කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් අලුත් පාර්ලිමේන්තුව හමුවේ ඇති අභියෝග මොනවාද ?

shymali-ranaraja-1

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලබන ‘සුභාවිත‘ ගුවන් විදුලි වැඩසටහන් මාලාවට නීතිඥ ශාමලී රණරාජා මහත්මිය සම්බන්ධ වූවා ය.  නීතිඥ ශාමලී රණරාජා කම්කරු අයිතීන් වෙනුවෙන් කටයුතු කරන නීතිඥවරියක් වන අතර මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙම සංවාදය මෙහෙයවනු ලැබූ අතර එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

ප්‍රශ්නය - පසුගිය රජය සමයේ කම්කරු අයිතිවාසිකම් සම්බන්ධ අණපනත් ගණනාවක් ගෙන ඒමේ සූදානමක් තිබුණා. කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ඇතැම් පාර්ශ්ව පෙන්වා දුන්නේ මේ නව අණපනත් හරහා කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමේ හෝ සීමා කිරීමේ අවධානමක් තිබූ බවයි. ඔබ දීර්ඝ කාලයක් පුරා කම්කරු, නැතහොත් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක්. ඔබගේ අදහස අනුව පසුගිය යුගයේ එවැනි අවධානමක් තිබුණා ද ?

පිළිතුර - මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර වැදගත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. අපි යම් කිසි නීතියක් සංශෝධනය කරන විට හෝ අලුත් නීතියක් ගෙන එන විට ඒක අදාළ පාර්ශ්වයන්ට තේරුම් ගැනීමට හැකි එකක් විය යුතුයි. නමුත් 2023 දී පනත් 13ක් එක්කරලා ‘තනි පනතක්‘ හදන්න තමයි යෝජනා වෙලා තිබුණේ. අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් වුණේ ඒ පදනම මතයි. නමුත් මෙහිදී ඇති වුණ ප්‍රශ්නය තමයි නව පනත් කෙටුම්පත තිබුණ පනත් වලට වඩා ව්‍යාකූල වුණා. මීට පෙර පනතක් දෙකක් කියවලා තේරුම් ගන්න පුළුවන් පුද්ගලයාට නව තත්ත්වය යටතේ පනත් 13ක් සම්බන්ධ කළ පිටු 206ක පනතක් කියවා තේරුම් ගැනීමට සිදු වුණා. ඒක විශාල පනතක්. ඒක කොහෙන් පටන් ගන්න ද කියලා තේරුම් ගන්න බැහැ. ඒක අයිතිවාසිකම් කප්පාදුවකට වඩා දුර්වලකමක්. අපි යම්කිසි දෙයක් පහසු කරනවාට වඩා ඒක අසීරු කළා. නව පනත් කෙටුම්පත වැඩ කරන ජනතාවට, කම්කරුවෙකුට කියවා තේරුම් ගන්න නො හැකි පනත් කෙටුම්පතක් වුණා.

මෙහිදී ඇති වුණ තවත් ගැටලුවක් තමයි අදාළ පනත තුළ යම් යම් වෙනස්කම් ඇති කරලා තිබුණා. ඒවා කාගේ වුවමනාවට සිදු වුණා ද කියලා අපි දන්නේ නැහැ. වෘත්තීය සමිති, හාම්පුතුන් ඇතුළු කිසිම පාර්ශ්වයක් ඉල්ලුම් නො කළ දේවල් නව පනත් කෙටුම්පතට ඇතුළත් කරලා තිබුණා. උදාහරණයක් ලෙස ලංකාවට විදේශ කම්කරුවන්, ශ්‍රමිකයින් ගෙන්වීම සම්බන්ධ කාරණා ගණනාවක් නව පනත් කෙටුම්පත තුළ තිබුණා. මේවා කිසිම දිනක සංවාදයට ලක් වුණ දේවල් නොවෙයි. විශේෂයෙන් සංචාරක හොටල් ක්ෂේත්‍රය තුළින් තමයි මුලින් ම විදේශ පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධ යෝජනාව ඉදිරිපත් වුණේ. නමුත් මේ පනත සම්මත වුණා නම් අනපේක්ෂිත හා සංකීර්ණ ගැටලු රැසක් ඇති වෙන්න තිබුණා. ලංකාව වාගේ ඉහළ විරැකියාවක් ඇති රටකට මෙවැනි තත්ත්වයක් ඔරොත්තු නොදෙන බව අපි දන්නවා.

ප්‍රශ්නය - යම් යම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුහුණු ශ්‍රමිකයින් රට තුළ නිර්මාණය නො වන්නේ නම් ඔවුන් බිහි කිරීම නේද කළ යුතු වන්නේ. මෙවැනි වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුව හරහා සිදු නොවන බව ද ඔබ ඔය කියන්නේ ?

පිළිතුර - ඔව්... අනිවාර්යයෙන්ම. ඒ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් නැහැ. හඞක් නැගෙන්නෙත් නැහැ. ඒ වගේ ම තමයි ජනතාව අතරත් විරැකියාව සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් හෝ අදහසක් නැහැ. පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමේ වගකීම අපට තිබෙනවා. ඒ හා සම්බන්ධ වගකිව යුතු ආයතන පද්ධතියක් අපට තිබෙනවා. අපි නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. එසේ අධ්‍යාපනය ලබන පුද්ගලයින් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු කරන්නේ කුමක් ද ? යන්න ගැන සොයා බැලීමේ වගකීම රජයකට තිබෙනවා. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මහජන මුදලක් වැය කරනවා. ඔවුන් අතරින් රටට අවශ්‍ය ශ්‍රමිකයින් බිහි නො වන්නේ නම් ඒ අධ්‍යාපනයේ ඇති වටිනාකම, අධ්‍යාපනය වෙනුවෙන් කළ ආයෝජනයට ඇති වටිනාකම කුමක් ද ?

ප්‍රශ්නය - රටට අවශ්‍ය හා රටේ අවශ්‍යතාවලට ගැළපෙන ශ්‍රමිකයින් නිර්මාණය කර ගත හැකි ආකාරයට අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමක් ලෙස ඔබ දකිනවා ද ?

පිළිතුර - අනිවාර්යයෙන් ම එය කළ යුතු දෙයක්. අපි ලබා දෙන අධ්‍යාපනය අනුව ‘ඒ දරුවාගෙන් රටට ලබා ගන්න පුළුවන් සේවය කුමක් ද ?‘ කියලා වැටහීමක් සහ සැලසුමක් රජයකට තිබිය යුතුයි. සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා ගැනීමෙන් පසු බොහෝ නව යොවුන් තරුණයින් ඵලදායීතාවයකින් තොර රැකියාව වල හෝ සේවාවල නිරතව සිටින ආකාරය අපි නිතර ම දකිනවා. විධිමත් අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් හෝ සුදුසුකමක් නොමැති තරුණයින් පහසුවෙන් මත්ද්‍රව්‍ය වැනි සමාජ විරෝධී ව්‍යාපාරවල පහසු ගොදුරු බවට පත්වෙනවා.  ඔවුන්ට ඒ හරහා ඔවුන් අපේක්ෂා කරන ජීවන තත්ත්වයක් පවත්වා ගෙන යාමට ආදායමක් පහසුවෙන් උපයා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක බරපතළ තත්ත්වයක්.

ප්‍රශ්නය - රට තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට ඍජුව දේශපාලනඥයින් හා ආණ්ඩුව වගකිව යුතුයි නේද ?

පිළිතුර - ඔව්, පසුගිය කාලය පුරාම නීති සම්පාදනය වුණේ යම්කිසි පංතියක අවශ්‍යතා වෙනුවෙන් පමණයි. සාමාන්‍ය ජනතාවගේ ජීවිත දියුණු කරන නීතියක් හැදුනේ නැහැ. නව රැකියාව බිහිවීමක් සිදුවන්නේ නැහැ. කොළඹින් බැහැර පළාත් වල රැකියා බිහිවීම ඉතාම අල්පයි. ප්‍රාදේශීය සම්පත් වලින්, විශේෂයෙන් කෘෂිකාර්මික හා ස්වභාවික සම්පත්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කර්මාන්ත ගම්වල බිහිවෙලා ම නැහැ. ප්‍රාදේශීය වශයෙන් බහුලව ලබා ගන්න පුළුවන් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන්න පුළුවන් නිර්මාණශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන තරම්. නමුත් තායිලන්තය වැනි රටවල මෙය ඉතාම සුලභව සහ පුළුල්ව ක්‍රියාත්මක වෙනවා. ගම්වල වඩාත් නිර්මාණශීලී සහ පහසුකම් සහිත රැකියා නිර්මාණය වුණොත් ගම්වල තරුණ - තරුණියන් ඒවාට ආකර්ෂණය වෙයි. මොකද ඔවුන්ටත් තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගත්ත ළමයින්ට තිබෙන සිහින ම තමයි. බලාපොරොත්තු ම තමයි.  නමුත් මෙවැනි රැකියාව බිහි නොවීමෙන් මොකද වෙන්නේ ? ග්‍රාමීය තරුණයින් ඉතාම පහසුවෙන් සොයා ගන්න පුළුවන්, නමුත් නිසියාකාරයේ ආදායමක් හෝ ආර්ථික සුරක්ෂිතතාවයක් නැති සුලභ රැකියාවලට යොමු වෙනවා. මෙවැනි තරුණයින් යළිත් නිශ්චිත වැටුපත් ලබන, වෘත්තීය පුහුණුවක් අවශ්‍ය වන රැකියාවකට යොමුවන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ පහසුවෙන් සහ මහන්සියකින් තොරව යම්කිසි ආදායමක් ලබා ගැනීම පමණයි. මේක අවාසනාවන්ත තත්ත්වයක්.

යම්කිසි ආකාරයකින් කම්කරු නීති සංශෝධනය කරන්නේ නම් මම ඉහත දක්වන ලද ආකාරයේ කරුණු ගැන සංවේදී වෙමින් ඒවා කළ යුතුයි. එසේ සංවේදී නොවන නීති මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න නොහැකි යි. මම අහන්නේ නව නීති සංශෝධනවලිනුත් අපිට තිබෙන සීමිත රැකියා අවස්ථාවටන් පිටරටට යනවා නම් ඒ නීතිවලින් ඇති ප්‍රයෝජනය කුමක් ද ?

ප්‍රශ්නය -  යල්පැන ගිය කම්කරු නීති මඟින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා රැකියා බිහි කිරීම කළ නො හැකි බවත් නව කම්කරු නීති අනුව විදේශ ආයෝජන අවස්ථා පුළුල් කළ හැකි බවත් පසුගිය රජයේ ස්ථාවරය වුණා. ඔවුන් ඒ වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. වත්මන් ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කළ යුතු බව ද ඔබ කියන්නේ ?

පිළිතුර - ඔව්, ඔවුන් ඒක කළ යුතුයි. කම්කරු නීති නිසා ලංකාවට විදේශ ආයෝජන නො ලැබෙන බව සාවද්‍ය කතාවක්. ඒකට කිසිම පදනමක් නැහැ. 2005 දී ආසියානු සංවර්ධන බැංකුව කළ සමීක්ෂණයකින් හෙළි වුණා ‘කම්කුරු නීති‘ ආයෝජකයින් අතර මුල්පෙළ ප්‍රශ්නයක් නොවන බව. මේක ග්‍රාමීය හා නාගරික වශයෙන් පොදුවේ තිබුණ තත්ත්වයක්. විදේශ ආයෝජකයින්ගේ මුල්පෙළ ප්‍රශ්න අතර තිබුණේ යටිතල පහසුකම්, ප්‍රවාහන පහසුකම් සහ විදුලිය සහ ජලය වැනි ප්‍රශ්න. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම ගැනත් ඔවුන්ට බරපතළ ප්‍රශ්න තිබුණා. ඒ වගේම යම්කිසි ආයෝජනයක් ක්‍රියාත්මක වීමට දීර්ඝ කාලයක් ගතවීම, වසර දෙකක් වැනි කාලයක් ගත වීම විදේශ ආයෝජකයින්ගේ නො සතුටට හේතු වී තිබුණා. ඇඩ්වකාටා ආයාතනය කළ සමීක්ෂණයකින් මේ බව හෙළිකර තිබුණා. ඒ අනුව අපට පැහැදිලියි මේ රටේ ක්‍රියාත්මක හා පවතින කම්කරු නීති කිසිම ආකාරයකින් විදේශ ආයෝජනවලට අහිතකර ලෙස බලනොපාන බව.

ප්‍රශ්නය - ඔබ කියන්නේ විදේශ ආයෝජන වෙනුවෙන් අනුමැතිය ලබාදීමට දීර්ඝ කාලයක් ගතවීම බරපතළ ප්‍රශ්නයක් බව ද ?

පිළිතුර - ඔව්, ඇඩ්වකාටා ආයතනය කළ සමීක්ෂණය අනුව මේ බව මනාව පැහැදිලි වෙනවා. කම්කරු නීති නිසා ආපසු හැරී ගිය ආයෝජකයෝ නැහැ. 1980 ගණන්වල කරපු සමීක්ෂණ වලින් පවා කියවුණේ ‘අපේ කම්කරු නීතිවල තිබෙන ව්‍යාකූල බව විදේශ ආයෝජකයින්ට ප්‍රශ්නයක්‘ වන බවයි. කම්කරු නඩු නිරාකරණය කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වීම වැනි ගැටලු තමයි විදේශ ආයෝජකයින් අධෛර්යමත් කරන්නේ. මම දන්න ආකාරයට ‘කම්කරු නීති නිසා ලංකාවේ ආයෝජනය කරන්න බැහැ‘ කියපු කිසිම විදේශ ආයෝජකයෙක් නැහැ. ඒ වගේම තමයි විදේශ ආයෝජකයින් බැඳිලා ඉන්නවා ඔවුන්ගේ රටේ තිබෙන කම්කරු අයිතිවාසිකම් තමන් ආයෝජනය කරන රටේ කම්කරුවන්ටත් තිබෙනවා කියලා සහතික කර ගන්න.  උදාහරණක් ලෙස ජර්මනිය ගන්න පුළුවන්. අපි කම්කරු නීති සංශෝධනය කළ යුත්තේ අපේ කම්කරුවන් සූරා කන්න පහසු අවස්ථාවක් ලබා දෙන්න, ඒකට නෛතික පදනමක් ලබා දෙන්න නො වෙයි. එවැනි උත්සාහයක් ජේ.ආර්. ජයවර්ධන යුගයේ ගත්තා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ උත්සාහය ප්‍රතික්ෂේප කළා. මේක ජේ.ආර්. ජයවර්ධන 1978 සිට ම කර ගන්න අපේක්ෂා කළ දෙයක් ඉදිරියට යාමක් ලෙසයි අපි දකින්නේ. ලාභ ශ්‍රමය හා පහසුවෙන් ශ්‍රමය සූරාකෑමට ඉඩ දෙන විදේශ ආයෝජනවලට දැන් ගෝලීයව පිළිගැනීමක් නැහැ. ඒ යුගය අවසන් වෙමින් තිබෙනවා. ලංකාව අත්සන් කර තිබෙන ජාත්‍යන්තර කම්කරු ගිවිසුම් අනුව එවැනි ශ්‍රම සූරාකෑමකට ඉඩක් නැහැ.

ප්‍රශ්නය - ඔබ කියන්නේ වත්මන් ආණ්ඩුව පවා කම්කරු නීති නො සලකා කටයුතු කළ හොත් වත්මන් ආණ්ඩුවටත් ‘රතු එළි‘ දැල්වෙන්න පුළුවන් කියල ද ?

පිළිතුර - ඔව්...නමුත් ඊට වඩා විශාල ප්‍රශ්නයක් රට තුළ තිබෙනවා. අපේ රැකියා සම්පාදනයේ ප්‍රමුඛයා පුද්ගලික අංශය වුණත් එහි බහුතර කොටසට හිමිකම් කියන්නේ ‘අවිධිමත් අංශය‘යි. අවිධිමත් අංශය කියන්නේ බදු නො ගෙවන, සේවක අර්ථසාධක නො ගෙවන, ගිනුම් වාර්තාකරණයක් නැති අංශයක්. මෙවැනි ආයතනවල සේවය කරන සේවකයින්ට කිසිම ආකාරයක කම්කරු හිමිකමක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ පුද්ගලික අංශයේ සේවය කරන ශ්‍රමිකයින්ගෙන් 57%ක් මේ අනුව කිසිම ආකාරයක හිමිකමක් නො ලබන තත්ත්වයක සිටිනවා. ඔවුන්ට කිසිම ආකාරයක නෛතික සහනයක් හෝ ලබා ගන්න නොහැකි තත්ත්වයක් තිබෙනවා.

ඒ වගේ ම තවත් භයානක තත්ත්වයක් අපේ රට තුළ තිබෙනවා. විධිමත් ක්ෂේත්‍රයේ 25%ක් ‘අවිධිමත් රැකියා‘ කරනවා. තේ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත තුළ මේ තත්ත්වය බහුලව තිබෙනවා. මෑන් පවර් ආයතන හරහා මේ ශ්‍රමය ලබා ගන්නවා. මේ ආයතන හරහා ලබා ගන්නා ශ්‍රමිකයින්ට අර්ථසාධක අරමුදල් පවා ගෙවීමක් සිදුවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ නව රජය කම්කරු නීති සංශෝධනය කරනවා නම් මේ 57% කොහොමද විධිමත් සේවයට අන්තර් ග්‍රහණය කර ගන්නේ කියලා කල්පනා කළ යුතුයි. කම්කරු නීති තද කිරීම තුළින් පමණක් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න නො හැකියි. ඒ වෙනුවට සේවක අයිතිවාසිකම් ද තහවුරු කර සුරක්ෂිත කළ යුතුයි.

මෙහිදී තවත් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. ඒක තමයි ‘මොන තරම් නීති සම්පාදනය කළත් ඒවා ක්‍රියාත්මක නො වන්නේ නම් ප්‍රතිඵලයක් නැහැ‘ ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුව තමයි මේ සියලු වගකීම් දරන්නේ. නමුත් කම්කරු දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් ධාරිතාවයක්, නිලධාරීන් නැහැ.  ඔවුන් සතුව කම්කරු නිලධාරීන් සිටින්නේ 400කට ආසන්න ප්‍රමාණයක්. ඔවුන් මුළු රටම ආවරණය කළ යුතුයි. ඒක අසීරු තත්ත්වයක්. ඒ අනුව අපිට පෙනී යන්නේ කුමක් ද ? පිටත සිට මේවා ක්‍රියාත්මක කිරීම අසාර්ථක බව අපිට පිළිගන්න සිදු වෙනවා. මේ අනුව අපි පහසු සහ කාර්යක්ෂම ක්‍රමයක් සොයා ගත යුතුව තිබෙනවා.