විදේස්ගත ශ්‍රමිකයන්ට දුන් පොරොන්දු ඉටු කරනවා - නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

arun-hemachandra
  • E-8 වීසා ගැටලුව ගැන සී.අයි.ඩියට
  • ‘පවුල් ප්‍රේෂණ’ (Family remittance) නොතිබුණා නම් මේ රට තවත් අගාධයෙන් අගාධයට

E-8 කැටගැරියේ රැකියා සඳහා හොර පාරෙන් යවන්න කළ සැලසුම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා සී. අයි.ඩීයට පැමිණිලි කරලා දැන් විමර්ශන අරඹා ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය. ඒ ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුමකට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

එහිදි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, අද දවස ලෝකයට විශේෂ දවසක්. ලංකාවට සුවිශේෂී දවසක්. මං එහෙම කියන්නේ ඇයි? ලෝකය පුරාම විසිරී පැතිරී සිටින සංක්‍රමණික ශ්‍රමිකයින්, එහෙමත් නැත්නම් තමන්ගෙ උපන් බිමෙන් වෙන්වී වෙනත් රටක ජීවත්වෙන, රැකියා කරන සියලුම දෙනා වෙනුවෙන්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කරපු දවසක්. ‘ජාත්‍යන්තර සංක්‍රමණික දිනය’. මේක ලෝකයට විශේෂ වෙලා, අපේ රටට සුවිශේෂී වෙන්නේ ඇයි? වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වගේ විශේෂ බරක් උහුලන්නේ මේ විදෙස්ගත ශ්‍රමිකයින්. දැවැන්ත ආර්ථික අර්බුදයකට අප මුහුණ දුන් අවස්ථාවේදීත්, එයින් මිදී හෙමින් හෙමින්, ක්‍රමානුකූලව ඔළුව උස්සමින් තියෙන මේ අවස්ථාවේදීත් ඔවුන් මේ රටට එවන ‘පවුල් ප්‍රේෂණ’ (Family remittance) නොතිබුණා නම් මේ රට තවත් අගාධයෙන් අගාධයට යන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඔබ දන්නවා අපට මේ වෙද්දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගෙන ගිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අවසන් වෙලා තියෙනවා. අවුරුදු 4ක කාලයක් පුරා වාරික කිහිපයකට රටට ප්‍රදානය කෙරුණේ  ඩොලර් බිලයන  3ට ආසන්න මුදලක්. අවුරුදු 4ක කාලයකට අයි.එම්.එෆ් එකෙන් ලැබුණු ඩොලර් බිලියන 3ට වඩා වැඩිමුදලක් මේ අවුරුද්දෙ මුල් මාස 8ක කාලය තුළ අපට ලැබුණේ අපේම විදෙස්ගත ඥාතීන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්.  මේ අවුරුද්දෙ අගෝස්තු දක්වා ලැබුණු පවුල් ප්‍රේෂණවල වටිනාකම ඇ.ඩො. බිලියන 4.28ක්. මහබැංකු වාර්තාවලට අනුව මේ නොවැම්බර් මාසයේ යම් පසුබෑමක් තිබුණත්, මේ අවුරුද්දෙ ජනවාරි සිට නොවැම්බර් දක්වා රටට ලැබුණු පවුල් ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 5,961.6 ක්. එහෙමත් නැතිනම් බිලියන 5.96ක්. ඉතිං අපි අපේ රටේ ආර්ථිකය ගොඩනගන මේ ‘රටවිරුවන්ට’ ඇත්තටම ගරු කළ යුතුයි. ඔවුන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් දිය යුතුයි. අන්න ඒ නිසයි මේ වගේ වැඩසටහන් වැදගත් වෙන්නෙ.

පසුගිය රජය කාලයේ මේ වගේ රට රැකියාවලට ගිය අපේම සහෝදර සහෝදරියන්ට ‘රට විරුවන්’ කියලා නමට උස්සලා තිබ්බට ඒ ගරු සරු නම්වලට මුවාවෙලා කරලා තිබුණේ හොඳ වැඩ නෙවෙයි. උදාහරණයක් විදිහට රට විරුවන්ට සලකන්න කියලා විද්‍යුත් වාහන ආනයනය කරන්න අවසර දුන්නා කියලා ලොකු ප්‍රචාරයක් ගියා. ඒත් ඇත්තටම සිද්ධවෙලා තිබුණේ මහා පරිමාණ වංචාවක්. ඒ බව විගණන වාර්තාවලින් පවා ඔප්පු වෙලා තියෙනවා. කොරියාවේ රැකියා සඳහා හරි පාරෙන් යැවීම වෙනුවට E-8 කැටගැරියේ රැකියා සඳහා හොර පාරෙන් යවලා පහුගිය කාලේ ප්‍රශ්නයක් වුණා. වර්තමානයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් සී.අයි.ඩීයට පැමිණිලි කරලා දැන් විමර්ශන යනවා. ඉතිං අපේ රජයට ආව ගමන් කරන්න තිබුණේ හැම ක්ෂේත්‍රයකම වගේ විදේශ රැකියා ක්ෂේත්‍රයේත් පහුගිය රජයන් කරපු වැරදි නිවරදි කරන්න පියවර ගන්න එකයි. ඉතිං අපි දැන් ඒක කරගෙන යනවා. ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය’ හැටියට ඔයගොල්ල පහුගිය කාලයේ කරපු එක ඉල්ලීමක් තමා විදේශ තානාපති කාර්යාලවල සිටින දූත මණ්ඩල සේවයට සුදුසුකම් සහිත, ක්ෂේත්‍රය පිළිබඳ හොඳ පුහුණුවක් ලබපු, දේශපාලන ඥාති හිතමිත්‍රකම්වලට නොව රට රැකියා සඳහා යන අයගේ ගැටලු පිළිබඳ සංවේදී අය පත් කළ යුතුයි කින එක.

ඒවා අපට එකඟ වෙන්න පුළුවන් කාරණා. මං අර කලින් කීවා වගේම ඉස්සරලාම අපට තියෙන්නෙ කලින් අය කරපු වැරදි නිවරදි කරන එක. ඒ අනුව මේ කාරණයට අදාළවත් ගරු ඇමතිතුමා දුන් නියෝග අනුව මේ වෙද්දි අපි දූත මණ්ඩල සේවයට දේශපාලන ඥාතිකම් නිසාම ගිය සෑහෙන පිරිසක් නැවත කැඳවලා තියෙනවා. ඉදිරියේදී ඒවාට සුදුසුකම් සහිත අය පත් කරන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම සිහිපත් කළ යුතු වැදගත් දෙයක් තියෙනවා. ජනාධිපතිවරණයට පෙර අප ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙළට සමගාමීව තෝරාගත් ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන් ගැන වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ජනතාව ඉදිරියේ තිබ්බා. එහිදී විදේශ රැකියා ප්‍රතිපත්තිය ‘පුනරුදයෙන් එතෙර අපිට’ කියන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ’ ප්‍රධානතම ඉල්ලීමක් වෙන විදේශගත ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හදන්න අපි පොරොන්දු වෙලා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා දිවුරුම් දුන් අවස්ථාවේදීත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් කරපු ඉල්ලීමට එකඟවෙමින් ජනාධිපතිවරයාත් එය ඉටු කරන බවට එකඟ වුණා. මේක ජනතාවගේ ආණ්ඩුවක්. අපි ජනතාවට දුන් පොරොන්දු අනිවාර්යෙන් ඉටු කරනවා. විදෙස් රැකියාවලට යන අයගේ පවුල්වල සුබසාධනය, අඩු පොලියට නිවාස සාදා ගැනීමට ණය පහසුකම් සැලසීම ආදී බොහෝ දේ අපේ වැඩපිළිවෙළේ තියෙනවා. මේ දේවල් කරන්න, වඩා හොඳ විදේශ රැකියා ක්ෂේත්‍රයක්, සංක්‍රමණික කර්මාන්ත ක්ෂේත්‍රයක් ගොඩනඟා ගැනීමට ඔබ වැනි සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙ සහය අපට අවශ්‍යයි. ‘පුනරුදයෙන් එතෙර අපිට’ වැඩපිළිවෙලේ තේමාව වුණේ Build Together – Win Together කියන එකයි. ඉතිං අපි ‘එක්ව ගොඩනඟමු-එක්ව ජයග්‍රහණය කරමු’.

මෙම අවස්ථාවට එම සංවිධාන ජාලය නියෝජනය කරමින් 100ක පමණ සහභාගිත්වය සහ, තවත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙනි.