නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම සැකකරුවන් නිදහස් කිරීම පමණකින් නොනැවතී ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන ලෙසත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ අත්සනින් නිකුත්ව ඇති ලිපිය සම්බන්ධයෙන් බරපතල සැකයක්ද අපට මතුව තිබේ.
ඒ කාලයක් මුළුල්ලේ ආණ්ඩු හැසිරවූ යටි ආණ්ඩු නැවතවරක් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත්ද යන බරපතල සැකය නිසාය.
එසේම මෙය නිදහස්, සත්‍යවාදී මාධ්‍යවේදීට සිදු කළ අනතුරු ඇඟවීමක්ද යන්න පිළිබඳව ද මේ නීතිපති තීන්දුවත් සමඟ නැවත සිතා බැලීමට සිදුව තිබේ.
ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජනබලවේගය කියා තිබුනේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සිවරාම් ඇතුලුව ඝාතන 7 ක් පිළිදව කඩිනම් පරික්ෂණ සිදු කරණ බවය.
එවැනි ප්‍රකාශිත පසුබිමක් තිබියදී නීතිපතිවරයාගේ මේ අත්තනොමතික ක්‍රියාව සම්බන්ධයෙන්ද සොයා බැලීමට කිට්ටුවෙන් නිරීක්ෂණය කිරීමට ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුවේ මූලිකයන් ඇතුළු එහි සාමාජිකයන්ට වගකීමක් වගවීමක් ඇතැයි අපි මතක්කර දෙන්නෙමු.
ජනවාරි 24 වෙනිදා වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයද ඇතුළුව උතුරේ දකුණේ සහ නැගෙනහිර මාධ්‍ය සංවිධාන ගණනාවක් එක්ව ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් ත්‍රිකුණාමලයේදි පැවැති විරෝධතාවයකින් අනතුරුව නැගෙනහිර ආණ්ඩුකාරවරයා හරහා ජනපතිට යැවු ලිපියේදිද ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය සේවකයන්ට හට යුක්තිය ඉටුකරන ලෙස සහෝදර මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ අපද ඉල්ලා සිටියෙමු.
පහත සඳහන් කුණු අප එම ලිපියෙන් අවධාරනය කළෙමු.
1. ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම සඳහා කැපවූ විමර්ශන කොමිසමක් පත් කරන්න.
2. උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 කට අධික සංඛ්‍යාවකගේ ඝාතනවලට වගකිව යුතු අය මෙන්ම මාධ්‍ය ආයතනවලට පහර දුන් අය අත්අඩංගුවට ගෙන නඩු පවරන්න.
3. පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කළ මාධ්‍යවේදීන් පිළිබඳ සත්‍යය අනාවරණය කර ගැනීම සහ මෙම ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජය වගකිව යුතු බවට පත් කිරීම.
4. ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට අන්තර්කාලීන වන්දි ලබා දීම.
5. රටේ සියලුම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ නිදහස සහතික කිරීම.
6. අපරාධකරුවන් වගකිව යුතු බවට පත් කිරීමෙන් නිදහස් මාධ්‍යයක ක්‍රියාකාරිත්වයට බාධා කරන දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කරන්න.
පසුගිය දා සිරස මාධ්‍ය ආයතනයේ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ගේ පරික්ෂණ ගැන මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට ජනපතිවරයා දුන් පිළිතුරුවලින් එම ඝාතනවලට යුක්තිය ඉටුවෙතෙයි බලාපොරොත්තු දල්වාගෙන සිටි පිරිසගේ බලාපොරොත්තු පසුබෑමකට ලක්කළේය.
වසර ගණනක් පුරා යුක්තිය ඉටුවිය යුතු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් කිසිදු කැපකිරීමක් නොකොට හිටපු රජයන් සිදුකළා මෙන්ම මේ රජයද කටයුතු නොකරනු ඇතැයි අතිමහත් ජනතාවක් මෙන්ම ඉන් බැටකෑ පිරිස් රජය කෙරෙහි තැබූ විශ්වාසයද මින් පළුදු වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වචන වලට සීමා නොවුන සැබෑවක් වීමට නම් අතුරුදහන්කරවීම් මෙන්ම නීති විරෝධී ලෙස මරාදැමූවන්ට යුක්තිය ඉටුකළ යුතු බව අප අවධාරණය කරන්නෙමු.
එසේම එම අභියෝගයන් ජය ගැනීමට නම් ජනතාවාදී රජයක් ලෙස දැඩී කැපවිමක් තිබිය යුතු බව ද අප විශ්වාස කරමු.