ලසන්ත ඝාතනය, නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

lasantha-wickramathunge

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් මතුකර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාව හමුවේ තබන ලද පොරොන්දු අතර මේ බිහිසුණු අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට යුක්තිය ඉටු කිරීමද මූලික කරුණක් ලෙස සඳහන් විය. ලසන්ත ඝාතනය සිහිපත් කෙරෙන ජනවාරි 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සපථ කරනු ලැබුවේද මේ අපරාධවලට යුක්තිය ඉටු කරනු ලබන බවයි.

එවැනි පසුබිමක පාරින්ද රණසිංහ නීතිපතිවරයා පත්කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යැයි කියා ඇඟ බේරා ගැනීමේ හැකියාවක් වගකිව යුතු ආණ්ඩුවකට තිබිය නොහැක.

ශ්‍රී ලංකාව තුළ අපරාධකරුවන්ට නිදහස හිමිවන දණ්ඩ මුක්තියක් නෛතිකව ක්‍රියාත්මක වන්නේ නැතත් මෙවැනි පියවර මගින් එවැන්නකට නීතිමය පසුබිමක් ලබාදෙන බව අපගේ නිරීක්ෂණයයි.

එබැවින් අප දකින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකද ඔහුගේ රජයද මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වී පියවර ගත යුතු බවයි.

නැතහොත්, යුක්තිය අපේක්ෂා කරන සියළු පාර්ශ්ව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව එකම පෙරමුණකට ගොනු වීම වැළැක්විය නොහැකි බවද ජනතාව දේශපාලන බලය ලබාදීමේදී අපේක්ෂා කරන ලද සුජාත භාවය පිළිඹිබු කිරීමට ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයා වගබලා ගතයුතු බවද අපි නැවත නැවතත් සිහිපත් කරන්නෙමු.