ජාත්‍යන්තර සංක්‍රමණික දිනය: 2025දී ලොව පුරා සංක්‍රමණ වෙනස් විය හැක්කේ කෙසේ ද?
ලොව පුරා, සංක්‍රමණය වීම් සෑම වසරකදී ම ඉහළ යන අතර අනාගතයේදී මිනිසුන්ට සංක්‍රමණය වීම අඩු කිරීමට අවශ්‍ය වනු ඇති බවට වන කිසිදු ඇඟවීමක් නොමැත.
නමුත් පසුගිය දශකයේදී සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අයට බරපතළ බාධක එල්ල විය: ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධූර කාලයේ කියූ "බිල්ඩ් ද වෝල්" යන වැකිය, කොවිඩ් වසංගතය සහ එහි සංචාරක සීමා කිරීම් සහ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර මිනිසුන්ගේ නිදහස් සංචරණය අවසන් කළ බ්‍රෙක්සිට් එම බාධක අතර විය.
තව ද, 2025 ලොව විශාලතම සංක්‍රමණ ගමනාන්ත දෙකෙහි වැදගත් දේශපාලන වෙනස්කම් සමග ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ: එක්සත් ජනපදයේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී ජනාධිපති ලෙස ඔහුගේ දෙවන ධූර කාලය ආරම්භ කරන අතර, ජර්මනියේ, පෙබරවාරි අගදී අපේක්ෂිත කාලයට ප්‍රථම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එය දැඩි සංක්‍රමණ ප්‍රතිපත්තිවලට පක්ෂව සිටින පක්ෂවලට සාර්ථකත්වයට හේතුවක් විය හැකි ය.
මේ, දෙසැම්බර් 18 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සංක්‍රමණික දිනය දා, 2025දී ගෝලීය සංක්‍රමණ ප්රවණතා වෙනස් විය හැකි ආකාරය පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.
වර්තමාන ගෝලීය සංක්‍රමණ ප්රවණතා මොනවා ද?
පසුගිය දශක තුනක කාලය තුළ ලොව පුරා සංක්‍රමණිකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පැවතිණි.
කෙසේ වෙතත්, ගෝලීය ජනගහනයට සාපේක්ෂව වෙනත් රටකට යන පුද්ගලයින්ගේ ප්‍රතිශතය තවමත් සාපේක්ෂව කුඩා ය.
"අපි පහුගිය අවුරුදු 25 සංක්‍රමණික දත්ත වගේ ම, මානව සංවර්ධන දර්ශක දත්ත දිහා බැලුවා. එතකොට අපි දැක්කා කාලයත් එක්ක සංවර්ධනය වෙමින් පවතින රටවල මිනිස්සුන්ට ජාත්‍යන්තරව මධ්‍යම, ඉහළ සහ ඉතා ඉහළ මානව සංවර්ධනයක් තියෙන රටවලට සංක්‍රමණය වීමට හැකිවීම වඩ වඩා ත් දුෂ්කර වෙලා කියලා," මරී මැකෝලිෆ් පවසයි.
"ඒකේ හරි ම පැහැදිලි ප්‍රවණතාවක් පේනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සංක්‍රමණය වීමට යොදා ගන්නා විධිමත් මාර්ගවලට ප්‍රවේශ වීම වඩ වඩාත් දුෂ්කරයි කියන එක.
"ජාත්‍යන්තර මට්ටමින් බොහෝ සංක්‍රමණ සිදුවන්නේ ධනවත් රටවල් අතර, ඒ කියන්නේ එක ධනවත් රටක ඉඳලා තවත් රටකට," යැයි මැකෝලිෆ් පවසන්නේ උදාහරණයක් ලෙස යුරෝපය තුළ ඇති ඉහළ සංක්‍රමණ වීම් ගෙනහැර දක්වමිනි.
EU, Ecowas සහ Mercosur වැනි නිදහස් සංචලතා විධිවිධාන ඇති කලාප තුළ සංක්‍රමණ ඉහළ මට්ටමක පවතින අතර, දකුණු ආසියාවේ සිට ගල්ෆ් රටවලට ප්‍රධාන සංක්‍රමණ කොරිඩෝවක් ද ඇති බව ඇය පවසයි.
2022දී ලෝකයේ ජාත්‍යන්තර සිසුන් මිලියන හතක් පමණ සිටි අතර දශක තුනකට අඩු කාලයකදී මෙම අගය තුන් ගුණයකින් ඉහළ ගියේ ය.
සිරියාවේ අසාද් රජය බිඳවැටීම නිසා වෙනත් රටවල වෙසෙන මිලියන හයකට අධික සිරියානු සංක්‍රමණිකයන්ට ආපසු සිය රට බලා යාමට හැකිවනු ඇත.
සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවට පළා යාමෙන් පසු පළමු දිනවලදී, සිරියානුවන්ට ආපසු සිය රටට යාමට අවශ්‍ය වූ බැවින් දේශ සීමාවේ තුර්කි ප්‍රදේශයේ පෝලිම් දක්නට ලැබිණි.
කෙසේ වෙතත්, අනාගතයේදී සිරියාව පාලනය වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව හේතුවෙන් මෙම ප්‍රවණතාවය දිගට ම පවතින්නේ ද සහ ආරක්ෂක තත්ත්වය වෙනස් වන්නේ කෙසේ ද යන්න අනාවැකි කීම දුෂ්කර ය.
ට්‍රම්ප්ගේ නැවත පැමිණීම සංක්‍රමණවලට බලපාන්නේ කෙසේ ද?
සංක්‍රමණ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ ආධාරකරුවන්ට තීරණාත්මක වැදගත්කමක් ඇති ප්රශ්නයකි.
සංක්‍රමණිකයන් සඳහා ලෝකයේ වඩාත් ම ජනප්‍රිය ගමනාන්තය එක්සත් ජනපදය වන අතර, මෙම මාතෘකාව 2016 ජනාධිපතිවරණයේදී ප්රමුඛව ගෙන හැර දැක්විණි.
"බිල්ඩ් ද වෝල්" යනු ට්‍රම්ප්ගේ රැලිවලදී නිතිපතා ඇසුණු ප්‍රකාශයක් වන අතර, එය නීතිවිරෝධී ඇතුළු වීම් නැවැත්වීම සඳහා සමස්ත මෙක්සිකානු දේශසීමාවේ භෞතික බාධකයක් ඉදිකිරීමට ඔහු දුන් පොරොන්දුව ගැන වේ.
ඔහුගේ පළමු ධූර කාලයේදී, මෙක්සිකානු දේශසීමාවේ ප්‍රාථමික බාධකයේ දිග සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ට්‍රම්ප්ට නොහැකි වූ නමුත්, සංක්‍රමණ සම්බන්ධයෙන් වඩා ත් ප්රත්යක්ෂ ප්‍රතිඵල ඇති කරන වෙනත් ක්‍රියාමාර්ග ඔහු ගත්තේ ය.
2017 ජනවාරියේ ජනාධිපති වීමෙන් පසු ඔහු කළ පළමු දෙය නම්, බහුතර මුස්ලිම් ජනගහනයක් සිටින රටවල් හතක (ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය) මිනිසුන්ට සංචාරක තහනමක් පැනවීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රතිපත්තිය "මුස්ලිම් තහනම" ලෙස හැඳින්විණි.
ට්‍රම්ප් එම විධායක නියෝගයට අත්සන් කරන අවස්ථාවේ එක්සත් ජනපදයට ගුවන් ගමන්වල යෙදී සිටි මෙම රටවල පුරවැසියන් 2,000ක් පමණ ඔවුන්ගේ ගුවන් යානා එක්සත් ජනපදයට ගොඩබෑමෙන් පසු රඳවා තබා ගන්නා ලදී.
තවත් ප්‍රතිපත්තියක් වූයේ විවිධත්ව සංක්‍රමණ වීසා වැඩසටහන අවලංගු කිරීම ය. එමගින් එක්සත් ජනපදය වාර්ෂික ලොතරැයියක් හරහා එක්සත් ජනපදයේ ජීවත් වීමට සහ වැඩ කිරීමට අයිතිය ලබා දුන්නේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසාන වසරේ මෙම ක්‍රියාවලිය නැවැත්වීමට තීරණය කළේ, වසංගතය අතරතුර "එක්සත් ජනපද ශ්‍රම වෙළෙඳපොළ ආරක්ෂා කිරීම" අරමුණු කරගත් පියවරක් ලෙස ය.
නමුත් මෙය නව ජීවිතයක් ආරම්භ කිරීමට සූදානම් වූ දස දහස් ගණනක ලොතරැයි ජයග්‍රාහකයින්ගේ ජීවිත වෙනස් කළේ ය.
"මම 2019දී ලොතරැයියට ඇතුළු වුණේ. ප්‍රතිඵල 2020 ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කළේ. මම දින්නා කියලා මම දැක්කා," තුර්කියේ 27 හැවිරිදි කාන්තාවක වන ඉර්මාක් (ඇයගේ සැබෑ නම නොවේ) පවසයි.
"ද්විලිංගික සහ අදේවවාදී කාන්තාවක් විදිහට, මට මම වීම සහ තුර්කියේ භාෂණයේ නිදහසක් මට දැනෙන්නේ නැහැ. එක්සත් ජනපදයට මම කැමති වුණේ පෞද්ගලික අවකාශයට ඔවුන් දක්වන ගෞරවය. එක්සත් ජනපදයේ ජීවිතය පහසු විය වේවි කියලා මම හිතුවා."
ඇයගේ ආගමනය වැළැක්වුණු පසු, ඉර්මාක් එම තත්වයේ ම සිටින වෙනත් පුද්ගලයින් සමග නීතිමය විරෝධතාවක් ආරම්භ කළ නමුත් එම නඩුව අසාර්ථක වූ අතර දහස් ගණනකට එක්සත් ජනපදයට යාමට අවස්ථාව අහිමි වූහ.
ට්‍රම්ප් පරිපාලනය මහජන සෞඛ්‍ය පියවරක් ලෙස දිස්වුණු මතභේදාත්මක ව්‍යවස්ථාවක් ද ක්‍රියාත්මක කළ අතර එය දේශසීමාවේ සිටින සංක්‍රමණිකයන් - සරණාගතයින් ඇතුළුව - ඉක්මනින් නෙරපා හැරීමට එක්සත් ජනපද බලධාරීන්ට ඉඩ සැලසීය.
එය ක්‍රියාත්මක කිරීම සහ ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව යන 2021 ජනවාරි අතර 400,000කට ආසන්න පිරිසක් රඳවාගෙන නෙරපා හරින ලදී.
ඔහුගේ දෙවන ධූර කාලයේදී අපට අපේක්ෂා කළ හැක්කේ මොනවා ද?
මේ වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්රචාරක පොරොන්දුවක් වූයේ, නීතිවිරෝධී ආගමනිකයින් විශාල වශයෙන් පිටුවහල් කිරීම ය.
"ඒක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තට ම අපිට වෙන කරන්න දෙයක් නැහැ," යැයි ට්‍රම්ප් පැවසුවේ, ඔහු තම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද හමුදාව යොදා ගැනීම සඳහා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට සැලසුම් කරන බව ද සඳහන් කරමිනි.
ට්‍රම්ප්ගේ උපජනාධිපති අපේක්ෂකයා වූ ජේ.ඩී. වෑන්ස් පවසා ඇත්තේ, පිටුවහල් කිරීම මිලියනයක ජනතාවකින් "ආරම්භ විය හැකි" නමුත් මෙය කළ හැකි ද යන්න පිළිබඳව විශේෂඥයින් සැක පළ කර ඇති බව ය.
දේශසීමාවේදී පිටුවහල් කෙරුණු පිරිස හැරුණු කොට දශකයක් තිස්සේ එක්සත් ජනපදය තුළදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිටුවහල් කර ඇත්තේ වසරකට 100,000ටත් වඩා අඩු සංඛ්‍යාවකි.
"එය ඉහළ නැංවීම සඳහා, එක් වසරක් තුළ, මිලියනයක් දක්වා වැඩිකරන්න, නොපවතින සම්පත් විශාල වශයෙන් එක් කර ගන්න අවශ්‍ය වේවි," ඇමරිකානු ආගමන කවුන්සිලයේ ප්‍රතිපත්ති අධ්යක්ෂ ඇරන් රයික්ලින්-මෙල්නික් බීබීසී වෙත පැවසීය.
විශේෂඥයින් ඇස්තමේන්තු කරන්නේ, පිටුවහල් කිරීම් මිලියනයක් හෝ ඊට වැඩි ගණනක් කිරීමට සමස්තයක් ලෙස ඩොලර් බිලියන දස දහස් ගණනක් හෝ බිලියන සිය ගණනක් දක්වා වැය විය හැකි බව ය.
මීට අමතරව, ආගමන අධිකරණ පද්ධතියට එවැනි විශාල සංඛ්‍යාවක් දරා ගැනීමට නොහැකි වනු ඇති අතර ඕනෑ ම සමූහ පිටුවහල් කිරීමේ වැඩසටහනක් නීතිමය අභියෝගවලට මුහුණ දීමේ හැකියාව තිබේ.
ට්‍රම්ප් සිය පළමු ධූර කාලයේදී විවිධත්ව වීසා ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා ගත් පියවර මෙන් නෛතික සංක්‍රමණය අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී වඩා ත් සාර්ථක විය හැකි ය.
2025 පෙබරවාරි මැතිවරණයෙන් පසු ජර්මනියේ වෙනස් වන්නේ මොනවා ද?
| ලොව දෙවන විශාලතම සංක්‍රමණ ගමනාන්තය වන ජර්මනියේ, 2025 පෙබරවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මැතිවරණයකින් පසු නව රජයක් පිහිටුවීමට ඉඩ ඇත
මෑත වසරවලදී, ශ්‍රම බළකායක් බඳවා ගැනීම සඳහා එරටට සංක්‍රමණය වීම පහසු කර ඇති නමුත් සංක්‍රමණ විරෝධී දක්ෂිණාංශික පක්ෂ බලයට පත් වුවහොත් මෙය වෙනස් විය හැකි ද?
වත්මන් ආණ්ඩුව ශ්‍රම හිඟයකට මුහුණ දීම සඳහා ඇතැම් සංක්‍රමණ නීති ලිහිල් කර ඇති නමුත් අගමැති ඔලාෆ් ෂොල්ස්ගේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය මත විමසීම අනුව ක්‍රිස්ටියන් ඩිමොක්‍රට්ස් (DCU/CSU) සහ රටේ මිනිසුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ සහය ඇති අන්ත දක්ෂිණාංශික ඒඑෆ්ඩී පක්ෂයට පිටුපසින් තුන්වන ස්ථානයේ සිටී.
"අක්‍රමවත් ආගමන සඳහානීති දැඩි කිරීම ජර්මනියේ පක්ෂවල, විශේෂයෙන් ම ප්‍රමුඛතම CDU/CSU පක්ෂයේ, වගේ ම අන්ත දක්ෂිණාංශික ඒඑෆ්ඩී සහ අන්ත වාමාංශික බීඑස්ඩබ්ලිව් පක්ෂවල මැතිවරණ ව්‍යාපාරයේ කොටසකි", ජර්මානු විදේශ සබඳතා කවුන්සිලයේ සංක්‍රමණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන වික්ටෝරියා රීටිග් පවසයි.
ශ්‍රම හිඟය නිසා ජර්මානු පක්ෂ විධිමත්ව සිදු කෙරෙන සංක්‍රමණ පිළිබඳව අඩුවෙන් විවේචනය කළ ද, පුද්ගලයන් 10 දෙනෙකුගෙන් හයක් පමණ මෙම පක්ෂ තුනට සහය දක්වන අතර රීටිග් විශ්වාස කරන්නේ "මෙම දේශපාලන වාතාවරණය පෙබරවාරි මැතිවරණයෙන් පසුව දැඩි ජර්මානු සංක්‍රමණ ප්‍රතිපත්ති බවට පරිවර්තනය වනු ඇති බවට ස්ථිරයි. බොහෝ දුරට ක්‍රිස්ටියන් ඩිමොක්‍රට්ස් පක්ෂය විසින් මෙහෙයවනු ලබන රජය යටතේ," යනුවෙනි.
වෙනත් ගමනාන්ත
ජර්මනියට හෝ එක්සත් ජනපදයට සංක්‍රමණය වීම වඩාත් සංකීර්ණ විය හැකි නමුත් වෙනත් ගමනාන්තයන්වලට යාමට අමතර බාධා මතු නොවනු ඇත.
EU සහ Ecowas වැනි කලාපීය රාමු යටතේ සංක්‍රමණය වීම සහ දකුණු ආසියාවේ සිට ගල්ෆ් දක්වා ඇති ප්‍රධාන මාර්ගය බාධාවකින් තොරව පවතිනු ඇත.
"දකුණු ආසියාවේ සිට ගල්ෆ් වෙත ඇති විශාල කොරිඩෝව, තනිකර ම පාහේ ශ්‍රම සංක්‍රමණය සඳහා වෙන් වන අතර, එය දිගට ම පවතිනු ඇත්තේ එහි අවශ්‍යතාව පවතින නිසා. කම්කරු සංක්‍රමණිකයන් ගල්ෆ් කලාපයේ බොහෝ රටවලට ඇදහිය නොහැකි තරම් වැදගත් වනවා වගේ ම ඔවුන් වැදගත් සේවාවන් ඉටු කරනවා," IOMහි මරී මැකෝලිෆ් පවසයි.
"ඒ නිසා ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. විශාල විගමනික රටවල් සහ විශාල ගමනාන්ත රටවල් ගැන කතා කරන කොට නෙවෙයි."
සංක්‍රමණ පද්ධති කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමට අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් භාවිත කරනු ලබන ඔන්ලයින් වැරදි තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාර පවතින බව ද ඇය අවධාරණය කරයි.
"මට නම්, ජාත්‍යන්තර සංක්‍රමණවලදී බලාපොරොත්තු වන ලොකු ම ප්‍රශ්නවලින් එකක් තමයි සංක්‍රමණය පිළිබඳ විශ්වාසය නැති කරන සාවද්‍ය තොරතුරු වටා ඇති මෙම වර්ධනය වන විරුද්ධාභාෂය."
මැකෝලිෆ් පවසන්නේ, යුද්ධ සහ ව්‍යසනයන් හේතුවෙන් ඇති වූ උග්‍ර අවතැන්වීම් හැරුණු විට, ජාත්‍යන්තර සංක්‍රමණ ප්රවණතා සාපේක්ෂව පුරෝකථනය කළ හැකි සහ ස්ථාවර වන අතර කාලයත් සමග පමණක් ප්‍රතිපත්තිමය වෙනස්කම් මගින් ඒවාට බලපෑම් ඇති කරන බව ය.
"ජාත්‍යන්තර සංක්‍රමණය ව්‍යතිරේකයක් කියලා බව අපි දන්නවා: බොහෝ මිනිසුන් ඔවුන් ඉපදුණු රටවල් තුළ ම ජීවත් වෙනවා."
| ඔනුර් එරම් - BBC/Sinhala