අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන විදි තුනක් තියෙනවා. එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට සරිලන බර තියනවද කියලා බලන එක තමයි තුන්වෙනි විදිය. බර උස සහ කෘෂ බව මැනිම තමයි මන්දපෝෂණය මැනීමේ ප්‍රධානම ක්‍රමවේද තුන වෙන්නේ. මන්දපෝෂණය ඇති වන විධි කීපයක් තියෙනවා. එක තමයි කැලරි උනතාවය ප්‍රොටීන් ඌනතාවය නිසා ඇති වන මන්දපෝෂණය සහ ක්ෂුද්‍ර රසායන අංශු නිසා ඇතිවන මන්දපෝෂණය ආදී ලෙස එය සඳහන් කළ හැකිය. යම් දරුවකුගේ උස බර ප්‍රමාණවත්ව තිබුනත් යකඩ හෝ වෙනත් විටමින් වර්ගයක ඌනතාවය නිසා මන්දපෝෂණය ඇතිවන අවස්ථා ඕනෑතරම් දැකගත හැකියි. මේ නිසා මන්දපෝෂණය මැනීමේදී උස බර ට අමතරව ශරීරයේ තිබිය යුතු පෝෂක කොටස් මැනීම අත වට ප්‍රමාණය මැනීම් ආදි විවිධ ක්‍රම මගින් එය තහවුරු කර ගැනීමට කටයුතු කරනු ලැබේ.
මන්දපෝෂණය කායික මන්දපෝෂණය සහ මානසික වර්ධනය ලෙස දෙයාකාර වෙයි. මවකගේ කුස තුළ වර්ධනය වන කාලයේදී මවගේ පෝෂණය දරුවාගේ කායික වර්ධනයට මෙන්ම මානසික වර්ධනයට ද ප්‍රධාන වශයෙන් බලපායි. මවගේ පෝෂණය ඉතා අඩු මට්ටමක පවතියි නම් කළලයේ කායික සහ මානසික වර්ධනය ඉතා අඩුය. පුද්ගලයෙකුගේ මානසික වර්ධනයට ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් මෙන්ම ක්ෂුද්‍ර අංශු සහ මේද ප්‍රධාන සාධකයන් ලෙස බලපානු ලැබේ. සාමාන්‍ය දරුවකුගේ මොළය වර්ධනයට අවශ්‍ය බුද්ධි වර්ධනය පළමු අවුරුදු දෙක තුලදී සිදුවේ. එම කාලය තුළ පෝෂණ ඌණතාවයක් ඇති වුවහොත් ඒවා බාහිර සාධකයන් ලෙස සමහරවිට නොපෙනෙන්නට පුළුවන. නමුත් අධ්‍යාපනය ලැබීම කුසලතා දැක්වීම ආදී කාර්යයන් වලදී දරුවා තුලින් මතුවන දුර්වලතා එම පෝෂණ ඌනතාවයන් හි ලක්ෂණ ලෙස පසුකාලීනව හඳුනාගත හැකි වේ.
පුද්ගලයෙකුගේ කායික වර්ධනය පිළිබඳව කතා කිරීමේ දී ද කළල අවස්ථාවේ සිට ළදරු අවධියේ දෙන ආහාර යන්හි පෝෂණය ඒ සඳහා ප්‍රබල බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් දරුවකුගේ සමබරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වන සාධකයන් අවම වීම හේතුවෙන් දරුවාගේ උස බර උසට සරිලන බර ආදී හි විශේෂ වෙනස්කම් දැකිය හැකි වේ. විශේෂයෙන්ම දරුවකුගේඋස කෙරෙහි පෝෂණ තත්වයන් බලපානු ලබයි. ජපානයේ මේ සඳහා උදාහරණ සපයයි. ජපන් දරුවන් ගැන කතා කිරීමේදී ජපන් ජාතිකයන් මිටි ජාතියක් බව අතීතයේදී හඳුනාගෙන තිබුණු අතර පසු කලෙක ඔවුන්ගේ ආහාර වේලෙහි ඇති කරන ලද වෙනසත් සමඟ අද වන විට ජපන් ජාතිකයන් මිටි ජාතියක් ලෙස සැලකෙන්නේ නැහැ. එයින් පැහැදිලි වන්නේ පෝෂණ තත්ත්වයන් මත දේහ ලක්ෂණ වෙනස් වන බවයි.
ආර්ථික තත්වය ම රටේ ජනතාවගේ පෝෂණය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. ආර්ථිකය පහළ මට්ටමක පවතින රටක පුද්ගල ආර්ථිකය ද ඉතා පහළ මට්ටමක පවතී. ආර්ථිකය පහළ මට්ටමකට කඩා වැටීම තුළ ආර්ථිකය පහළ මට්ටමකට කඩාවැටීම නිසා ප්‍රධාන වශයෙන් රටක ආහාර සුලබ බව නැතිවී යයි. එයට හේතුව නම් ආර්ථිකය කඩා වැටීම තුල ආහාර ලබා ගැනීමේ හැකියාව අඩු වී තිබීමයි. ප්‍රමාණාත්මක ආහාර ලබා ගැනීම සහ ගුණාත්මක ආහාර ලබා ගැනීම පිළිබඳව ඇති හැකියාව අවම වීම රටක ආර්ථිකය කඩා වැටීම තුළ සිදුවිය හැකියි. විශේෂයෙන් ගුණාත්මක ආහාර ලබා ගැනීමට ඇති හැකියාව අවම වීම හෝ නැතිවී යාම ආහාර සුරක්ෂිතතාවය, ආහාර සුලභ භාවය නැති වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. විශේෂයෙන් ආහාර වල මිල ඉහළ යාම නිසා එම ආහාර ලබා ගැනීම සීමා කිරීම හෝ ලබා නොගැනීමට තීන්දු කිරීම මේ වන විට ලංකාවේ සිදුවී හමාරයි. පසුගිය සමය තුළ සිදුවූ ආර්ථික උද්ධමනය ට සාපේක්ෂව ආහාර මිල ගණන් තුන්ගුණයකින් පමණ ඉහළ ගියද පුද්ගලයින්ගේ ආදායම ඉහළ යෑමක් සිදු වූයේ නැහැ. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නැගීම පහුගිය කාලය තුල සිදුවිය. මිනිසුන් විකල්පය ලෙස තෝරා ගත්තේ ගුණාත්මක භාවයට වඩා ප්‍රමාණාත්මක භාවය වන අතර ගුණාත්මක ආහාර වෙනුවට වෙනත් ආදේශක භාවිතයට පසුගිය කාලයේ ජනතාව නිතැතින්ම යොමුවිය. උදාහරණයක් ලෙස බිත්තර සහ කුකුල් මස් මිල තුන් හතර ගුණයකින් ඉහළ යද්දී මිනිස්සු තමන්ගේ ආහාර වේලෙහි ප්‍රමාණය වැඩි කර ගැනීම පිළිබඳව පමණක් උනන්දුවිය. ආහාරයක තිබිය යුතු ශුද්‍ර පෝෂක ප්‍රමාණය ප්‍රමාණාත්මකව ආහාර ලබා ගන්නා විට ලැබෙන්නේ නැහැ. මේ නිසාම ලෝකේ මේ වන විට කතාබහ පැන නැගී ඇත්තේ ආහාර සුලභතාවය වැඩි කර ගැනීම පිළිබඳව ය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන මේ වන විටත් දත්ත නිකුත් කර තිබෙන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ය. නමුත් කතාබහ විය යුත්තේ දත්ත එක්රැස් විය යුත්තේ ක්‍රියාකාරීත්වය ගොඩනැගිය යුත්තේ ආහාර සුලබතාවය ඇති කිරීම සඳහා ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයා විසින් ආහාර හා පෝෂණය පිළිබඳව නිකුත් කරන ලද පොතක මෙසේ සඳහන් වේ. මෙය පර්යේෂණයක් ආශ්රයෙන් සකස් කරන ලද්දක් බව ඔවුන් සඳහන් කරයි. ඒ අනුව මේ වන විට ලංකාවේ මිලියන 5.7 ආහාර සුලබව ලබා ගැනීමේ ගැටලුවක් පවතින බවත් එය සමනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47 ක මුදලක් ලෝකයෙන් අපේක්ෂා කරන බවත් එහි සඳහන් වේ. මෙම වාර්තාව මගින් උත්සාහ කරන්නේ ආර්ථික අර්බුදය ආහාර අර්බුදයට බලපෑමක් කර නැති බව පැවසීම සහ ඉදිරියට ඇතිවන අර්බුදයට මුහුණදීමට සූදානම් වීම නැවැත්වීමයි.
එම වාර්තාවේම සඳහන් වෙන පරිදි පසුගිය කාලයේ ගෙන කාබනික වගා ප්රතිපත්තියත් සමඟ රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නිසා ඇති වූ වගා පාලුව මෙන්ම ආර්ථික උද්ධමනයත් සමග ඇතිවූ විරැකියාව විශාල ප්රමාණයකි. රැකියා නියුක්තිකයන්ගේ ආදායම් 62%කින් අඩුවී ඇති අතර 11%ක ගේ ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත. ආදායමක් නොමැතිව හාර මිලදී ගන්නේ කෙසේද යන ප්රශ්නය වෙනුවට මන්දපෝෂණය ඇති ද හෝ නැති ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම කෙතරම් විහිළුවක් ද?
සැබෑ ප්රශ්නය නම් මන්දපෝෂණය නොව මිනිසුන්ට ආහාරය සදහා ආහාර තියෙනවද නැත්ද යන්නයි. මෙහි සඳහන් වන පරිදි ලංකාවේ විවිධ ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව ඔවුන්ගේ ආදායම අඩුවීම හෝ නොමැති වීම, ඊට විසඳුම් ලෙස ඔවුන් ක්‍රියාත්මක කළේ මොනවාද යන්න විමසා බැලීමේදී බොහෝ දෙනකු තම රන් භාණ්ඩ හෝ වෙනත් භාණ්ඩ හෝ දේපල උකස් කොට තම අවශ්‍යතා පිරිමසා ගෙන ඇති බව පැහැදිලිය. මෙහි සඳහන් වන පරිදි ලංකාවේ ජනගහනයෙන් 25% කට අධික ප්‍රමාණයක් දරුණු සාගතයට මුහුණදීමට සිදු වෙමින් පවතින්නේය. සමස්තයක් ලෙස රටේ ආදායම සියයට 75 කින් අඩුවී ඇති අතර මේවා පැහැදිලි කර දෙමින් ජාත්‍යන්තර සංවිධාන උත්සාහ ගන්නේ මේ සඳහා විසඳුම් ක්‍රියාවලියක් යෝජනා කිරීමයි. නමුත් ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙස සඳහන් කරමින් ඒවා තුලින් ඉවත් වීම හෝ ඒවා මග හැරීම සඳහා මේ වන විට වගකිවයුත්තන් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් දිවා ආහාර ලබාදීම පොදු කුස්සි වැනි සංකල්ප ඇති කිරීම සඳහා එවැනි සංවිධාන යම් මඟ පෙන්වීම් කරද්දී මෙන්ම ලෝකෙන් සහය පතත්දී ලංකාවේ වගකිවයුත්තන් පවසන්නේ එවැනි ප්‍රශ්නයක් ලංකාව තුළ නොමැති බවයි. මේවා තාවකාලික විසඳුම් ලෙස යෝජනා කරන අතරම ලංකාවේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තිරසාර විසඳුමක් බව ඔවුන් සඳහන් කරයි. ලෝක ආහාර වැඩසටහන ද ලංකාවේ ආහාර අර්බුදයක් පවතින බවත් ඒ සඳහා ආහාර සුලභතාවය ඇති කළ යුතු බවත් සඳහන් කරයි.
සමස්තයක් වශයෙන් ආහාර අර්බුදයට මුහුණ දෙන ජනතාව මිලියන 5.7 වන අතර දරුවන් ප්‍රමාණය ඉන් මිලියන 2.3 කි. ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ ලක්ෂ හතරකට ක්ෂද්ර පෝෂක අඩංගු ධාන්‍ය ලබාදීම, 2.4 ක් සඳහා වෙනත් පෝෂණ සේවාවන් ලබාදීම, එමෙන්ම ඉතාම අධික ලෙස දුර්වල වී මරණාසන්න තත්ත්වයේ පසුවන්නන් සඳහා පෝෂණ අවශ්‍යතා සපුරාලීමටත් ය. ඉදිරියේදී වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 56000 රෝහල් ගත වීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව ලෝකයේ 4 වන ස්ථානයට දකුණු ආසියාවේ දෙවන ස්ථානයටත් මේ වන විට ලංකාව පත්ව ඇත.
මෙම තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොව කාලාන්තරයක් තිස්සේ මෙරට සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමේ හා හුරු වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇති වූවක් ලෙස සඳහන් කළ හැකිය. මෙම තත්ත්වයන් විසඳීම සඳහා මේ වන තෙක් ආණ්ඩුවක් වශයෙන් ලංකාව ක්‍රියාත්මක වී නොමැත. අවම වශයෙන් එවැනි ප්‍රශ්නයක් පවතින බව පවා පිළිගන්නට ලංකාවේ පාලක පන්තිය සූදානම් නැත. මාධ්‍ය සාකච්ඡා පවා පවත්වන්නේ මන්දපෝෂණය පවතිනවා ද නැද්ද යන්න පිළිබඳව මිසක් ආහාර අර්බුදය, ආහාර සුලබතාවය, ආහාර සුරක්ෂිතතාවය, පිළිබඳව සාකච්ඡාවක් වශයෙන් නොවේ. වෙළඳ ප්‍රචාරණ පවා කිසිදු වගකීමකින් තොරව විකාශය කරන අතර ඒවායෙහි බලපෑම සමාජගත වීම පිළිබඳව පවා අවබෝධයකින් තොරව ය එසේ කරන්නේ.
එසේම විවේචනාත්මක ලිපියක් පවා පළ කිරීමට පුවත්පත් හා සඟරා සූදානම් වන්නේ නැත. එවැනි තත්වයක් යටතේ ළමා මන්ද පෝෂණය පිළිබඳව විද්වත් කතිකාවක් පවා සමාජගත වීමට තියෙන ඉඩකඩ අවමය. ළමා දිනය සැමරුමෙන් එහා ගිය යථාර්ථයක් බවට පත් කිරීමට නම් පාලක පන්තිය විසින් විධිමත් සවිඥාණික හා තිරසාර විසඳුම් ක්‍රියාවලියක් සඳහා යොමුවිය යුතුය. එසේ නොමැති වුවහොත් ඉන්දියාවේ අදානි අම්බානි වැනි මහා ධන කුවේරයන් නිර්මාණය වීම ලංකාවේද සිදුවෙනු හැර වෙනත් විකල්පයක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගොඩනැගෙනු නැත.
අවශ්‍ය වන්නේ වඩා සවිඥානික සමාජයක් තුලින් කය මනස සුවපත් දරු පරපුරක් බිහිකිරීමය. ඒ සඳහා වගකිවයුත්තන්ගේ දෙනෙත් හැර විය යුතුය. ජනතාවක් ලෙස සමස්ත මහජනතාව පාලක පන්තිය වඩා විධිමත් ක්‍රියාකාරිත්වයක් සඳහා යොමු කිරීමට තමන්ගේ ස්වාධිපත්‍යය බලය පාවිච්චි කර යුතුය. එසේ නොමැති වේ නම් මෙරට සමස්ත ළමා පරපුර මෙරට අනාගතය විනාශය කරා යාම වැළැක්විය නොහැකි වනු ඇත.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සමග නදීරා කුමාරි විසින් කළ සාකච්ඡාවකි (විවරණ)