සමාජ මාධ්‍ය ගිනුමේ අදහස් දැක්වීමෙන් ගුරුවරියකගෙන් නිදහසට කරුණු විමසයි - ලංකා ගුරු සංගමය

Ceylon-Teachers-Union

සමාජ මාධ්‍ය තුළ අදහස් දැක්වීම පිළිබඳව මහ/විද්‍යාර්ථ විද්‍යාලයේ ගුරුවරියක වන තිලිණි ෂැල්වින් මහත්මියට එරෙහි මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින්  ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීමට පිළිබඳව, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ, ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ලංකා ගුරු සංගමය කියා සිටින්නේ එය අනීතික නියෝගයක් බවයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ බී.ජී.එන්.කේ. සෙනරත් මහත්මියගේ අත්සනින් යුතු මප/අධ්‍යා/වි/02/613 අංකයෙන් හා 2024.12.03 දිනැති ලිපියෙන් මහ/විද්‍යාර්ථ විද්‍යාලයේ සේවය කරන ගුරු සේවයේ නිලධාරිණියක වන  තිලිණි ෂැල්වින් මහත්මිය මූලික විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2024.12.09 දින මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

එහිදී තිළිණි ෂැල්වින් මහත්මියගෙන් ප්‍රකාශය ලබාගෙන තිබුණේ සතියේ දිනවල ගුරුවරුන් සඳහා පුහුණු සැසි පැවැත්වීම මැයෙන් මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම් එච්.එම්.එම්.යූ.බී. හේරත් මහතාගේ අත්සනින් යුතු සීපීසී/සීඑම්එස්/1/2/1/12 අංකයෙන් හා 2024.08.14 දිනැති ලිපියේ කරුණු හා ලංකා ගුරු සංගමය විසින් ‘ගුරුවරුන් සඳහා පුහුණු සැසි සතිඅන්ත දිනවල හෝ පාසල් නිවාඩු කාලයේ පැවැත්වීමට නියෝග කිරීම පිළිබඳව’ මැයෙන් 2024.08.22 දිනැතිව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් වෙත යොමු කළ ලිපියේ සඳහන් කරුණු ඇතුළත් අදහස් පළ කිරීමක් ඇගේ facebook සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීම සම්බන්ධයෙනි.

තිළිණි ෂැල්වින් මහත්මිය තම වෘත්තීය සමිතිය මගින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක ලෙස අදහස් දැක්වීම හේතු කොටගෙන එම ගුරුවරියට එරෙහිව මූලික විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබා ගැනීම ඇගේ භාෂණයේ නිදහස බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම් විසින් මධ්‍යම පළාතේ ගුරුවරු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 24 වන්තියෙහි සඳහන් විධිවිධාන උල්ලංඝණය වන ආකාරයෙන් අනීතික නියෝගයක් නිකුත් කිරීම හා ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය කරන ලද මැදිහත්වීම පිළිබඳව ඇය අදාළ සමාජ මාධ්‍ය අදහස් දැක්වීම කර තිබුණි. ලංකා ගුරු සංගමය මගින් එම නියෝගය අනීතික  බව පෙන්වාදීමෙන් අනතුරුව එච්.එම්.එම්.යූ.බී. හේරත් මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම්වරයා විසින් එම අනීතික නියෝගය අත්හිටුවන ලදී. එසේ තිබියදී එම නියෝගය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම මත තිලිණි ෂැල්වින් ගුරු මහත්මියට විමර්ශනයක් සිදුකිරීම කනගාටුදායක තත්වයකි.

මෙම තත්වය තුළ තිලිණි ෂැල්වින් මහත්මිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනය වහා නතර කරන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොවන්නේ නම් ඇගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට ද අප පසුබට නොවන බව ඔබතුමාට පෙන්වා දෙමු. මීට පෙර කොළඹ මහානාම විදුහලේ සමන්ති පැලකැටිය ගුරු මහත්මිය ලංකා ගුරු සංගම් කාර්යාලයේ සිට මාධ්‍යයට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගත් විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් SCFR 96/2012 අංකයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට ලංකා ගුරු සංගමය පියවර ගත් බව ද ඔබතුමා වෙත සිහිපත් කරමු.