ඉතාලි රියැදුරු බලපත්‍රය: 'ඩ්‍රයිවින් කරන රස්සාවක් හොයාගන්න තිබුණා ලයිසන් එක තිබුණා නම්. එහෙනම් මේ සීතලේ මැරෙන්න වෙන්නේ නෑ'

වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වන රටවල් අතරින් රටක් වන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ආසන්න වසර දෙකක පමණ කාලය තුළ රියැදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුවකට මුහුණ දී සිටිති.

ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රය ලබා ගෙන තිබුණු ඉතාලියේ ස්ථීර පදිංචිය ලැබූවන්ට එම බලපත්‍රය ඉතාලියට වලංගු වන ආකාරයෙන් හරවා ගැනීමේ පහසුකමක් මීට පෙර හිමිව තිබිණි.

ඒ, ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර පැවති ද්විපාර්ශ්වික ගිවිසුමක් අනුව ය.

නමුත් මේ වන විට එම පහසුකම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අහිමි වී තිබේ.

දැඩි සීතලේ බයිසිකලයෙන් වැඩට යන ශ්‍රී ලාංකිකයෝ

ඉතාලියේ අගනුවර වන මිලානෝ සිට කිලෝමීටර 350ක් පමණ දුරින් පිහිටි නගරයක් වන, පේසරෝ නගරයේ ශ්‍රී ලාංකිකයෙකු වන නුවන් දිසානායක දිවි ගෙවයි.

2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ බොහෝ තරුණ පිරිස් වෙනත් රටවල්වලට ශීඝ්‍රයෙන් සංක්‍රමණය වූ අතර නුවන් ද එම වසරේදී ඉතාලියට සංක්‍රමණය වූ අයෙකි.

දෙසැම්බර් මාසයේ දිනක උදෑසන නුවන් අවදි වූයේ සේවයට වාර්තා කිරීමට ය.

ඒ වන විට ඔහු ජීවත් වන නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 7ත් 8ත් අතර විය.

"කොච්චර ඇඳුම් ඇඳගෙන එළියට බැස්සත් සීතලෙන් බේරෙන්න බෑ, හරියට පිහි තුඩුවලින් අනිනවා වගේ දැනෙන්නේ," ඔහු බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

ඔහු ජීවත් වන නිවසේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි ඔහුගේ සේවා ස්ථානයට යාමට පිටත් වීමට ඔහු, දැඩි සීතල මැද සිය බයිසිකලයට ගොඩ වී එය පැදගෙන යන බව පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේදී රියැදුරු බලපත්‍රය හිමිව තිබූ ඔහුට එය ඉතාලියට බලපවත්වන ආකාරයෙන් හරවා ගැනීමට නොහැකි වී තිබේ.

මෙම හේතුව නිසා තමාගේ ම වාහනයකින් රැකියාවට යාමේ පහසුව අහිමි වී, දැඩි සීතලේ බයිසිකලයකින් රැකියාවට යාම තෝරාගැනීමට සිදුව ඇති බව ඔහු පවසයි.

එපමණක් නොව මෙවැනි සීත කාලයකදී ඔහුට පහසුවෙන් ම රියැදුරු රැකියාවක් සොයා ගැනීමට ඇති හැකියාව ද මෙම ගැටලුව නිසා අහිමිව ඇතැයි ඔහු පවසයි.

"ඩ්‍රයිවින් කරන රස්සාවක් හොයාගන්න තිබුණා ලයිසන් එක තිබුණා නම්. එහෙනම් මේ සීතලේ මැරෙන්න වෙන්නේ නෑ."

"මට විතරක් නෙවෙයි 2022න් පස්සේ මෙහෙ ආව කිසි කෙනෙක්ට ලයිසන් හරවා ගන්න බෑ. ලේසියෙන් ම ඩ්‍රයිවින් රස්සාවක් හොයාගන්න පුළුවන් හැකියාව එයාලටත් නැති වෙලා තියෙන්නේ."

නුවන් යනු, රියැදුරු බලපත්‍ර පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අලුත් නොකිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින එක් අයෙක් පමණි.

Nuwan is riding his bicycle

| "ඩ්‍රයිවින් කරන රස්සාවක් හොයාගන්න තිබුණා ලයිසන් එක තිබුණා නම්. එහෙනම් මේ සීතලේ මැරෙන්න වෙන්නේ නෑ"

'ශ්‍රී ලංකාවට හිමි රියැදුරු රැකියා කෝටාවත් නැතිවෙලා'

මෙම ගැටලුව නිසා වසරකට ශ්‍රී ලංකාවට හිමි වන රියැදුරු රැකියා කෝටාව අහිමි වී ඇති බව නුවන් පැවසුවේ ය.

"අපි මේ ගැන හොයනකොට දැනගත්තේ මේ ගිවිසුම අත්සන් කරලා නැති නිසා අවුරුද්දකට ඉතාලි රජයෙන් ලංකාවට හම්බෙන ඩ්‍රයිවින් රැකියා කෝටා එක දැන් ලැබෙන්නේ නෑ කියලා. ඒ ගිවිසුම අත්සන් කරනකම් ඒක දෙන්න විදිහක් නෑ."

මේ නිසා විදෙස් රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව අහිමි වන බව ඔහු පෙන්වා දෙයි.

"ලංකාවෙන් එන අයට එන්න තියෙන අවස්ථාවක්නෙ මේ අහිමි වෙන්නේ. ලංකාවට විදේශ විනිමය ලැබෙන හොඳ අවස්ථාවක්."

"ඒ විතරක් නෙවෙයි මෙහෙ නිකන් රස්සාවකට යන්න ගියත් අහනවා 'පතන්තේ' [රියැදුරු බලපත්‍රය] තියෙනව ද කියලා. නෑ කිව්වම දන්වලා එවන්නම් කියලා යන්න කියනවා. එච්චර තමයි. ආපහු කතා කරන්නේ නෑ," ඔහු පැවසුවේ ය.

'පාට් ටයිම් වැඩකට යන්නවත් බෑ'

ඉතාලියේ වෙසෙන සිය සොහොයුරා හරහා අවස්ථාවක් හිමි කරගෙන 2024 ජනවාරි මාසයේදී ඉතාලියට ගිය නිමේෂිකාට (ඇගේ සැබෑ නම නොවේ) ශ්‍රී ලංකාවේදී ස්කුටර් වර්ගයේ මෝටර් සයිකලයක් ද තිබිණි.

වසර 18 සම්පූර්ණ වීමත් සමග ශ්‍රී ලංකාවේදී රියැදුරු බලපත්‍රය ලබාගෙන තිබූ ඇය විදෙස්ගත වන විට වසර 10කටත් වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ රිය පැදවීම සිදු කළ බව ය බීබීසී සිංහල වෙත පැවසුවා ය.

"දැන් මට මෙහෙ කිසිම වැඩකට වාහන පදින්න බෑ. හදිස්සියකට අයියගේ වාහනයවත් අරගෙන යන්න බෑ," ඇය පවසයි.

නිමේෂිකා දැන් කෝපි හලක සේවය කරන්නී ය. දිවා කාලයේ එම රැකියාව අවසන් කර ඇය සවස් වරුවේ විවිධ අමතර රැකියාවල නිරතවෙයි.

"අපේ ලංකාවේ අය ෆේස්බුක් එකේ, වට්සැප් එකේ ගෲප් හදලා තියෙනවා. පාට් ටයිම් වැඩ තියෙනවා නම් ඒ ගෲප් වල එනවා. ගොඩක් වෙලාවට ඩිලිවරි කරන වැඩ එනවා. ඒ වුණාට ඒවාට යන්න බෑ ලයිසන් එක නැති නිසා," ඇය පැවසුවා ය.

"ලංකාවේ ඉන්නකොට වාහනයක් ගන්න එක හීනයක් විතරක් වුණා. මෙහෙ ගන්න පුළුවන්කම තිබුණත් ලයිසන් ප්‍රශ්නය නිසා ඒකත් හීනයක් වෙලා."

ඉතාලියේදී ඉතාලි රියැදුරු බලපත්‍රය ලබාගැනීමට මනා භාෂා දැනුමක් සහ වැඩි මුදල් අවශ්‍ය බව ඇය පැවසුවා ය.

මේ වන විට සීත ඍතුව උදා වී තිබෙන ඉතාලියේ ඇය දිනපතා සේවයට වාර්තා කරන්නේ පොදු ප්‍රවාහන සේවයෙනි.

ප්‍රධාන රැකියාව අවසන් වී යන අමතර රැකියා සඳහා යාමේදී පොදු ප්‍රවාහනයෙන් යාමට නොහැකි ස්ථානවලට අධික සීතල නොතකා බයිසිකලය පැද යන බව ය පැවසුවා ය.

"අයියත් දවස ම වැඩ කරනවා. එතකොට මාව එක්කගෙන යන්න බෑ. මේ දවස්වල දරාගන්න බැරි සීතලේ ඒ නිසා බයිසිකලේ පැදගෙන යන්න වෙලා තියෙන්නේ. මූණට හුළං පාර වදිනකොට සීතලට මැරෙයි කියලා හිතෙනවා. ඒ තරම් සීතලයි," ඇය පවසයි.

'දරුවාත් අරන් ඉස්කෝලෙට කිලෝමීටර 6ක් බයිසිකලේ යන්නේ'

පියුමි ප්‍රර්ථනා ඉතාලියේ නාපොලි නගරයේ සිය පවුල සමග ජීවත් වන කාන්තාවකි.

ඇය පෙන්වා දෙන්නේ මෙම රියදුරු බලපත්‍ර ගැටලුව නිසා සිය දරුවන්ව කිලෝමීටර ගණන් බයිසිකලයේ දමාගෙන පාසලට යාමට සිදුව ඇති බවයි.

"අපේ දරුවෝ යන පාසල් තියෙන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර 5ක් 6ක් ඈතින්. දරුවා ෆුට් සයිකලේ තියාගෙන ඒ දුර පදින්න වෙලා තියෙනවා ඉස්කෝලෙට අරන් යන්න," ඇය පවසයි.

"ඉතාලියේ සීතල කාලෙට ඉවසගන්න බෑ සීතලයි. රස්නේ කාලෙට හොඳටම රස්නෙයි. මේ හැම දුකක්ම විඳගෙන ජීවත් වෙන්න අපට සිද්ධවෙලා."

ඇය පවසන්නේ මේ ගැටලුව ඔවුන් ඉතාලියේ රැඳී සිටීම සම්බන්ධයෙන් ද අර්බුදයක් ඇති කර ඇති බවයි.

"රස්සාවකට ඉන්ටවිව් ගිය ගමන් අහන්නේ ලයිසන් එක තියෙනවද කියලා. නෑ කිව්වම ගන්නේ නෑ. රස්සාවක් නැති වුණාම විසා එක අපහු ගන්න බෑ. අපි පුදුම ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ," ඇය පවසයි.

Nuwan's Hands

| 'සීතලට අත් පුපුරන්න වගේ එනවා, අත්වල හම ගිහින් තියෙන්නේ.'

මොකක්ද මේ රියදුරු බලපත්‍ර හැරවීම?

2011දී ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ඇති කරගත් ගිවිසුමක් ප්‍රකාරව ඉතාලියේ ස්ථිර පදිංචිය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රයක් හිමි කරගෙන තිබූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එම රියැදුරු බලපත්‍රය ඉතාලියට බලපැවැත්වෙන ආකාරයෙන් පරිවර්තනය ගැනීමට පහසුකම් ලබා දී තිබිණි.

වරින්වර රජයන් විසින් අලුත් කරනු ලබන මෙම ගිවිසුම අනුව ඉහත සුදුසුකම් ලබා තිබූ ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියෙන් නැවත ඉතාලි රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නොවිණි.

2016 වසරේදී මෙම ගිවිසුම අලුත් කිරීම වාර්තා කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, මෙම ගිවිසුමෙන් ඒ වන විට වසරකට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 11,000ක් පමණ ප්‍රතිලාභ ලැබූ බව ය.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වලංගු ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රයක් හිමි, ඉතාලියේ ස්ථිර පදිංචිය තහවුරු කළ හැකි සහ ස්ථිර පදිංචිය ලබා වසර හතරක් නොඉක්මවූ පිරිස් මෙලෙස රියැදුරු බලපත්‍රය පරිවර්තනය කරවා ගැනීම සඳහා සුදුසුකම් ලබති.

කෙසේ නමුත්, බීබීසී සිංහල සමග අදහස් දැක්වූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවසන්නේ, 2022 වසරේදී එවකට ඉතාලියේ සිටි ශ්‍රී ලාංකික තානාපතිවරයා මෙම ද්විපාර්ශ්වික ගිවිසුම අලුත් කිරීමට කටයුතු නොකළ බව ය.

මෙතෙක් එම ගිවිසුම අලුත් කිරීමක් සිදුව නොමැති අතර, 2023 වසරේ ජූනි 01 වන දා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක දැක්වෙන්නේ, "ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර රියැදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින," බව ය.

2023 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් රැස් වූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු තිබුණ ද මෙතෙක් එම ගිවිසුම අලුත් කිරීම සිදුව නොමැත.

ජනපතිට ලිපි

ආචාර්ය ජගත් වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ පැන නැගුණු මෙම ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ශව කිහිපයක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි යොමු කර තිබේ.

නව තානාපතිවරයා ලෙස සත්‍යා රොද්‍රිගෝ දිවුරුම් දීම සිදුවූයේ, දෙසැම්බර් 06 වන දා වන අතර මස හතරක කාලයක් ඔහුගේ දිවුරුම් දීම ප්‍රමාද වී තිබිණි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය මීට පෙර ලිපියක් යොමු කර තිබිණි.

ඔවුන් එම ලිපියෙන් මෙම රියැදුරු බලපත්‍ර ගැටලුව හැකි ඉක්මනින් විසඳා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබිණි.

ඉතාලි රියැදුරු බලපත්‍ර අහිමි කිරීම නිසා පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ගේ එකතුව ද දෙසැම්බර් 05 වන දා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ, මීට පෙර බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ය.

ඇමතිවරයාගේ ප්‍රතිචාරය

ඉතාලි රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති මෙම රියැදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුව විසඳීමට වත්මන් රජයේ ප්‍රවේශය කුමක්දැයි විමසීමට බීබීසී සිංහල විසින් විදේශ කටයුතු සහ විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සම්බන්ධ කරගැනීමට උත්සහ දරන ලදී.

එහිදී විජිත හේරත් ඇමතිවරයාගේ කාර්යමණ්ඩලයේ මාධ්‍ය ලේකම්වරයා හරහා අමාත්‍යවරයා අප යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු එවා තිබිණි.

"දැනට අපි සියලු ම තානාපති කාර්යාල හරහා සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න මොනව ද කියලා කැඳවලා තියෙනවා. ඉතාලිය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය සහ රැකියා විසා ලබා නොදීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. තව ම විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලි තානාපතිතුමා මුණ ගැහිලා නෑ. ඉදිරියේදී තානාපතිතුමා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා," මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ ය.

අවිනිශ්චිත අනාගතය

"උදේට බයිසිකලය අරන් පාරට යනකොට පාරේ අයිස් මිදිලා තියෙන්නේ. ලිස්සනවා. අනතුරක් වෙන්න තියෙන ඉඩ 100%යි. අපි දන්නේ නෑ මේ ප්‍රශ්නේ කවද අවසන් වෙයි ද කියලා," නුවන් බලාපොරොත්තු කඩ වූ විලාශයකින් පැවසුවේ ය.

"සීතලට අත් පුපුරන්න වගේ එනවා, අත්වල හම ගිහින් තියෙන්නේ."

පියුමි ද දරුවන් දැඩි සීතලේ තවදුරටත් පාසල් ගෙන යන්නේ කෙසේදැයි ළතැවන්නී ය.

"දරුවෝ ගෙදර තියාගන්න තමයි වෙන්නේ," ඇය පවසයි.

මෙම ගැටලුවට නිසි පිළිතුරක් තවමත් ඔවුන්ට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලැබී නොමැත.

| අමන්දිකා කුරේ / බීබීසී සිංහල