කාලයක් තිස්සේ මෝරමින් ආපු ආර්ථික අර්බුදයේ පීඩනය ජනතාවගේ පැත්තෙන් පුපුරන්න ගත්තේ ඉකුත් මාර්තු මාසයේ අවසන් සතියෙ. අරගලයේ ආරම්භක දවස්වල ඒ පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළේ කොහොම ද?
මාර්තු 31 තමයි මිරිහානෙ සිදුවීම පටන්ගත්තෙ. හැබැයි ඊට ඉස්සෙල්ලා රටේ, විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව තැන් තැන් වල මිනිස්සු ස්වේච්ඡාවෙන්ම ළඟ තියන හංදියකට ඇවිල්ලා, එහෙම නැත්නම් නගරෙට ඇවිල්ලා තමන්ට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න සිදු වෙච්ච ආර්ථික සහ වෙනත් ප්‍රශ්න වලට විරෝධය පාන්න පටන්ගත්තා. මේක සාමාන්‍යයෙන් ඕනැම මාධ්‍යයකට හොඳ ප්‍රවෘත්තියක්. එතකොට අපිට පෙනුණා ඉලෙක්ට්‍රොනික් මීඩියා වගේම මුද්‍රිත මාධ්‍යවලත් මේ සිදුවීම් තැනින් තැන වාර්තා වෙන්න පටන්ගත්තා. නමුත් ඒවා එච්චර කලබගෑනියක් සහිත ඒවා නෙවෙයි. නිකන් මිනිස්සු විරෝධය පාන සාමාන්‍ය වාර්තා. නමුත් ඊට ඉස්සෙල්ලා සමඟි ජනබලවේගයේ සාමාජිකාවක් වෙලා හිටපු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපතිවරයාගේ නිවස ගාවට ගිහිල්ලා විරෝධයක් පෑවා ඒ පක්ෂයේ අනුගාමික කාන්තාවෝ විශාල පිරිසක් එක්ක. ඒක සෑහෙන්න විශාල ප්‍රවෘත්තියක් බවට පත් වුණා මාධ්‍යවලට. මොකද හේතුව ඒ වෙනකොට විශාල ආරක්ෂාවක් සහිතව ඉන්නවා කියපු ජනාධිපතිවරයගෙ නිවස ඉදිරියටම ගිහිල්ලා ඇය විරෝධය පෑම කියන එක මාධ්‍යවලට හොඳ ප්‍රවෘත්තියක්. මහජනතාව මිරිහානෙ නිවස ඉදිරියට ගිහිල්ලා විරෝධය පාන එක වෙන්නෙ ඊටපස්සෙ. ඒ වෙලාවෙ පිටකෝට්ටේ ප්‍රදේශයට එක් වූ ජනතාව සාමාන්‍ය විදිහට විරෝධය පාමින් හිටපු පිරිසක් එක්ක එතනට යාමක් තමයි වෙන්නෙ. මුල් අවස්ථාවේදි මේක ඇත්තටම මහජනතාව රජයට එරෙහිව හා ජනාධිපතිවරයාට එරෙහිව විරෝධය පෑමක් විදිහට තමයි මාධ්‍ය වාර්තා කරන්නෙ. ඒක අරගලයක් බවට පත්වෙන්නෙ ඊට පස්සෙ. නමුත් මුල් අවස්ථාවෙදි ඒක වාර්තා වෙන්නෙ ආණ්ඩුවට එරෙහි සාමාන්‍ය මහජන විරෝධයක් විදිහට.
සමහර මාධ්‍ය ආයතන අරගලය වාර්තා කරන්න විශාල ගුවන් කාලයක් වෙන් කළා. ඇත්තට ම සිරසට අවශ්‍ය වුණේ කුමක් ද?
හැමතිස්සෙම මාධ්‍ය කියන ඒවා දේශපාලනයෙන් තොර නෙමෙයි. දේශපාලනයත් එක්ක තමයි බැඳිලා තියෙන්නෙ. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය. මොකද ඒගොල්ලන්ට තමන්ගේ විද්‍යුත් මාධ්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන එක්කෝ ආණ්ඩුවත් එක්ක හිතවත්ව පවත්වාගෙන යන්න ඕන. එහෙම නැත්නම් වෙනත් දේශපාලන වුවමනාවකින් වැඩකරන්න ඕන ඒගොල්ලන්ගෙ පැවැත්ම සඳහා. ඉතින් ඒ නිසා මම නම් දකින්නෙ නෑ මේ ලංකාවෙ විද්‍යුත් මාධ්‍ය, ඉතාම ස්වාධීන න්‍යාය පත්‍රයක ඉන්නවා කියලා. ඒකම තමයි මෙතන තිබුණෙ. ඒ ආණ්ඩු විරෝධය තමන්ගේ දෙයක් බවට පත් කරගෙන සහ තමන්ගේ න්‍යාය පත්‍රයත් එක්ක එකට එකතු වෙන නිසා තමයි ඔවුන් මේ ක්‍රියාවලියෙ යෙදුණේ. ඒක අපිට හොඳට පේනවා. අනික් විද්‍යුත් මාධ්‍ය ගත්තොත් ඒවා අර තරම් ක්‍රියාශීලීව සහ මැදිහත්ව මේක වාර්තා කළේ නෑ. ඒගොල්ලො වාර්තා කළේ නැත්තෙත් ඒගොල්ලන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රය අනුව. ස්වාධීන මාධ්‍ය කියලා දේවල් ලෝකේ නෑ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ස්වාධීනයි කියලා පෙනී සිටිමින් දේශපාලන න්‍යාය පත්‍රය අනුව වැඩකරන එක. මම කියන්නෙ ඔය හැම විද්‍යුත් මාධ්‍යක්ම වැඩ කළේ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව තමයි.
එවක අගමැතිගේ ගෙට ගිනි තිබ්බ එක ගැන කෙලින්ම මාධ්‍ය ආයතනයකට චෝදනා කරනවා. මාධ්‍යයක ඒ හැසිරීම ගැන මොකද හිතෙන්නේ?
මම දන්නැහැ ඒකට දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුණද කියලා. ඒක හොයාගන්න වෙන්නෙ ඉදිරියෙදි අපරාධ විමර්ශන කටයුතුවලින්. හැබැයි මම ඒ වෙලාවෙත් ගෙනාපු විවේචනය තමයි මෙවැනි මහජන අරගලයක්, මහජන කැළඹීමක් තියෙන වෙලාවට මහජනයා එකට එකතු වෙලා ක්‍රියා කරනවා කියන එක සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නෙ මොබ් එකක් හැටියට. මොබ් එකක් කියන්නේ කවන්ධයක්. කවන්ධයක් කියන එකෙන් අදහස් කරන්නෙ එහෙම මහජන කැළඹීමකට ඔළුවක් නෑ. එක එක පැතිවලට එක එක අවස්ථාවල ගමන් කරනවා. ඒක හරිම භයානක දෙයක්. අඩු වැඩි වශයෙන් එදා සිද්ධ වුණේ ඒක. එතකොට කවුරුහරි කෙනෙක් ඒ වෙලාවට යම් උත්තේජනයක් දුන්නොත් ඒක පස්සෙ හැමෝම යනවා. ඒක් තමයි අගමැතිවරයාගේ නිවසට වුණේ. මැයි මාසෙ 09 වෙනිදා රට පුරාම මෙවැනි විශාල මොබ් එකක් වැඩ කළා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ගෙවල් විශාල ගණනක් ගිනි තිබ්බා. පුද්ගලයන්ට හානි කළා. මිනීමැරුම් සිද්ධ වුණා. ඒවා අපි හොඳට බැලුවහම තේරෙනවා මධ්‍යගතව අපි මේවා මෙහෙයව්වද නැද්ද කියන එකටත් වඩා ඒ අවස්ථාවෙ වැඩකරපු මොබ් එක තමයි මේ හැමතැනම වැඩ කළේ. ඒකට හේතු තිබුණා.
මැයි මාසෙ 09 වෙනිදත් මෙවැනි මොබ් එකක් වැඩ කළා. ගෙවල් විශාල ගණනක් ගිනි තිබ්බා. මිනීමැරුම් සිද්ධ වුණා. ඒවා බැලුවම තේරෙනවා ඒ අවස්ථාවේ වැඩ කරපු මොබ් එකක් තමයි හැම තැනම වැඩ කළේ. මේ සිද්ධිය මේ තරම් විශාල හානියක් වුණහම හරිනම් වෙන්න පුළුවන් දේ තමයි නැවත එවැනි දෙයක් නොවී තියෙන එක.
සිරස ක්‍රියා කරපු හැටියට හරි නැත්නම් වෙනත් මාධ්‍යයක් ක්‍රියා කරපු හැටියට හරි අපිට තේරෙන්නෙ නෑ ඒක ඇතුළෙ කුමන්ත්රණකාරී දෙයක් තිබුණද කියන්න. නමුත් මාධ්‍ය භාවිතාවේදි අපිට එකඟ වෙන්න බැරි දේවල් සිරස කියන්නෙ. උදාහරණයක් විදිහට අපි එතන මෙන්න මෙහෙම මෙහෙම වෙනවා, මෙතන්ට සෙනඟ යනවා, කට්ටිය එතන්ට එකතු වෙන්න වගේ අදහසක් කියනකොට අර ඒ වෙලාවේ යම් ආකාරයක ආවේගකාරීව ඉන්න මිනිස්සු ඔක්කොම එතන්ට එකතු වෙනවා, ඒවා අපි අත්දැකලා තියනවා. උදාහරණයක් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය වටලලා ඒක අත්පත් කරගත්තා. මම කිසිසේත්ම අරගලකරුවන් රාජ්‍ය ආයතන අත්පත් කරගැනීමට විරුද්ධ කෙනෙක් නෙවෙයි. දේශපාලන අරගලයකදි මේ වගේ දේවල් සංකේතාත්මකව සිදු වෙනවා ලෝකෙ. එදත් සිදු වුණා, අදත් සිදු වෙනවා, ඉස්සරහටත් සිදු වෙනවා. ඒක ඒ අවස්ථාවෙ කොහොමද බුද්ධිමත් ලෙස කළමනාකරණය කරගන්නෙ කියන එක අරගලකරුවන්ගෙ වැඩක්.
එක්තරා මාධ්‍ය ආයතනයක සේවය කළ නිවේදකයෙක් ඉවත් කරන්න එම ආයතනයට සිදු වුණා. ඒකට හේතුව අරගලය සැණකෙලියක් කියපු එක. මාධ්‍යයකට එහෙම ක්‍රියා කරන්න පුළුවන් ද?
මේ අරගලය දිහා එක එක මාධ්‍ය බලපු විදිහ එකිනෙකට වෙනස්. සමහර අයට උවමනා වෙලා තිබ්බා ඇට්‍රෑක්ෂන් ගන්න. මේක හුදෙක් සැණකෙළියක් කියන එක, එක් දේශපාලනමය අදහසක්. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස තමයි ඉවත් කිරීම සිද්ධ වෙන්නෙ, පැන නැගිච්ච විරෝධයක් එක්ක. ඉතාම සිත් ගන්නා සුලුයි මේ මාධ්‍ය ආයතන වෙන වෙනම මේක වාර්තා කළේ කොහොමද කියන කාරණය. හැබැයි සමස්තයක් ලෙස ගත්තහම ඒගොල්ලො වාර්තා කළේ ඒගොල්ලන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රයක් එක්ක.
අරගලයේ උණුසුම්ම දවස්වල පෞද්ගලික නාලිකාවකට එක් කණ්ඩායමක් යනවා. ජාතික රූපවාහිනියට තවත් කණ්ඩායමක් යනවා. මොකක් ද ඒ අරගලකරුවන් සහ මාධ්‍ය ආයතන අතර තිබ්බ ඝට්ටනය, එහෙම නැත්තම් ඔවුන්ගේ අපේක්ෂාව?
මහජන අරගලයක් සිද්ධ වෙන වෙලාවක ඔවුන් කල්පනා කරනවා සමහර වෙලාවට ඒ මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා ඒ මාධ්‍ය ආයතන සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයක් පළ කරන්න. මම හිතන් නෑ ඒකෙ වරදක් තියනවා කියලා. මාධ්‍ය හැමෝම විවේචනය කරනවා නම්, මාධ්‍ය හැමෝටම විරෝධය එල්ල කරනවා නම්.... මාධ්‍යයත් විවේචනය කරන්න... මාධ්‍යයටත් විරෝධය පාන්න.... ඕනෑම පුරවැසියෙකුට ඕනෑම කෙනෙකුට අයිතිය තියනවා. දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන් ඕන කෙනෙකුට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා, විවේචනය කරන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා. එතකොට රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් විවේචනයක් මේ රටේ තියනවා හැමදාම. අදත් තියනවා ඉස්සරහටත් තියෙනවා. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් තියන විවේචනයත් හැම කාලෙකම තිබුණා. ඒ විවේචන තමන්ගෙ ඉදිරියට ඇවිල්ලා කළහම ඒ අය ත්රස්තවාදීන් වෙන්නෙවත්, කුමන්ත්රණකාරී වෙන්නෙවත් නෑ. ඒක අපි සලකා බලන්න ඕන. අපේ මාධ්‍ය ආයතනවල තියෙන එක්තරා නරක ලක්ෂණයක් තමයි තමන් හැමෝම ගැනම විවේචනය කරනවා තමන්ට විවේචනයක් ආවහම ඒක පිළිගන්නේ නෑ සහ ඒ අයව කඩාකප්පල්කාරීන් ලෙස සලකලා ලේබල් ගහලා විනාශ කරනවා. මේක ඉතා නරක භාවිතයක් මාධ්‍ය ආයතනයකට. එතකොට මෙතැනදි වුණේ යම් ආකාරයකට මාධ්‍ය ආයතනවලට විරෝධය පෑමක්. මගේ අදහස මාධ්‍ය ආයතන කියන්නේ දේවාල හෝ විහාරස්ථාන නෙවෙයි. ගිහිල්ලා විවේචනය කරන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි ඒ ඉඩ කොහොම ද පාවිච්චි කරන්නෙ කියන එක අරගලකරුවන් සහ විරෝධතාව දක්වන අය තේරුම් ගන්න ඕන. රූපවාහිනී සංස්ථාවට ගිහිල්ලා විරෝධය පානකොට ඔවුන්ට අවස්ථාව හම්බුණා ඇතුළට ගිහිල්ලා ඔවුන්ගේ අදහස කියන්න. ඒක සහයෝගයෙන් වෙච්චි එකක්. රූපවාහිනියෙන්ම තමයි ආරාධනය ලැබුණේ ඒ අයට ඇතුළට එන්න කියලා. හැබැයි ඔවුන් ගිහිල්ලා හැසිරිච්චි විදිහ මම කිසිසේත් අනුමත කරන්නෙ නෑ. මොකද ඒගොල්ලොන්ට එතැන්ට ගිහිල්ල කියන්න දෙයක් තිබුණේ නෑ. අරගලකරුවන් තමන්ට ලැබිච්චි අවස්ථාවෙන් පිස්සු කෙළියා මිසක් වැදගත් පණිවුඩයක් සමාජයට දුන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක මාධ්‍ය ආයතනවලට ඇතුළු වෙනවා කියනකොට ඒ අරගලකරුවන්ට තියෙන්න ඕන එතනින් එහාට සිදුවන දේ ගැන යම් ආකාරයක දේශපාලන විග්‍රහයක්.... දේශපාලන විපර්යාසය පිළිබඳ පණිවිඩයක් දෙන්ඩ. හැබැයි මේ අය ඉතාම ළාමක විදිහට එතැන්ට ගිහිල්ලා විකාරයක් කළා. ඒකෙන් වුණේ මොකක් ද මාධ්‍ය ආයතන විවේචන කරන්න බැහැ කියන වැරදි මතයට මේගොල්ලො ගිහිල්ලා උදව්වක් වුණා අවසානෙට.දෙරණට ගියහමත් එහෙම්මයි.
ජාත්‍යන්තර මාධ්යයන්ටත් ලොකු උනන්දුවක් තිබුණා නේද ලංකාවේ තිබ්බ දේවල් ගැන කියන්න. ඒ ගැන මොකක් ද හිතන්නේ?
ඔව්. ලංකාවේ ඉන්නකොට අපිට මේක විශේෂයෙන් පේනවා වගේ ම ලෝකයේ මේවගේ අරගල සිද්ධ වෙනකොට, විශේෂයෙන් මහජන අරගලයන් සිද්ධවෙනකොට ඒවා හොඳ ප්රවෘත්ති මූලාශ්‍ර. ඊජිප්තුවේ, ටියුනීසියාවේ, ලෙබනනයේ, ලිබියාවේ සිදුවුණු මෙවැනි මහජන අරගල විතරක් නෙවෙයි මිනිස්සු ගිහිල්ලා ඕල් ස්ටී්රට් එක ඔකියුපයිඩ් කරපු වෙලාවෙත් ජාත්‍යන්තර මාධ්‍ය විශාල ඉඩක් දෙනවා. මොක ද හේතුව ඒවායෙන් කියැවෙන පණිවුඩය ලෝකය පුරා ම ගෙනයනවා කියන එක වැදගත්. උදාහරණයක් ලෙස ටියුනීසියාවේ මුලින් ම සිදුවුණ අරාබි වසන්තයේ මුල් අවස්ථාව, ඒක ලෝකය පුරා පැතිර ගියාට පස්සේ තමයි ඒක ගැන මිනිස්සු කතා කරන්න පටන් ගන්නේ. එතකොට මිනිස්සු හිතනවා ඒකෙන් යම් ආකාරයක ආලෝකයක් ලබාගෙන අපිටත් කරන්න පුළුවන් ද කියලා.. සමහරවිට මේ අරගලයත් අර පරණ ඒවාවල යම් ආකාරයක ආභාසයකින් වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒක ගත්තා හෝ නොගත්තා මේවා එක පෙළට තියන්න පුළුවන් දේවල් නේ. ඉතින් මේ නිසා ජාත්‍යන්තර මාධ්‍ය මෙවැනි දේවල් ගැන තමන්ගේ ප්රවෘත්තිවල එක මූලාශ්‍රයක් ලෙස පාවිච්චි කරනවා.
අරගලය තුළ පැල් බැඳගෙන හිටපු මාධ්‍යවේදීන් අපි දැක්කා. මාධ්‍යවේදියෙකුට සාදාචාරාත්මක අයිතියක් තියෙනව ද එහෙම අරගලකරුවන්ගේ පැත්ත ගන්න?
මාධ්‍යවේදීන්ට අරගලකරුවන්ගේ පැත්ත ගන්න බැහැයි කියල එකක් නෑ. මම හැමවෙලාවෙම කියන්නේ මාධ්‍යයකට දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා සහ අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒක හෙළි කරන්නෙ නැතුව අපි ස්වාධීනයි කියලා ඒ වැඩේ කරන එක තමයි අවුල. උදාහරණයක් ලෙස මැතිවරණ කාලයක් ගත්තොත් මාධ්‍ය ස්වාධීන වෙන්න ඕන කියල එකක් නෑ. ලෝකයේ පිළිගත්ත සම්ප්රදාය තමයි මාධ්‍යවලට කියන්න පුළුවන්, මේ මැතිවරණයේ දී අපි අහවල් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට සහය දෙනවා කියලා. ඒක සාධාරණීකරණය කරන්න ඒගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕන. අපිත් එහෙම කරල තියෙනවා. හැබැයි ප්රශ්නය තියෙන්නේ, ඒ කිසිවක් කරන්නෙ නැතුව අපි ස්වාධීන අපක්ෂපාතී මාධ්‍ය හැටියට පෙනී සිටිමින් ඔය වැඩේ කරනවා නම්. එතකොට තියෙනවා නේ දෙබිඩි ස්වභාවයක්. එතකොට කරන්න බෑ, මම ස්වාධීන මාධ්‍යයක් කියනවා නම් හැම දේශපාලන ස්ථාවරයකට ම පාර්ශවයකට ම සමාන ඉඩක් දෙන්න ඕන. නමුත් අපේ අය එහෙම කරන්නෙ නෑනේ. අපේ අය ස්වාධීනයි කියල කියන ගමන් ම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්යායපත්රය බොහොම හිමින් සීරුවේ ගෙනියනවා.
මාධ්‍යකරුවා ම අරගලකරුවා වුණහම දෙක අතරෙ ඉර ඇඳගන්නේ කොහොම ද? මාධ්‍යවේදියාගේ වෘත්තීමයභාවයට මොක ද වෙන්නේ?
අරගලයේ එක පාර්ශවයක් අරගෙන ඒ පාර්ශවය වෙනුවෙන් පෙනී හිටින්න මාධ්‍යකරුවන්ට පුළුවන්. ඒකෙන් අදහස් කරන් නෑ මාධ්‍යකරුවා අරගලකරුවෙක් කියලා. ඔබ අහන ප්රශ්නය ඉතාම වැදගත්. ඒ කියන්නේ මම මාධ්‍යකරුවෙක් නම් මම මාධ්‍යකරුවා හැටියට මේකට සහභාගී වෙන්නෙ කොහොම ද? මෙතන දී මම කටයුතු කරන්නේ කොහොම ද? මාධ්‍යකරුවා තමන්ගේ සීමාව ඉක්මවා ගිහිල්ලා හුදු අරගලකරුවෙක් බවට පත්වෙනවා නම් එයාගේ මාධ්‍ය භූමිකාව අභියෝගයට ලක්වෙනවා. එයා අර වේශය ආරෝපණය කරගත්තහම එයාගේ මාධ්‍ය භූමිකාව කියන එක වෙනස්. ඒකයි මං නිතර ම කියන්නේ, මම අයිතිය පිළිගන්නවා මාධ්‍යකරුවන්ට අරගලයක පාර්ශවයක් ගන්න පුළුවන් කියන එක. හැබැයි මම මාධ්‍යකරුවෙක් නම්, මම බලන්න ඕන හැම තිස්සෙ ම මොකක් ද මගේ සීමාව? මම සීමාව හැටියට පාවිච්චි කරන්නේ, මාධ්‍ය ආචාරධර්ම. මාධ්‍ය ආචාරධර්ම පාවිච්චි කරමින් මට අරගලයේ එක පාර්ශවයක් ගන්නත් පුළුවන්, එක පාර්ශවයක් ගැනීමත් ආචාරධර්මීයයි. මොක ද මං ඒක කියනවා. හැබැයි එතැනින් එහාට අපිට දේවල් තියෙනවා. මොනව ද? උදාහරණයක් ලෙස, නිවැරදිව භාවිත කිරීම. කොයි පාර්ශවය වුණත් එතැන සිද්ධ වෙන සිද්ධීන් තිබුණොත්, මම අරගලයට සහාය වෙන්නත් පුළුවන්, හැබැයි මම නිවැරදිව ඉන්න ඕන. බොරු නොකියන්න ඕන, මිනිස්සුන්ගේ ආවේග අවුස්සන් නැතුව ඉන්න ඕන. ඊළඟට මිනිස්සුන්ව විනාශයට යොමු නොකරන්න ඕන. මේ වගේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදීන්ගේ විනාශය ඇති කරන. එහෙම නැත්තම් ඔවුන්ට ශාරීරිකව හානිකරන විදිහට පොළඹවන් නැතිවෙන මාධ්‍ය භාවිතාව පාවිච්චි කරන එක.
දැන් ගාලු මුවදොර අරගලය ඉවරයි. අරගලය තිබ්බ දවස්වල මාධ්‍යයන්ගේ හැසිරීම සහ දැන් මාධ්‍යයන්ගේ හැසිරීම් අතර ඔබ දකින විශේෂතා මොනව ද?
අරගලය ඒක රේඛීයව ගමන් කළ එකක් නෙවෙයි නේ. ඒකේ විවිධ වැටීම් තිබ්බා. විසිර යාම් තිබ්බා. විවේචන තිබ්බා. විවේචන කළ යුතු තැන් තිබ්බා. විරෝධතාව දැක්විය යුතු තැන් තිබ්බා. අපි සමස්තයක් හැටියට ඒ ඉල්ලීම් සහ ඒ අරගලයත් එක්ක එකට හිටියට අරගලය සම්බන්ධයෙන් අපිට විවේචන තිබ්බා. ඒකේ වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳව... බොහෝ වෙලාවට අර ඉස්සෙල්ලා කියපු විදිහට සමහර මාධ්‍ය ආයතන තමන්ගේ දේශපාලන න්යායපත්ර අනුව, හුදෙක් ම වැරදි සහ විවේචන පමණක් උපුටා දක්වපු අවස්ථා තිබ්බා. සමහර මාධ්‍ය තිබ්බා ඒ කිසිවක් ඉදිරිපත් කරන්නෙ නැතිව මේක හුදෙක් ම උත්කර්ෂයට නංවමින් කටයුතු කළා. එතකොට අරගලය අවසන් වුණයින් පස්සේ, මේක දේශපාලන සංසිද්ධියක් හැටියට අපි දකිනව නම් අපි ඒක දේශපාලන ඇසකින් ඊළඟට බලන්න ඕන. දෙවැනි කාරණය මේ සිද්ධිය ඉවර වුණයින් පස්සේ විග්රහ කරගන්න ඕන මොකක් ද සිද්ධ වුණේ කියලා. එහෙම නොවෙනවා නම් මේ අරගලය හුදෙක්ම සිදුවීම් දාමයක් බවට පත්වෙලා ඒක එහෙම්මම නිවිලා අවසන් වෙලා යන්න නියමිතයි. ලෝකයේ මේවගේ මහජන අරගල සහ මහජන නැගිටීම් ඇති වෙච්ච අවස්ථාවල බුද්ධිමත් ජනතාව සහ දේශපාලන විචාරකයන් සහ මාධ්‍ය කරන දේ තමයි ඇත්ත වශයෙන් ම මොකක් ද සිදු වුණේ, සිදුවිය යුතු දේවල් සිදු වුණා ද? සිදුනොවියයුතු දේවල් එතන සිදු වුණා ද? මේක වඩා හොඳින් කරන්න පුළුවන් වුණා නම් කොහොම ද කරන්න පුළුවන් වුණේ? කියලා ආපස්සට හැරිලා බැලීමක් සිදු කිරීම. ඒවගේ ම මෙවැනි අරගලයකට පස්සේ අරගලකාරීන් පසුපස රාජ්‍ය මර්දනය වඩා ශක්තිමත්ව හඹාගෙන එනවා. ඒ වගේ වෙලාවට එවැනි දේවල් පිළිබඳවත් වාර්තා කිරීම සහ ඒ ගැන මහජනතාව දැනුවත් කිරීමක් අවශ්‍යයි. එතකොට ආපස්සට හැරිලා බලනකොට මම සතුටු වෙන්නේ නෑ පළවෙනි කාරණය ගැන. මේ අරගලය පිළිබඳව එළඹ සිටි සිහියෙන් යුක්තව විචාරයක්, විවේචනයක් අපි ඇති කරගන්නවා ද ඇගයීමක් අපි කරනවා ද කියන එක තාමත් අපිට දකින්නට ලැබෙන්නෙ නෑ. ඒකට ඇත්තට ම මැදිහත් වෙන්න ඕන මාධ්‍යය. අරගලයෙන් පස්සෙ මාධ්‍යයේ හැසිරීම ගැන කතා කරනකොට මං හිතන්නෙ ලොකු ම අඩුව තමයි ඔන්න ඕක. මං හිතන්නේ තාමත් ඒ ගැන ප්‍රමාණවත් සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබිලා නෑ.
ඊළඟට ප්රවෘත්තිමය වටිනාකමක් තියෙන සිදුවීම් හැටියට අරගෙන අත්අඩංගුවට ගැනීම්, ඇප දීම්, අධිකරණයට ඉදිරිපත් කිරීම වගේ දේවල් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරනවා. හැබැයි ඒකෙදි පේන දේ තමයි, රාජ්‍ය මර්දනය ඉතාමත් ප්‍රාථමික ආකාරයෙන් යොදනකොට, උදාහරණයක් ලෙස, වැරදි ලෙස අපට සලකන්න බැරි දේවල් පවා, වැරදි ලෙස අරගෙන පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම් සිදුවෙනවා. ඊළඟට ලංකාවේ තියෙන ඉතාමත් දරුණු නීති, උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පොදු දේපළ පිළිබඳ ආඥා පනත, පුරාවිද්‍යා පනත වගේ සාමාන්‍යයෙන් දැඩි පීඩාකාරී නීති පාචිච්චි කරලා මර්දනය කරනකොට... අපි හුදෙක් ම ඒවා වාර්තා කරනවා මිසක් මේවායෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිකර තත්ත්වය පිළිබඳ විග්‍රහයක් අපේ මාධ්‍යවල දක්නට ලැබෙන්නෙ නෑ. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වගේ වෙලාවක යොදාගන්න පුළුවන් ද? බැරිද? පුරාවිද්‍යා පනත පාවිච්චි කරන්න පුළුවන් ද? බැරිද? පොදු දේපළ පනත පාවිච්චි කරන්න පුළුවන් ද බැරිද? සහ ඒවායෙන් සිදුවන විපාක, මේ තදබල පනත් තුළින් කවුරු හරි කෙනෙක්ව අත්අඩංගුවට ගත්තහම ඔහුට ඇප ලබා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. සමහර වෙලාවට පොලීසිය අධිකරණයට ගේන චෝදනා සමහර වෙලාවට නඩුවක දී නිකම්ම විසි වෙන විදිහේ චෝදනා. හැබැයි ඒක එන්නෙ නඩුවක දි. නඩුව එන්න ඉස්සෙල්ලා, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා..... රිමාන්ඩ් කරගන්නවා මාස තුනක්, මාස හතරක්, මාස හයක් වගේ කාලයක්. සමහර විට නඩුව එනකම් ම. මේකෙන් පේනවා පොලීසිය ඉතාම වුවමනාවෙන් ම මේ අරගලකරුවන් ව පීඩාවට පත් කිරීම සඳහා කටයුතු කරන අතරමැදියෝ. ඇප දෙන්නෙ නැතුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. මේවා ගැන මේ තත්ත්වයන් ගැන විග්‍රහයක් මාධ්‍යයන්වල අපි දකින්නේ නෑ. හුදෙක් ම සිදුවීම් වාර්තා කරනවා. එක්කො අරගලය පැත්තෙ ඉඳගෙන එහෙම නැත්තම් අරගලයට විරුද්ධව ඉඳගෙන හෝ නිව්ට්‍රල් විදිහට. මෙවැනි විශාල
කලබගෑනියකට පස්සේ මහජනතාවට ඒක ගැන ආලෝකයක් දැනුමක් අවබෝධයක් ඇතිවන විදිහට මාධ්‍ය හැසිරෙනව ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක් තාමත්.
ඇත්තට ම දැන් අරගලය ඉවර ද?
අරගලය ඇති වුණේ මිනිස්සුන්ගේ ඒ මොහොතේ ඇති වෙච්ච ජීවන විලාසය පිළිබඳ ප්රශ්නය නිසා. ඒවා යම් ප්‍රමාණයකට දැන් සමනය වෙමින් තිබෙනවා. සමනය වෙලා තියෙනවා. ඉස්සරට වඩා අඩුගානෙ එහි තීව්‍රතාවය අඩු වෙලා තියෙනවා. මේවගේ වෙලාවක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි අර කියන දේවල්වලින් විශාල ලෙස පීඩාවට පත් වෙච්ච ජනතාව ඒ සහනය ලැබීමත් එක්ක ඒ අයගේ ජීවගුණය ටිකක් අඩුවෙලා සටන්කාමී ගුණය ටිකක් අඩු වෙලා තමන්ගේ වැඩේ බලාගෙන ඉන්න තත්ත්වයට පත් වෙනවා. ඒක තමයි පොදු මහජනතාවගේ ස්වභාවය. හැබැයි අරගලය ඇතුළේ හිටියේ පොදු මහජනතාව විතරක් නෙවෙයි. ඒ අයත් හිටියා. ඒ අය විශාල ශක්තියක් වුණා. ඒ වගේ ම මෙතන හිටියා දේශපාලන දැක්මත් තියෙන, පක්ෂ දේශපාලනය ම නෙවෙයි, සමහර විශ්වවිද්‍යාලවල ක්රියාකාරිකයන්, දේශපාලන අදහසකින් වැඩ කරන අය, සමාජ ක්රියාකාරිකයන්, මානව අයිතිවාසිකම් ක්රියාකාරිකයන් වැනි විවිධ පිරිස්. දේශපාලන පක්ෂත් හිටියා. දේශපාලන වශයෙන් ගන්නකොට පේන දේ තමයි, අරගලය ඇතිවෙන්න හේතුභූත වෙච්ච දේවල් තාමත් එහෙම්ම තියෙනවා. මේක වුණේ තාවකාලිකව අරගලයේ ප්රකාශනය කිසියම් ආකාරයක වෙනස් මුහුණුවරක් ගත්ත එක විතරයි. මේ හේතුවලට පිළියම් යෙදුවෙ නැත්තම්, උදාහරණයක් ලෙස ආර්ථික ප්රශ්නය, ආර්ථික ප්‍රශ්නයත් එක්ක ම බැඳුණු සමාජ ප්‍රශ්න, මිනිස්සුන්ගේ සංස්කෘතික ප්‍රශ්න, මිනිස්සුන්ගේ ජීවන මට්ටම් පිළිබඳ ප්‍රශ්න, මේවා තාමත් විසඳුම් නැති ප්‍රශ්න හැටියට තියෙනවා, එතකොට මේ විසඳුම් නැති ප්‍රශ්න පවතින තාක්කල් අරගලය ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒක නැවත මම විශ්වාස කරන් නෑ ගෝල්ෆෙස් එකේ අරගලය වගේ විශාල තීව්‍රතාවයකින් යුතුව අරගලයක් ඇති වෙයි කියලා. මොක ද සාමාන්‍ය මිනිස්සුන්ගේ ඕනෑම අරගලයකින් පස්සේ පොඩි හති වැටීමක් අපි දැකල තියෙනවා. හැබැයි මම කියන්නේ හේතු එහෙම්ම තියෙනවා නම්, ඒ හේතු නැති කිරීම තමයි මේකේ අවසානයේ විය යුත්තේ, ඒ දුර පේන කට්ටියක් මෙතන ඉන්නවා නම් මේ අරගලය වෙන මුහුණුවරකින් එන්න පුළුවන්. මුහුණුවර අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරන් නෑ අරගලය අවසන් කියලා.
මොක ද මේ අරගලය ඇති වුණේ ඒ වෙලාවේ ඇති වෙච්ච අලුත් ම අලුත් ප්‍රශ්න නිසා නෙවෙයිනේ. අපේ ජීවිත කාලයක් තිස්සේ... අවුරුදු පනහක, හැටක, හැත්තෑවක කාලයක් මුහුණ දීලා තිබිච්ච ප්රශ්නවල තීව්‍රතාවය එකපාරට ම සාධක ගොඩක් එකට එක්කහුවෙලා එකපාරට වැඩි වීමෙන්. නමුත් අර ක්‍රියාවලිය එහෙම්ම තියෙනවා. ඉතින් ඒ නිසා ඉස්සරහට අපි මාධ්‍යකරුවන් හැටියට සහ සමාජ ක්‍රියාකාරීන් හැටියට අපේ වෑයම තමයි මේ ප්‍රශ්නවලට විසඳුම් හොයා ගන්න පුළුවන් සමාජයක් හදන එක. එතකොට ඒකේ එක අවධියක් තමයි මේ අවධිය. ඒකෙ දැන් යම් ආකාරයක තීව්‍රතාව අඩුවෙලා. නමුත් මේ හේතු ටික කවදහරි දවසක විසඳගන්නකම් මේක අවසන් වෙන්නේ නෑ. අපි ඒකෙ දී සමාජ ක්රියාකාරිකයන් හැටියට හරි, දේශපාලන ක්රියාකාරිකයන් හැටියට හරි, සමාජය ගැන උනන්දුමත් පුරවැසියන් හැටියට හරි අපේ වැඩේ තමයි කොහොම ද මේක මුහුණුවර වෙනස්කර මේක ඉස්සරහට ගෙනියන්නේ කියන එක හොයන එක. ඒ අභියෝගය අපි හැමෝම ඉස්සරහ තියෙනවා.
සාකච්ඡා කලේ - නිසංසලා අබේගුණසේකර | ඡායාරූප - සකීෆ් සාම්
(උපුටා ගැනීම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශ “සන්නිවේදකයා” සඟරාව ඇසුරෙන්)
සන්නිවේදකයා සඟරාවට මෙතනින් යොමු වන්න - https://ss.kln.ac.lk/depts/maco/index.php/students/online-publications/magazines/sanniwedakaya/2022-1st-web-issue