මෙවර බක්මහ සැනෙකෙලිය අරගල භූමියක සිරිගෙන නොනිදන සටනක් කරගත් සියළුම දෙනා වර්තමානයේ රටේ සිදුවන වෙනස්කම් දෙස තූෂ්ණිම්භූතව සිටින බව නොරහසකි. බොහෝ දෙනෙකුට මෙම සිදුවීම් පරාසය සමහරවිට කන්දක් විළිලා මී පැටියෙකු වැදුවා සේ යැයි සිතා කනස්සල්ලට ලක්වීමට හේතු වූවා යැයි අනුමාන කල හැක.
එහෙත් සංඛත තාක්ෂණික යුගයේ සුහුරු ජංගම උපකරණ අතැති නව සහශ්‍රයේ තරුණ තරුණියන්ට මෙම සන්ධර්භය අපේක්ෂා භංගත්වයට කිසිසේත්ම හේතුවක් නොවන බව මේ ලියුම් කරුගේ මතයයි. මන්ද පසුගිය අරගලය ඔවුනට හුදු අත්දැකීමක් පමණක් යැයි සිතා අමතක නොකරනු ඇත. සිදුවූ සියළු ක්රියාදාමයන්ම අරගල භූමියේ පෙර ගමන් කරුවන්ට සහ සෙසු ශ්‍රී ලාංකේය සමාජයම නව ජවයක් සහිතව සවිබල ගන්නවා ඇත. සියළුම සංසිද්ධීන් සරල රේඛාවක් ඔස්සේ ගලා ගොස් අපේක්ෂිත ඉලක්ක සපුරාලීමට සමත්වේ යන උපකල්පනය මත පිහිටා විරෝධතාවන්ට එක්වූවා යැයි, යමෙකු සිතිය යුතු නොවේ. ශ්‍රී ලංකාවේ මුළු සමාජ, දේශපාලන, ආර්ථික සංස්ථාවන්ම යල්පැනගිය ප්‍රතිපත්ති සකස් කරන්නන් අතින් දෙදරා ගොස් අකර්මන්‍යව ඇති බව, ඇති හැකි සහ නැති බැරි සියළුම දෙනාම හොදින් තේරුම් ගෙන අත්විඳ ඇත. අප සියළු දෙනා අභියස ඇති අභියෝගය වන්නේ ශ්‍රී ලාංකේයන්ගේ අනාගත අභිවෘද්ධිය තහවුරු කරගැනීමට සුදුසු පද්ධතිමය වෙනස ඇතිකරගැනීමට අවැසි පරිසරය නිර්මාණය කරගැනීමයි. මෙහිදී කොතරම් පැරණි වුවත් චීනයේ මා ඕ සේතුංග් අනුගමනය කල අඩියක් පෙරට දෙකක් පසුපසට යන න්‍යාය තවදුරටත් වලංගු කරගත හැක.
අරගල භූමියට තෝතැන්නක් වූ ගාළු මුවදොර පිටිය සරුංගල් අරින්නන්ගේ පාරාදීසයක් බව නොරහසකි. සරුංගලයෙන්ද අරගලවලට වැදගත් න්යයායත්මක කරුනු කාරනා එක් කරගත හැක. සරුංගලය ගුවන් තලයට නැංවිය හැක්කේ එය සුළං හමන අතට ඇදගෙන යාමෙන් නොව, සූළං දිශාවට විරුද්ධව ඇද දුවගෙන යාමෙන් පමණි. මහජන මතයද බිඳගෙන ඉස්මතු විය හැක්කේ ද එකම දිශාවකට හඹායන රැළි අභිබවා ප්‍රතිවිරුද්ධ මතවාද ගොඩනැඟීමෙන් පමණි. එහෙත් එම මතවාද හුඳු සෝඩා බොතල් පෙන උතුරන කඩිමුඬි රැඬිකල් පෙරලි නොවිය යුතුය. එකී මතවාදයන් විවෘතව සාකච්ඡා කර වැඩි දෙනාගේ සහයෝගය ලබාගනු පිණිස සමාජගත කලයුතුවේ.
එවන් සමාජ කථිකා, බුද්ධිමය සංවාද ඉදිරියෙට පැමිණෙන සංස්කෘතියක් සඳහා ඇත්තේද සීමාසහිත ප්රවේෂයකි. මෙම කටයුත්ත ජනමාධ්‍ය වල මූලික වගකීමක් වුවද ජනප්‍රිය සංස්කෘතික විලාසිතාවන් සහ වාණිජමය ප්රතිලාභ එම අවශ්‍යතාවන් යටපත් කර ඇත. මේ සඳහා ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ක්ෂේත්රයට අනුබද්ධ ශිල්පීන් සිය වෘත්තීය අයිතිවාසිකම් සහ අභිමානය සුරක්ෂිත කරගත හැකි ස්වාධීනව සහ ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යන සේවක සමිති ඔස්සේ සංවිධානගත වියයුතුව ඇත. එම සංවිධාන නොයෙක් මතවාදවලට කොටුනොවී දේශපාලන පිල්වල වලිගාවන් වීම වලක්වා ශක්තිමත් හඬක් නැඟිමට නායකත්වය ගතහැකි ආයතන බවට පරිවර්තනය කල යුතු වේ.
මහජන මතය අවදිකරවීමට ජනමාධ්‍ය හා සම්බන්ධ සියළු දෙනාම ජනමාධ්‍යවේදීන්ට ශක්තිමත් ආවරණයන් සපයන සංවිධානයන් ගොඩනඟා ගැනීමට සහයෝගය දියයුතුව ඇත. දැනට ජනසන්නිවේදනය හා සම්බන්ධ සියළු ආයතන වල නියුතු සේවක සේවිකාවන් විවිධ අනන්‍යතාවන් පසෙකලා යුගයේ අවශ්‍යතාවයක්ව ඇති නව පද්ධතිමය වෙනසක් සමාජ ප්‍රගතිය ඉස්මතු කරගැනීමේ ක්‍රමවේදය නිර්මාණය කරගනු වස් එකට ගොනුවිය යුතු අවධියට පැමිණ සිටී. මේ සදහා මුද්‍රිත, ඉලෙක්ට්‍රොණික, ඩිජිටල් (සංඛත) සමාජ මාධ්‍ය හසුරවන සියළු දෙනාම දායක කරගතයුතුව ඇත.
| ජයශ්‍රී ප්‍රියලාල්