර්ජාල සේවාවන්ට බලපවත්වයි: සමාජ මාධ්‍ය ජාල වැනි මාර්ගගත වේදිකාවන්ට බලපවත්වයි: ඇතැම් මාර්ගගත ක්‍රීඩාවන්ට බලපවත්වයි: අසභ්‍ය අන්තර්ගතයන් ප්‍රකාශයට සහ ප්‍රදර්ශනයට පත්කරන සමාජ මාධ්‍යයන්ට බලපවත්වයි.

මේ නීතිවලට අනුගත නොවන සමාජ මාධ්‍ය සමාගම්වලට අධික දඩවලට යටත් වීමට සිදු වනු ඇත. මෙවැනි සමාගම් ගැන සොයා බැලෙන ‘ඔෆ්කොම්’ නමැති නියාමන අධිකාරියට, පවුම් මිලියන 18 දක්වා වන මුදලක් හෝ අදාළ සමාගමේ වාර්ෂික ලෝක ආදායමෙන් සියයට 10 දක්වා වන මුදලක් හෝ යන දෙකෙන් වැඩි වටිනාකමට සමාන දඩ මුදලක් නියම කළ හැකිය. කෙසේ වෙතත්, එහි සඳහන් එක් වගන්තියක් කෙරෙහි මේ වන විට විරෝධය පළ වී තිබේ. එනම්, තමන්ගේ සේවා ජාලයේ ඇතුළත් විය හැකි ළමා ලිංගික අපයෝජනය පිළිබඳ සිද්ධි බලධාරීන්ට වාර්තා කිරීම සඳහා සිය සේවා ජාලයන්හි පුද්ගල තොරතුරු ඇතුළට ගොස් බැලීමට අන්තර්ජාල සේවා සපයන්නන්ට අවසර ලැබෙන බැවින්, ජනතාවගේ පෞද්ගලිකත්වයට රහසින් එබී බැලීමට එකී සේවා සපයන සමාගම්වලට අවස්ථාව සැලසෙන්නේය යන්නයි.

මේ සතියේ රැස්වීමක් අමතමින් සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්, යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ සිය කණස්සල්ල පළ කර සිටියේය. ලංකාවේ ළමුන් ආරක්ෂා කිරීම සඳහා මේ පනත ගෙනෙන බවට බලධාරීන් කරන ප්‍රකාශය බොරුවක් බවත්, එහි සැබෑ අරමුණ වන්නේ දේශපාලනඥයන්ව සහ නිලධාරීන්ව විවේචනයන්ගෙන් බේරාගැනීම බවත් ඔහු කීවේය. යම් සාපරාධී අන්තර්ගතයක් කිසියම් අන්තර්ජාල අවකාශයක ඇත්නම් ඊට එරෙහි සාර්ථක පියවර ගැනීම සඳහා දැනටත් ‘පරිගණක අපරාධ පනත’ වැනි නීති පවතින බව ඔහු පෙන්වා දුනි. ඒ පවතින නීතිවල හිල් හෝ දුර්වලතා ඇත්නම්, අවශ්‍ය කරන සංශෝධන ඒවාට ගෙන ආ හැකි බවත් ඔහු පෙන්වා දුනි.

ඔහුගේ තර්කයේ බරක් තිබේ. යම් ගාස්තුවක් අය කරමින් තමන්ගේ නිරුවත් සිරුරු අන්තර්ජාල අවකාශය ඔස්සේ ප්‍රදර්ශනය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් 11 දෙනෙකු පසුගිය සතියේ නීතිය ඉදිරියට ගෙනෙන ලද්දේ එවැනි පවතින නීති ප්‍රයෝජනයට ගනිමිනි. කම්පාවට කරුණ වන්නේ, ඔවුන්ගේ සේවාවන් ලබාගෙන ඇති ඇතැමුන් පාසල් සිසුන් ය. මේ සේවාවන් ලබාගැනීම සඳහා ළමුන් පාවිච්චි කර ඇත්තේ උපකාරක පංති සඳහා දෙමාපියන්ගෙන් ලැබුණු මුදල් ය.

ප්‍රශ්නය ඇත්තේ, සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගෙනෙන නීතිවල නොව. ඒ නීති කෙටුම්පත් කරන දුර්වල ආකාරය තුළ ය. අපරාධකරුවන් පැන යාමට පාවිච්චි කරන හෝ තමන්ගේ අපරාධය යුක්තිසහගත කිරීමට යොදාගන්නා ආකාරයේ, නීතියේ පවතින දුර්වල තැන් හඳුනාගැනීමත්, ඒවා නිවැරදි කිරීමත් අරමුණු කරගෙන සංශෝධන කෙරෙහි අවධානය යොමුවන්නේ කලාතුරකිනි. මෙවැනි දුර්වල තැන් හිතාමතාම හෝ නොසැලකිල්ල නිසා හෝ එසේම තිබෙන්ට හැරියොත්, අවසානයේදී ඒවා සේවය කරන්නේ බලවතුන්ට සහ සමාජයේ ඉහළ ස්ථරයේ වැජඹෙන්නන්ට ය. අධික ගාස්තු අය කරන නීතිඥයන්ගේ සහාය අරගෙන එවැනි බලවතුන්ට, නීතියෙන් වැළැක්වීමට අපේක්ෂිත අපරාධයම කරමින් එහි වගකීමෙන් පැන යන්නටද හැකි වනු ඇත.

විවිධ ආණ්ඩු යටතේ ගෙනෙන පනත්, නිසි මහජන සංවාදවලට යොමු නොකරමින්, අදහස් උදහස් සහ විවේචන සැලකිල්ලට නොගනිමින් ගෙන එන ලද ඒවා යැයි විවේචකයෝ කියති. ඕනෑම නීතියක් සාධාරණ සහ සාර්ථක එකක් වන බවට සහතික විය හැකි හොඳම ක්‍රමය වන්නේ, මුලින්ම ඒ නීති කෙටුම්පත ගැන ප්‍රජා-සවිඥානක නීතිවේදීන් සමග, නීතිය පිළිබඳ මහාචාර්යවරුන් සමග, ශාස්ත්‍රාලීය උගතුන් සමග සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයන් තුළින් මානව හිමිකම් කෙරෙහි ඇති විය හැකි නරක ප්‍රතිවිපාක ගැන සංවේදී සිවිල් සමාජ කණ්ඩායම් සමග අදාළ කෙටුම්පත පුළුල් සාකච්ඡාවට භාජනය කිරීමයි. යෝජිත නීතිය තුළ තිබිය හැකි බොරු වළවල් ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍යයටද කාර්යභාරයක් තිබේ. ඒ ගැන මහජනතාවට ඇති අදහස් උදහස්ද ලබාගත යුතුය. සමස්ත ක්‍රියාවලිය පුරාම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පාරදෘශ්‍ය භාවයක් තිබිය යුතුය. එහිදී ආණ්ඩුවේ අවසාන අභිප්‍රාය විය යුත්තේ ජනතාවගේ සහ ජාතියේ යහපැවැත්ම ය. එසේ නොමැතිව, බලයේ සිටින ආණ්ඩුවේ හෝ පාලක පක්ෂයේ දේශපාලනඥයන්ගේ උන්නතිය නොවේ.

   අවාසනාවට, ලංකාවේ නීති සම්පාදන ක්‍රියාවලිය තුළ එවැනි යාන්ත්‍රණයක් තිබෙන බවක් පෙනෙන්ට නැත. සාකච්ඡා බොහෝ විට පටන්ගැනෙන්නේ කෙටුම්පත ගැසට් කිරීමෙන් පසුවයි. වාසනාවට, නරක නීතියක් සම්මත වීමට කලින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සහනයක් ලබාගැනීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් අපට තිබේ. වර්තමාන කෙටුම්පත, සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය පනතට අනුරූපව සකසන ලද්දකැයි කියැවේ. එහෙත් ඊට එක් කර ඇති ප්‍රශ්නකාරී එකතු කිරීම් සමහරක්, දේශපාලනික අවශ්‍යතා සඳහා අවභාවිතයට ගැනීමේ ඉඩක් මෙන්ම නිදහස් භාෂණයට තර්ජනයක්ද ඇති කළ හැකිය. සිංගප්පූරු නීතිය පාර්ලිමේන්තුවට ගෙනාවේ දීර්ඝ සමාජ සංවාද ක්‍රියාවලියකින් පසුව ය. ඒ තුළ, පූර්ණ විනිවිද භාවය තිබුණි. ඒ නිසා, ජාත්‍යන්තර යහපත් ක්‍රියකාරීත්වයන් පාඩමට ගනිමින් නීති සම්පාදනය කෙරෙහි යොමු වීම මහජනතාවට සැබෑ සේවයක් කිරීමේ නිවැරදි මාර්ගය වන බව පෙන්වා දිය හැකිය.

| අමීන් ඉසඩීන්

‘ඩේලි මිරර්’