- 15 දෙනකුගෙන් අයෙකුට එක් රාජ්‍ය සේවකයෙක්
- වෙන රටවල එක්කෙනාගෙ වැඩේට මෙහෙ 25ක්
- රාජ්‍ය අංශය වැඩි නිසා ගුණාත්මක බව අඩුවෙලා
- රාජ්‍ය සේවකයන් අඩුකළ හැක්කේ ක්‍ෂය වීමට දීම තුළින්
හිටපු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ
- මම ඒ ගැන දැනුවත් නැහැ පසුව කියන්නම්
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර
රටක සංවර්ධනයට පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද එක සේ වැදගත්ය. රාජ්‍ය අංශය මතවත් පෞද්ගලික අංශය මතවත් රටක් සංවර්ධනය කළ නොහැක. මෙරට රාජ්‍ය අංශය රටට විශාල බරක් වී අවසානය. දැන් කලක පටන්ම රාජ්‍ය අංශය සීමා කළ යුතු බව බලයට පත්වන හැම ආණ්ඩුවක්ම කියන කතාව බවට පත්වී ඇත. එය අද ඊයේ කරලියට පැමිණි මාතෘකාවක් නොව එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සිට කියන කතාවකි. නමුත් හැමදාමත් විපක්‍ෂය ඊට දැක්වූයේ විරුද්ධ මතයකි. එයිනුත් මුල් තැන ගත්තේ වාමාංශික පක්‍ෂය. කලක පටන්ම විපක්‍ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ වනවිට රටේ පාලන බලය හිමිකරගෙන ඇත. දැන් අලුත් කතාවක් කරලියට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදේශකයකු වන දුමින්ද හුලංගමුව මහතා පසුගියදා අපූරු ප්‍රකාශයක් කර තිබිණි. ඒ ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තවදුරටත් නොහැකි බවයි. නුදුරේදීම රාජ්‍ය අංශය අඩු කිරීම ආරම්භ කළ යුතු බව ඒ මහතා පවසා ඇත.
භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් ඉදිරියේදී පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්‍ෂ හතහමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව පසුගියදා කොළඹ පැවති උත්සවයකදී පැවසීය. ‘රාජ්‍ය අංශයට අත නොතබනු’ මේ හැමදාමත් වාමාංශික පක්‍ෂවල සටන් පාඨයයි. නමුත් මෙවර එම යෝජනාව ඉදිරිපත්ව ඇත්තේම වාමාංශික දේශපාලන පක්‍ෂයකිනි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්, ප්‍රවීණ පරිපාලන නිලධාරි ජිනසිරි දඩල්ලගේ අත්දැකීම් සම්භාරයක් සහිත පුද්ගලයෙකි. මීට කලකට පෙර මේ අදහසම ඔහුත් ඉදිරිපත් කර තිබිණි. මේ පිළිබඳ විමසා බැලීමට ඒ මහතා සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔහු රාජ්‍ය අංශයේ වැඩිවීම පිළිබඳ පළකළේ මෙවන් අදහසකි.
ප්‍රමාණය වැඩිවෙයි කොලිටිය අඩුවෙයි
“රාජ්‍ය අංශයට එල්ලවන ප්‍රධානම චෝදනාව තමයි ප්‍රමාණාත්මකව වැඩිවීම සහ ගුණාත්මකභාවයක් නොමැතිවීම. ජන අනුපාතයට අනුව 15 දෙනකුට එක් අයෙක් වශයෙන් රාජ්‍ය සේවකයන් සිටිනවා. බොහෝ රටවල පුද්ගලයන් දෙතුන් සීයකට එක් රාජ්‍ය සේවකයෙක් තමයි සිටින්නේ.
රාජ්‍ය අංශය වැඩි නිසාම ගුණාත්මක බව අඩුවී තිබෙනවා. ඒ වගේම ප්‍රමාණාත්මකව අඩුකළ හැකිනම් ගුණාත්මකබව වැඩිකළ හැකියි. රාජ්‍ය අංශය තුළ දක්‍ෂයන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම ගැටලුවක්. එවැනි ක්‍රමවේදයක් ඇතිකළහොත් ප්‍රමාණාත්මකව රාජ්‍ය සේවය අඩුකළ හැකියි.”
රාජ්‍ය සේවකයා කුමන ආකාරයේ පුද්ගලයෙකු විය යුතුද යන කාරණය පිළිබඳ දඩල්ලගේ මහතා දරන්නේ මෙවැනි මතයකි.
“රාජ්‍ය සේවයට එකතුවිය යුත්තේ බහුවිධ හැකියාවන් සතු පුද්ගලයන්. මෙරට රාජ්‍ය සේවයේ බහුවිධ හැකියාවන් ඇති පුද්ගලයන් නොමැතිවීම නිසා සිදුවී තිබෙන්නේ එක එක රාජකාරියට එක පුද්ගලයා බැගින් රාජකාරියට බඳවා ගැනීමට සිදුවීම. ඒ වගේම රාජ්‍ය සේවය මැනීමේ පිළිගත් ක්‍රමවේදයකුත් නැහැ. අමාත්‍යාංශයක් ගත්තොත් ඇමැති, ලේකම්, අතිරේක ලේකම්වරු (පරිපාලන, සැලසුම්, පරිපාලන) ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු, සහකාර ලේකම්වරු, කළමනාකාර සහකාරවරු විදිහට විශාල වශයෙන් විහිදී ගියත් අවසානයේ බැලුවොත් එක පුද්ගලයෙකුට පමණක් සිදුකළ හැකි රාජකාරියක් පමණයි බොහෝ අවස්ථාවල පවතින්නේ. විදෙස් රටවල එක පුද්ගලයෙක් කරන රාජකාරිය කිරීමට මෙරට රාජ්‍ය සේවකයන් 25ක්වත් සිටිනවා.”
රාජ්‍ය සේවය විශාල ලෙස වැඩිවූයේ කුමන කාලවකවානු වලදැයි යන කාරණය පිළිබඳ ඔහු කීවේ මෙවැනි කතාවකි.
“මෙරට රාජ්‍ය සේවය විශාල වශයෙන්ම වැඩිවූයේ වාමාංශික පක්‍ෂ පාලන බලය හොබවන කාලවල. ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය තමයි රාජ්‍ය සේවයට අත නොතබනු යන්න. වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රජයන්වල පෞද්ගලික අංශයේ දියුණුවක් දැකිය හැකියි. රටක රැකියා දීමේ ප්‍රධාන කොටස්කරුවා විය යුත්තේ පෞද්ගලික අංශයයි.
අනෙක් කාරණය තමයි රජය සුබසාධන රාජ්‍යයන් වීම. එතකොට විවිධ දේ බෙදා හැරීමට නිලධාරීන් විශාල සංඛ්‍යාවක් අවශ්‍යයි. මේ රටේ රාජ්‍ය අංශය තුළ දකින්නට ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට වඩා බෙදීම් ක්‍රියාවලියක්.
සමෘද්ධි අංශය තුළ සිටින නිලධාරීන් ප්‍රමාණය 27000ක්. සමෘද්ධිය සඳහා වියදම් කරන මුදල වගේම මුදලක් පරිපාලන වියදම් වෙනුවෙන් වැයවෙනව.”
මෑත කාලය තුළ රාජ්‍ය අංශයට විශාල වශයෙන් බඳවා ගන්නා ආකාරයක් දක්නට නොලැබිණි. ඒ සඳහා බලපෑ කරුණු කාරණාද දඩල්ලගේ මහතා පැහැදිලි කළේය.
“රටේ ඇතිවූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ රාජ්‍ය අංශයට බඳවා ගැනීම ස්වභාවිකවම සීමා වී තිබෙනවා. පුරප්පාඩු පවතිද්දීම කිසිදු ගැටලුවකින් තොරව රාජ්‍ය සේවය පවත්වාගෙන යනවා.”
රාජ්‍ය අංශය මේ තරම් විශාල වීමට වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය බලපෑ ආකාරය පිළිබඳව මෙන්ම ඒ සඳහා බලපෑ හේතු කාරණා පැහැදිලි කළ ජනසිරි දඩැල්ලගේ මහතා කරුණු දැක්විය.
හුලංගමුවගේ කතාවෙන් රාජ්‍ය සේවය අලුත් පාරකට
“රාජ්‍ය අංශය මේ තරම් විශාල වීමට වෘත්තීය සමිතිද වගකිව යුතුයි. ඔවුන් කිසිම අවස්ථාවක රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාණය ඉක්මවා සේවකයන් බඳවා ගැනීමට විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. ඒ ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට සාමාජිකයන් වැඩි වැඩියෙන් බඳවා ගැනීමට අවශ්‍ය නිසා. වෘත්තීය සමිති උද්ඝෝෂණය කරනවා උපාධිධාරීන්ට රැකියා දියව් දියව් කියලා. ඊට පස්සේ ආපහු උද්ඝෝෂණය කරනවා බඳවා ගත් පිරිසට රාජකාරියක් නැහැයි කියලා. ඒ වගේම තමයි ජනතාව අතර මතයක් තියෙනවා ආණ්ඩුවේ රැකියාවකට යා යුතුයි කියලා. ඒක වැරදි මතයක්. යම් යම් වරප්‍රසාද ලබන්නත් නිකරුණේ කාලය ගත කරන්නත් තමයි ගොඩක් කට්ටිය රාජ්‍ය සේවයට සම්බන්ධ වෙන්නේ.
රාජ්‍ය අංශය සීමා කළ යුතුයි කියන යෝජනාව ඉතාමත් හොඳ යෝජනාවක්. දැන් මේ යෝජනාව ලැබිල තියෙන්නෙ රාජ්‍ය සේවය ආරක්‍ෂා කළ යුතුයි කියන මතවාදය දරන ආණ්ඩුවකට. 1980 ගණන්වලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ලෝක බැංකුව උපදෙස් දුන්නා මෙරට රාජ්‍ය සේවය තුළ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු විය යුතුයි කියලා. රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණයට සීමා කිරීම කළ යුතුයි කියලා. එදා විරුද්ධ වුණෙත් වාමාංශික පක්ෂ.”
වෙනත් රටවල රාජ්‍ය සේවකයාට හිමි වරප්‍රසාද සහ එම ජනතාව රාජ්‍ය සේවයට සම්බන්ධවීමට දක්වන කැමැත්ත පිළිබඳ අදහස් පළකළේ වසර හයක විදෙස් රටක ලැබූ අත්දැකීම්ද සමගය.
“ලොව බොහෝ රටවල පවතින්නෙ විවෘත රාජ්‍ය සේවය කියන සංකල්පය. ඒ කියන්නෙ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේත් පවතින්නේ එක සමාන්තර වරප්‍රසාද. ඒ රටවල තියෙන්නෙ දායකත්ව සුබසාධන ක්‍රම. සෞඛ්‍ය වගේම විශ්‍රාම වැටුප කවුරුත් ගන්න ඕන. හැම දේකටම සේවකයා දායක විය යුතුයි. ඒක නිසා කවුරුවත් රාජ්‍ය අංශයටම සම්බන්ධ විය යුතුයි කියන ස්ථාවරයේ නැහැ.
ඒ වගේම තමයි මෙරට තියෙන ලොකුම අඩුපාඩුව තමයි රාජ්‍ය අංශයට බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් බැලුවත් ඔහු එම වෘත්තියට සුදුසුද කියන කාරණය. හැකියා කුසලතා බලන්නේ නැහැ. බොහෝ දියුණු රටවල කුසලතාවට අංක එක.”
රාජ්‍ය සේවය අඩුකළ යුත්තේ කුමන ආකාරයෙන්දැයි විමසූ අවස්ථාවේ ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.
“රාජ්‍ය සේවය සීමා කරන්න ඉදිරිපත් වුණු යෝජනාවක් තමයි විශ්‍රාම ගැන්වීම. එහෙමත් නැතිනම් විදෙස්ගත කිරීම. ඒ ක්‍රම සාම්ප්‍රදායිකයි. ඒ තුළින් වෙන්නෙ හැකියාව තිබෙන අය රාජ්‍ය සේවයෙන් ඉවත්වීම. අවසානයේ රාජ්‍ය සේවයේ ඉතිරිවන්නේ කිසිවක් කරකියාගන්න බැරි පිරිසක්.
මෙය කළ හැක්කේ යම් කාලයක් දීම තුළිනුයි. යම් ආයතනයකට අවශ්‍ය සේවකයන් ප්‍රමාණය තක්සේරු කර ඉතිරි ප්‍රමාණය කාලයකදී ක්‍ෂයවීමට ඉඩ හැරීම.
අනෙක් ක්‍රමය තමයි පෞද්ගලික අංශයට තිබෙන වරප්‍රසාදත් රාජ්‍ය අංශයට තිබෙන වරප්‍රසාදත් එක සමාන කිරීම. ඒ තුළ රාජ්‍ය අංශයට බැඳීමේ ප්‍රවණතාව අඩුවෙනව.
ඒ වගේම කළ යුතු දෙයක් තමයි යහපත් කළමනාකරුවන් හඳුනාගැනීම. ඔහුට දැක්මක් තිබිය යුතුයි ඔහුගේ ආයතනය පවත්වාගෙන යන්න කොපමණ සේවකයන් පිරිසක් අවශ්‍යද, මොනවද කළ යුතු වෙනස්කම් කියල.
මම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ කරද්දී එක් අංශයක සේවක සංඛ්‍යාව සියයට පනහකින් අඩු කරා. ඒ වගේම මහල් එකහමාරක් වුණු කාර්යාලය තනි මහලකට ගෙනාවා. වැඩි සේවකයන් වෙනත් තැන්වලට මාරු කළා. හොඳ කළමනාකරුවන් පත් කළොත් ඔහුට ඉදිරිපත් කළ හැකියි සේවකයන් කොහොමද අඩු කරන්නේ කියලා.
මම සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සිටි කාලයේ සැලැස්මක් සකස් කළා වසර පහක් තුළ රජයේ අරමුදල් කළමනාකරණයෙන් බැහැරව සමෘද්ධි අරමුදල් වලින්ම කළමනාකරණය කළ හැකි ක්‍රමයක්. සමෘද්ධිය කියන්නේ දුප්පත්කම අඩු කිරීමත් සමඟම නිලධාරීන් අඩු කරන්න පුළුවන්. ඒ වගේ අමාත්‍යාංශ කළමනාකරුවන්ට පවරන්න ඕන තමන්ගේ අමාත්‍යංශය වසර පහක් තුළ මෙතරම් ප්‍රමාණයකින් අඩු කළ යුතුයි කියලා.
රාජ්‍ය සේවය අඩු කිරීමේදී තවත් තිබෙන ගැටලුවක් තමයි අනවශ්‍ය ආයතන අනවශ්‍ය ශාඛා පැවතීම. දැන් අවුරුදු පහක් තිස්සෙම ග්‍රාම සේවා නිලධාරීන් පන්දාහක අඩුවක් සමඟින් තමයි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් කිසිදු ගැටලුවකින් තොරව එම කටයුත්ත සිද්ධ වෙනවා. විද්‍යාත්මකව සොයා බැලීමේදී තහවුරු වුණා එම පිරිස හොඳටම ප්‍රමාණවත් කියලා.
රජය තාමත් බොහෝ කටයුතු සිදු කරන්නේ ලිඛිතව. ඒ සඳහා විද්‍යුත් ක්‍රමවේද හඳුන්වාදිය යුතුයි. බොහෝ රටවල පාස්පෝට් එක ගන්න, විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කිරීමට කාර්යාලවලට යා යුතු නැහැ. උප්පැන්න සහතිකය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගන්න පුළුවන් වගේම එවැනි සහතික අවශ්‍ය වන රාජ්‍ය ආයතනවලට උප්පැන්න සහතිකය ඔන්ලයින් බලන්නත් පුළුවන්නම් රාජ්‍ය ආයතනවල තදබදය වගේම අනවශ්‍ය කාලය සහ ලිපි ලේඛන සඳහා වැයවෙන මුදල් ඉතිරිකරගන්න පුළුවන්.”
ඉවත් කරන පිරිසට කුමක් කරන්නේ දැයි යන ප්‍රශ්නයට ඒ මහතා පැවසුවේ රජයක් කළ යුතු වන්නේ රැකියා දීම නොව රැකියා නිෂ්පාදනය කිරීම බවයි. පෞද්ගලික අංශයට වැඩි වැඩියෙන් අවස්ථාව ලබාදීම බවයි. මේ කටයුත්ත එකවර කරන්න ගියොත් රජයට විශාල ගැටලුවක් මතුවන කාරණයක් වෙනවා. රාජ්‍ය අංශය අඩුකළ යුතු වුවත් එවැනි කටයුත්තක් කිරීම දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් කියන කාරණයත් මේ තුළ තිබෙනවා.
අප මේ පිළිබඳව වත්මන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගෙන් රාජ්‍ය සේවකයන් ලක්‍ෂ පහමාරක් ඉවත් කළයුතුය යන ස්ථාවරය රජයේ ස්ථාවරය දැයි සහ එය සිදුකරන්නේ කෙසේදැයි යන කාරණය විමසීමට සම්බන්ධ කරගත් මොහොතේ ඔහු ප්‍රකාශ කළේ තමන් මෙතෙක් එවැනි ප්‍රවෘත්තියක් නොදුටු බවත් ඒ ගැන දැනුවත් නොමැති බවයි. පසුව ඒ ගැන සොයා බලා පිළිතුරක් දිය හැකි බවත් පසුව අමතන ලෙසත් පැවසීය. අප යළිත් ඒ පිළිබඳ විමසීමට දුරකථන ඇමතම් ලබාගත්තත් ඔහු දුරකථනය විසන්ධි කිරීම නිසා සම්බන්ධ කරගත නොහැකි විය.
| සමීර කන්නන්ගර
(දිවයින)