රාජ්‍ය සේවයේ අර්බුදයට ලක්ව ඇති උපාධිධාරින්ගේ අර්බුදය විසඳීමට කැබිනට් අනුමැතිය

school-development-officers

රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරින්, ආශ්‍රිත සේවාගණවල නිලධාරින් රාජ්‍ය සේවයට ඇතුළත් වීමට මූලික සුදුසුකමක් ලෙස උපාධිය සලකා නොබලන නමුත් උපාධියක් සහිතව රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල දැනටමත් ඇතුළත් වී සිටින නිලධාරින් හා රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටින උපාධිධාරින් ආශ්‍රිතව පවතින ගැටලු හඳුනාගැනීම හා නිරාකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 1994 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අවස්ථා 07කදී විවිධ යෝජනා ක්‍රම මඟින් රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරින් ඇතුළුව මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ උපාධිධාරින් 150,000කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටී.

සංවර්ධන නිලධාරින්ගේ හා ආශ්‍රිත සේවා ගණයන්හි සේවය කරන නිලධාරින්ගේ නිපුණතා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගයීමක් සිදු නොකර රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කර තිබේ. ඔවුන්ට සේවාරම්භක හා සේවාස්ථ පුහුණු නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් හා විධිමත් පරිදි තනතුරට අදාළ කාර්යයන් සහ වගකීම් පැවරීම සිදු නොකිරීම හේතුවෙන් එම නිලධාරින් වෙතින් අපේක්ෂිත කාර්යසාධනය ළඟා කර ගැනීමට නොහැකි වී ඇත.

එසේම, සංවර්ධන නිලධාරින් 15,800කට අධික සංඛ්‍යාවක් ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල ඉගැන්වීම්වල නිරතව සිටින අතර, ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ. ඒ අනුව, සංවර්ධන නිලධාරින්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන, එම ගැටලු විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් අමාත්‍යවරුන්/නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහාය වීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

අමාත්‍ය කමිටුව:

* ගරු අග්‍රාමාත්‍යතුමිය - (සභාපති).

* ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා

* ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා.

* ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා.

* ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා.

නිලධාරි කමිටුව:

* අග්‍රාමාත්‍ය ලේකම් - (සභාපති)

* ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

* ලේකම්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

* ලේකම්, මුදල් කොමිෂන් සභාව

* ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්

* ආයතන අධ්‍යක්ෂ ජනරාල්

* අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

* ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්