වික්ටර් අයිවන් - සටන් සගය ඔබට සුබ ගමන් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

victor-ivan-fmm

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජික මෙන්ම ලේකම්වරයෙක් හා කැඳවුම්කරුවෙකුද විය. ඔහු රාවය සඟරාව ආරම්භ කරමින් හා පසුව එය පුවත්පතක් බවට පරිවර්ථනය කරමින් ලාංකීය පුවත්පත් කලාවෙහි දැවැන්ත විපරිවර්ථනයක්ද විකල්ප මාධ්‍ය කලාවක්ද සටහන් කළ විසල් මිනිසෙකුගේ නික්ම යෑම සැළවීම අපගේ බලවත් සංවේගයට හේතුවකි.

ඔහු ආරම්භ කළ රාවය  සඟරාව හා පුවත්පත මුල සිටම සමාජ ශෝධනය හා යහපත් දේශපාලන සංස්කෘතියක් ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි අතර ගවේෂණාත්මක මාධ්‍යකරණය විෂයයෙහි පෙරළිකාර භූමිකාවක් නිරූපණය කරන ලද්දේ වික්ටර් අයිවන්ගේ නායකත්වය තුළ බව අපගේ විශ්වාසයයි.

මෙරට අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා දූෂිත විනිසුරුවන්ද, ජරාජීර්ණව පැවති යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයද සමගින් එළිපිට ගැටෙමින් ඔහු කළ මෙහෙවර පමණක් වුව ශ්‍රී ලාංකීය මාධ්‍ය වංශකථාවේ නොමැකෙන සළකුණක් ලෙස වික්ටර් අයිවන් නම සඳහන් වීමට ප්‍රමාණවත් බව අපි පිළිගනිමු. ඔහු අධිකරණයේ වැරදි අධිකරණය හමුවේම පෙන්වා දීමටද ඒවාට එරෙහිව අභියෝග කිරීමටද නොබියව ඉදිරිපත් විය.

පුවත්පත් කලාවට  පිවිසීමට ආධුනිකයන්ට ඉඩහසර සළසමින් ඍජු හා අදීන මාධ්‍යකරුවන් පිරිසක් නිර්මාණය කිරීමට ජීවය දුන් වික්ටර් අයිවන් සිය පුවත්පත මෙහෙයවමින් අවශ්‍යම අවස්ථාවේ සමාජය ආමන්ත්‍රණය කරමින් දේශපාලන ප්‍රතිසංස්කරණ හා බලපෙරළිවලට දායක වූ අන්දමද අමතක කළ නොහැකිය. 1994දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද දායක වූ දේශපාලන පෙරළිය එවැන්නකි.

ප්‍රකාශනයේ නිදහස, තොරතුරු අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෑමවිටම පෙනී සිටි වික්ටර් අයිවන් ඒ උදෙසා ප්‍රමුඛ මග පෙන්වන්නෙකු ලෙස ගෞරවයට පාත්‍ර විය යුතුය.

පුවත්පත් කතුවර භූමිකාව විචිත්‍රව හසුරුවමින් සිය අනන්‍යතාව ආරක්ෂා කරගත් සහෝදර සටන්කරුව ඔබට සුවදායි අවසන් ගමනක්.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය