බ්‍රිතාන්‍යයේ දියෙගෝ ගාර්සියා දූපතේ තාවකාලික කඳවුරකට උදා වූ ඒ උදෑසන, ශාන්තිගේ සැමියා අවදි වී මුලින් ම දකින්නේ ඔවුන්ගේ කුඩා දරුවන් ආරක්ෂක වැටක් අතුරින් පිටත බලා සිටින දර්ශනය යි.
ඉන්දියන් සාගරය මැද උපායමාර්ගිකව පිහිටුවා ඇති, එක්සත් රාජධානි - එක්සත් ජනපද හමුදා කඳවුරක් සහිත මෙම රහසිගත දූපතේ නිලධාරියෙකු සහ මුර බල්ලෙක් මුර සංචාරයේ යෙදෙන අයුරු බලා සිටින දරුවන් තියුණු ස්වරයකින් මෙසේ පවසයි: "බල්ලන්ටත් අපට වඩා නිදහසක් තියෙනවා."
"ඒක ඇහුණා ම මට දැනුණේ ලොකු වේදනාවක්," ඔහු පවසයි.
| වසර තුනක් තිස්සේ තමන් කූඩාරම්වල ජීවත් වූ මෙම සංක්‍රමණික කඳවුර "විවෘත බන්ධනාගාරයක් වැනි" බව ශාන්ති පවසයි
මෙය ඔවුන්ගේ පවුලේ දුක්ඛිත තත්ත්වය මැනවින් පිළිබිඹු කරවන දර්ශනයකි. ඔවුන් අහඹුවකින් මෙම රහසිගත හමුදා බලකොටුවේ සිර වූයේ, ඔවුන්ගේ වයස අවුරුදු පහක් සහ නවයක් වයසැති පුතු සහ දියණිය ද සමග ය.
නිරන්තර අධීක්ෂණය යටතේ පැවති ඔවුන් රඳවා සිටි කුඩා කඳවුරේදී පවා, ඉගෙනීමේ කටයුතු කිරීමට, ආහාරයට අවශ්‍ය දෑ වගා කිරීමට මෙන් ම, විශේෂ අවස්ථා සමරමින් පවුලේ විනෝදාස්වාදය සපයා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් පවත්වාගෙන යාමට ඔවුන් ක්‍රම සොයාගෙන තිබිණි.
ශාන්ති [ඇගේ සැබෑ නම නොවේ] ඔවුන්ගේ ඉතුරුම් ලෙස තිබූ ඇමෙරිකානු ඩොලර් 5,000ක මුදලක් සහ රන් ආභරණ සියල්ල ම ජාවාරම්කරුවන්ට ලබා දී තිබුණේ, තවත් ශ්‍රී ලාංකික දමිළ ජාතිකයින් විශාල ගණනක් සමගින් කිලෝමීටර් 12,000කට වඩා දුරින් පිහිටි කැනඩාවේ නව ජීවිතයක් ඇරඹීමේ අභිලාෂයෙනි.
ඔවුන් සියලු දෙනා ම කියා සිටියේ, ඔවුන්ට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී මුහුණ දීමට සිදු වූ හිංසනයන්ගෙන්, එනම්, ඇතැමෙකුට 2009දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් පරාජයට පත් වූ හිටපු දෙමළ කොටි කැරලිකරුවන් සමග සබඳතා පැවතීම නිසා සිදු වූ හිංසනයන්ගෙන්, මිදී පළා යන බව ය.
| ශාන්ති සහ ඇගේ පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාව හැර ගියේ 2021දී ය
ඔවුන් සිටි ධීවර යාත්‍රාව රළු මුහුදේදී අනතුරට ලක් වූ අතර, රාජකීය නාවික හමුදාව විසින් බේරා ගනු ලදුව 2021 ඔක්තෝබර් මාසයේදී දියෙගෝ ගාර්සියා වෙත ගෙනැවිත් මෙම වැටවල් සහිත සංක්‍රමණික කඳවුරේ නවාතැන් දෙන ලදී. ශාන්ති පවසන්නේ දැන් තමන් කැනඩාවට පැමිණ ඇත්දැයි පුතා විමසූ බව තම මතකයට නැගෙන බව ය.
එහි ගත කළ පළමු මාස හයයේදී ඇගේ දරුවන්ට කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොලැබිණි. ඒ නිසා, පුහුණු ගුරුවරියක වූ ශාන්ති, කඳවුරේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කළා ය.
"අපි අක්ෂර මාලාව, නාම පද, ක්‍රියා පද ආදී මූලික කරුණුවලින් ආරම්භ කළා," ඇය පවසන්නී ය.
ශාන්තිගේ ස්වාමිපුරුෂයා පසුව ලී පැලට්වලින් ලිවීමේ මේසයක් සාදා දුන් අතර, කූඩාරම තුළදී සිය ඉගෙනුම් වැඩ කිරීමට දරුවන්ට එමගින් හැකි විය.
| ශාන්ති පැවසුවේ, දියෙගෝ ගාර්සියාහි සංක්‍රමණික කඳවුරේ ජීවිතය "කූඩුවක" ජීවත් වීම හා සමාන බව ය
සවස් වරුව ගෙවීමට ක්‍රමයක් නොමැති වීම ගැන දරුවන් පැමිණිලි කිරීමට පටන්ගත් නිසා, ශාන්ති තමා පුහුණුව ලබා ඇති ඉන්දියානු සම්භාව්‍ය නර්තන සම්ප්‍රදායක් වන භරතනාට්‍යම් දරුවන්ට ඉගැන්වීමට පටන්ගත්තා ය. ඒ සඳහා ඇය ඇගේ දුරකතනයෙන් බාගත කරන ලද සංගීතය යොදා ගත්තා ය.
මෙම පවුල මුල් වරට මෙම කඳවුරට පැමිණ වසර තුනක් ගෙවී යාමෙන් අනතුරුව ඔවුන් මෙම සතියේදී එක්සත් රාජධානියට යවන ලද අතර, එය ඔවුන්ගේ ශුභසාධනය සඳහා රජය ගත් "සුවිශේෂී" ක්‍රියාමාර්ගයක් ලෙසට ලෙස විස්තර කෙරිණි.
"ඒක හරියට විවෘත හිරගෙයක් වගේ. අපිට එළියට යන්න දුන්නේ නැහැ, අපි ජීවත් වුණේ වැටකින් වට වෙලා තිබුණ කූඩාරමක් ඇතුළේ," වයස අවුරුදු 30ක් පමණ වන ශාන්ති ලන්ඩනයෙන් පිටත පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා ය.
"හැමදා ම අපේ ජීවිතේ එකවගේ තිබුණේ."
එය "හරියට කූඩුවක ජීවත් වෙනව වගේ," ඇය තවදුරටත් පැවසුවා ය.
ආරක්ෂකයන්ගේ අධීක්ෂණය සහ හිස උඩින් ඝර්ජනා කරමින් යන හමුදා ජෙට් යානාවල ඝෝෂාව අත්විඳිමින්, ශාන්ති සහ අනෙකුත් දෙමළ ජනයා, තමන්ව ආරක්ෂිත රටකට යවන ලෙස ඉල්ලා ලිපියක් රැගෙන දිවයිනේ බ්‍රිතාන්‍ය හමුදා හමුවට පැමිණියහ. එය, මෙම භූමිය තුළ සරණාගත ඉල්ලීම් ගොනු කරන ලද පළමු අවස්ථාව විය.
මෙය, සැතපුම් 6,000ක් දුරින් පිහිටි එක්සත් රාජධානියේ දිගු නීතිමය සටනකට හේතු වූ අතර, එය සිදුවන අතරතුරදී, එහි සිරවී සිටි ශාන්ති සහ අනෙක් අය තම ගැටලුවලට විසඳුම් සෙවීමේ වගකීම තමන් අතට ගත්හ.
දූපතේ සිටි දෙමළ ජනයාට තම ආහාර පිස ගැනීමට ඉඩ නොලැබුණ ද, කඳවුරේ පිරී තිබුණු පොල් ගස්වලින් ලබාගත් පොල් ලෙලි සහ මටළු යොදාගෙන, ශාන්ති සහ පිරිස තම තමන්ගේ එළවළු - මිරිස්, සුදුළූණු සහ පිපිඤ්ඤා වගා කළහ.
"එයාලා සමහර වෙලාවලදී අපට රතු මිරිස් ලබා දුන්නා. අපි ඒවා හිරු එළියේ වියළලා බීජ එකතු කරලා පස්සේ වගා කළා. සලාද සමග අපට ලැබෙන පිපිඤ්ඤාවල බීජ එකතු කරලා හිරු එළියේ තියලා වියළලා වගා කිරීමට සුදුසු තත්ත්වයට පත්කර ගත්තා." ශාන්ති පවසන්නී ය.
සෑම දිනක ම පාහේ ඔවුහු පොල් සහ මිරිස් අඹරා, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාරයක් වන පොල් සම්බෝල සෑදීමට කටයුතු කළහ.
කඳවුරේදී ඔවුන්ට ලබා දෙන ඇමෙරිකානු ආහාර අනුභව කිරීම අපහසු වූ අතර, ඔවුහු සුදුළූණු සහ මිරිස් සමග එළවළු උණු වතුරට දමා හොදි වර්ග සෑදීමට උත්සහ කළහ.
විශේෂයෙන් ම කඳවුරේ සිටි දරුවන් 16 දෙනා සඳහා ඇඳුම් පැළඳුම් ප්‍රමාණවත් පරිදි නො තිබූ අතර, ශාන්ති සහ අනෙකුත් කාන්තාවෝ ඇඳ ඇතිරිලිවලින් ඇඳුම් මැසූහ. නත්තල් කාලයේදී කඩදාසි අත්පිස්නාවලින් මල් සහ ආහාර බහාලුම්වලින් සඳ හා තරු හැඩ කපා නත්තල් ගස් සැරසූහ.
ඔවුන්ව නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටින භටයන් සමග ඔවුන්ට පැවති සබඳතා බොහෝ විට එතරම් යහපත් තත්ත්වයේ නොපැවති නමුත්, දීපවාලි උත්සව කාලයේදී, හොඳ හදවතක් ඇති නිලධාරියෙකු ඔවුනට බිරියානි ගෙන ආ බව ශාන්ති පවසන්නී ය. තවත් අවස්ථාවක, එක් සෙබළෙකු සිය උපන්දිනය එළඹෙන තෙක් ආසාවෙන් බලා සිටි ඇගේ පුතාට කේක් ගෙඩියක් ගෙනැවිත් තිබිණි.
| කුණාටුවලදී කූඩාරම් වැසි දියෙන් පිරී යයි
නමුත් කාලය ගෙවී යත් ම, තමන් තුළ වූ අසරණ හැඟීම උත්සන්න වූ බව ශාන්ති පවසන්නී ය.
කඳවුරේ ජීවිතය බුබුළක් තුළ ජීවත් වනවාක් මෙන් සීමා සහිත විය. යුක්ක්‍රේනයේ සහ මැද පෙරදිග ඇති වුණු යුද්ධ පිළිබඳ ප්‍රවෘත්ති සෙබළුන්ගෙන් සංක්‍රමණිකයින් දැනගත් නමුත්, ඔවුන් කඳවුරෙන් ඈත් කර ඔවුන්ගේ ම ජීවිත ගත කිරීමට යොමු කර තිබිණි.
චාගෝස් දූපත් සමූහයේ කොටසක් වන මෙම දූපතට පිවිසීම දැඩි ලෙස සීමා කර තිබේ. 1970 දශකයේ මුල් භාගයේදී එක්සත් රාජධානිය විසින් උපායමාර්ගික හේතු මත එහි වෙසෙන සියලු ම ජනතාව ඉවත් කරන ලද දා සිට එහි, කිසිදු සිවිල් නේවාසික ජනගහනයක් නිල වශයෙන් වාසය කර නොතිබිණි.
"දූපතට ආ පළවෙනි දවසෙ ඉඳන් අපි ඒකෙන් පිට වෙනකම් ම ජීවත් වුණේ මීයෝ එක්ක," ශාන්ති පවසයි.
"සමහර වෙලාවල්වලදී මීයෝ අපේ දරුවන්ගේ කකුල්, ඇඟිලි සහ අත් හපා කනවා. උන් අපේ කෑම හොරකම් කරනවා. සමහර දවස්වලට රෑට උන් අපේ බ්ලැන්කට් සහ ඔළු උඩින් දුවනවා."
යෝධ කකුළුවෝ සහ නිවර්තන ගිනි කුහුඹුවෝ ද කඳවුරට නිතර පැමිණෙන හිරිහැර අතර වූහ.
කොවිඩ් වසංගත සමයේදී රෝගීන් සඳහා භාවිත කරන ලද මෙම කූඩාරම්වල ඇති සිදුරු හරහා කුණාටු කාලවකදී වැසි ජලය ගලා එන්නට විය.
පසුගිය වසරේ අග භාගයේ එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් කඳවුරට ගිය විට, ළමුන් ඔවුන්ට පවසා තිබුණේ විනෝද චාරිකාවක් යාමට, බයිසිකලයක් පැදීමට හෝ අයිස් ක්‍රීම් අනුභව කිරීමට තමන් සිහින දකින බව ය.
මෙම වසර මුලදී වෛද්‍ය නිලධාරියෙකු විසින් මෙම කඳවුර විස්තර කරනු ලැබුවේ, විශාල වශයෙන් ස්වයං හානි සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධීන් ද වාර්තා වන "පූර්ණ වශයෙන් අර්බුදයක" පවතින ස්ථානයක් ලෙස ය.
"මගේ දුව වෙච්ච හැමදෙයක් ම බලාගෙන හිටියා. ඇය කියනවා 'අම්මේ එයාලා එයාලව කපාගන්නවා. මම ත් එහෙම කපාගන්න ද?' කියලා... එතකොට මම කියනවා... 'නෑ, නෑ. ඔයා එහෙම මුකුත් කරන්න බැහැ. මම ඔයාව ආරක්ෂා කරන්නම්. ඇවිත් මේ සිංදුවක් අහන්න, එන්න කඩදාසි ටිකක් අරගෙන චිත්‍රයක් අඳින්න,' කියලා," ඇය කඳුළු සලමින් සිහිපත් කරයි.
තම දියණිය ස්වයං හානි සිදු කරගත් අවස්ථා දෙකක් ගැන කතා කරන විට ඇයට මෙන් ම ඇයගේ ස්වාමි පුරුෂයාටත් හැඬුම් වළක්වාගත නොහැක.
"ඒ දෙවතාවේ ම මට හිතාගන්නවත් බැරි තරම් ඉතාමත් නරක හැඟීමක් ඇති වුණා. එයා මෙහෙම කළොත්, එයා මැරුණ ම අම්මටයි තාත්තාටයි සහ සහෝදරයාට ආරක්ෂිත තුන්වන රටකට යන්න ඉඩ ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් කියලා ඇය මා සමග කියා සිටියා," ශාන්ති පවසයි.
එමෙන් ම, අනෙකුත් සංක්‍රමණිකයන් විසින්, ළමුන්ට ද ඇතුළුව සිදු කෙරුණු ලිංගික හිංසන සහ හිරිහැර කිරීම් පිළිබඳ සිද්ධි සහ චෝදනා ද කඳවුරෙන් වාර්තා වී තිබිණි.
"අවුරුදු තුනක් තිස්සේ අපි ගොඩක් දුක් වින්දා. මම දන්නේ නැහැ අපි කොහොම ද බේරුණේ කියලා," ශාන්ති පවසයි.
දෙමළ ජනයා මෙම දිවයිනේ ගත කළ කාලය පුරා ම, එය ඔවුන්ට වාසයට සුදුසු ස්ථානයක් නොවන බව බ්‍රිතාන්‍ය බලධාරීහු පිළිගත් අතර, ඔවුන් දිගුකාලීන විසඳුම් සොයන බව පැවසූහ. රජය පැවසුවේ කණ්ඩායමේ යහපැවැත්ම සහ ආරක්ෂාවට ඔවුන් "ඉහළ ම ප්‍රමුඛතාව" දී ඇති බව ය.
ශාන්ති පවසන්නේ කඳවුරට මෑතදී උදාවූ ප්‍රීතිමත් ම අවස්ථාව, ඔවුන් එක්සත් රාජධානියට ගෙන එන බවට සහ ඔවුන්ට එහි මාස හයක් රැඳී සිටීමේ අයිතිය ලබා දෙන බවට නිලධාරීන් කළ නිවේදනය සමග උදා වූ බව ය. එදින රාත්‍රිය කඳවුරේ සියල්ලන්ට නිදි නොමැති රාත්‍රියක් වූ බවත් ශාන්ති පවසන්නී ය.
එක්සත් රාජධානියට පැමිණි පසු තද ශීතලක් දැනුණු බව ශාන්ති පවසයි. එය කෝමා තත්ත්වයකින් අවදි වූවාක් මෙන් විය. යෙදුම් බාගත කිරීම, වට්ස්ඇප් පණිවිඩ යැවීම හෝ සාප්පුවලට මුදල් ගෙවන ආකාරය ඇයට අමතක වී ගොස් තිබිණි.
ඇගේ දරුවෝ, පාසල් ගමන ආරම්භ කිරීම, නව මිතුරන් ඇති කර ගැනීම සහ ඩබල් ඩෙකර් බස් රථවල ගමන් කිරීම ගැන දැන් කතා කරති.
නමුත් පවුලේ දිගුකාලීන අනාගතය තවමත් ඇත්තේ අවිනිශ්චිතව ය. ඔවුන් දැන් එක්සත් රාජධානියේ රැකවරණ සඳහා ඉල්ලීම් ගොනු කර ඇත්තේ එහි නතර වීමේ අපේක්ෂාවෙනි. එය අසාර්ථක වුවහොත් බොහෝ විට ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
ඓතිහාසික පියවරක් ලෙස එක්සත් රාජධානිය මෙම වසර මුලදී, චාගෝස් දූපත් මොරිෂස් වෙත පවරා දීමට එකඟ විය. තවමත් අත්සන් කර නොමැති මෙම ගිවිසුම යටතේ දියෙගෝ ගාර්සියාව එක්සත් රාජධානියේ - එක්සත් ජනපද හමුදා කඳවුරක් ලෙස දිගට ම ක්‍රියාත්මක වනු ඇත. නමුත් අනාගත සංක්‍රමණික වගකීම භාරගනු ඇත්තේ මොරිෂස් විසිනි.
ශාන්ති, දියෙගෝ ගාර්සියාවෙන් අහුලාගත් සිප්පි කටුවක් ගෙනවිත් ඇත්තේ එහි ගත කළ කාලය සිහිපත් කිරීමට ය. මතු දිනෙකදී ඇය එය ගෙල වටා බඳින මාලයක රඳවා පෙන්ඩනයක් ලෙස පැළඳීමට අපේක්ෂා කරන්නී ය.
ඇලිස් කඩී / බීබීසී පුවත්
(bbc/sinhala)