ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් ජනවාරි මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලෙස නියෝග කෙරිණි.
එම නියෝගයට අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති රැසක් අත්හිටුවා තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID විසින් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් රැසක් ද මේ වන විට අක්‍රීය කර තිබේ.
USAID යනු කුමක් ද?
පළමු සහ දෙවන ලෝක යුද්ධවලින් විනාශයට පත්වූ යුරෝපය ඇතුළු රටවල් නගා සිටුවීම සඳහා ඇමෙරිකාව ආධාර ලබා දුන්නේ ය.
කෙසේ වුව ද, සමාජ හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ රටවල් වෙනුවෙන් ආධාර ලබාදීම සහ ඒවා පරිපාලනය කිරීමේ වගකීම තනි ආයතනයකට පැවරීම සඳහා එවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයාව සිටි ජෝන් එෆ්. කෙනඩි විසින් අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව 1961 නොවැම්බර් 3 වන දින USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය පිහිටවනු ලැබිණි.
| මෙරට කෘෂි කාර්මික වැඩසටහන් වෙනුවෙන් USAID දායකත්වය ලබා දෙන ලදී.ඡායාරූප මූලාශ්‍රය,USAID
ශ්‍රී ලංකාව තුළ USAID ව්‍යාපෘති ආරම්භය
1961 වසරේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තාක්ෂණික පුහුණුව, කෘෂිකාර්මික සහ ජීවනෝපාය සංවර්ධනය, පරිසරය සහ ස්වභාවික සම්පත් කළමනාකරණය, පළාත් පාලනය, මානුෂීය ආධාර සහ සංක්‍රාන්ති මුලපිරීම් වැනි ක්ෂේත්‍රවල ඇමෙරිකාවේ සහය දක්වන වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවේ දක්වා ඇති ආකාරයට එම වැඩසටහන විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එහි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 350ක් (දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක්) පිරිනමා තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය මෙරට රජයේ මෙන් ම රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍ය ආධාර සැපයීම සිදු කළේ ය.
'අකමැත්තෙන් වුණත් සමුදෙන්න සිද්ධ වුණා'
මෙරට සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන සංක්‍රාන්ති පදනමේ සභාපතිනි භුමි හරේන්ද්‍රන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ආධාර අත්හිටුවීම හේතුවෙන් සිය ව්‍යාපෘතිවල කටයුතු කළ ඇතැම් පුද්ගලයින්ට අකමැත්තෙන් වුව ද සමුදීමට සිදුවූ බව ය.
''ඕනෑ ම වැඩක් කරන්න අරමුදල් අවශ්‍ය යි. මේ වෙලාවේ හැටියට ප්‍රජාවකට අපි සපයන් හිටපු සේවාවන් අඩාළ වෙලා තියෙනවා. අපිත් එක්ක වැඩ කරපු සමහර අයට අකමැත්තෙන් වුණත් සමුදෙන්න සිදුවෙලා තියෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය එක්ක.''
''අපි ලංකාවේ සංක්‍රාන්ති සමාජයේ සිටින පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න ව්‍යාපෘති ගණනාවක් සිදුකරනවා. මොක ද ඒ පුද්ගලයින් වෙනුවෙන් සමාජයේ වෙන කොහෙන්වත් කිසිම වැඩපිළිවළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
සංක්‍රාන්තික සමාජයේ සිටින පිරිස් සඳහා දැනුම බෙදා දීම, පුර්ව සංක්‍රාන්තික පසුබිමේ ඉන්න අයට අවශ්‍ය මග පෙන්වීම සහ සහයෝගය වගේ ම වැඩිහිටි සංක්‍රාන්තිකයින්ට අවශ්‍ය උපකාර අපේ ආයතනය විසින් ලබා දෙන සේවාවන්වලට ඇතුළත්. අපි දීපව්‍යාප්තව මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවලා තිබුණා, ඒ වැඩකටයුතුවලට මේ ඇති වෙලා තියෙන තත්ත්වය එක්ක බාධාවක් එල්ල වෙලා තියෙනවා," ඇය පැවසුවා ය.
| ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ජීවනාලිය නගා සිටුවීම වෙනුවෙන් USAID ආයතනය ආධාර ලබා දෙයිඡායාරූප මූලාශ්‍රය,USAID Sri Lanka Facebook
'විශාල පිරිසකගේ රැකියා අනතුරේ'
නීතිය සහ සමාජ භාරයේ වැඩසටහන් අධ්‍යක්ෂක සඳුන් තුඩුගල බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් මෙරට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා අරමුදල් අත්හිටුවීම නිසා එම ව්‍යාපෘතිවල සේවය කරන පුද්ගලයින්ගේ රැකියා පවා අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇති බව ය.
''මේ වෙන කොට ඇමෙරිකාව USAID එක විතරක් නෙමෙයි තවත් අංශ කිහිපයකින් ආධාර සැපයීම සිදුකරනවා විදේශ රටවල්වලට. ශ්‍රී ලංකාව වෙනුවෙන් USAID ආයතනය රාජ්‍ය අංශය වගේ ම පෞද්ගලික රාජ්‍ය නොවන සංවිධාන හරහාත් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් සැපයීම සිදුකළා. නමුත් රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් හිටියා ඍජුව හෝ වක්‍ර විදිහට අරමුදල් අරන් සේවා සැපයීම සිදුකරනු ලැබුවා.''
''ඒ අතර මානව හිමිකම් වෙන්න පුළුවන්, ජීවනෝපයන් සංවර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු විශාල වපසරියක් වෙනුවෙන් අරමුදල් සැපයීම සිදුකළා USAID ආයතනය.''
''ඉතින් මේ වෙලාවේ තියෙන තොරතුරු අනුව දින 90කට අරමුදල් ලබා දීම නතර කරලා තියෙන්නේ. අඩු ම තරමින් USAID එකේ ඔන්ලයින් පොර්ට්ල් එක පවා නතර කරලා තියෙන්නේ. මේ නිසා විශාල අවිනිශ්චිතභාවයක් තියෙන්නේ. විශේෂයෙන් ම මේ ව්‍යාපෘතිවල දහසකට අධික සංඛ්‍යාවක් රැකියාවල නිරත වුණා. ආරම්භ කරපු වැඩ කරපු ව්‍යපෘති ගණනාවක් තියෙනවා ප්‍රජාවන් එක්ක සෘජුව සම්බන්ධ වෙලා. ඒවයේ වැඩ කරන අයට මොකක් වෙයි ද කියන එක ගැනවත් හරියට කියන්න බැහැ දැන් මේ තියෙන තත්ත්වය එක්ක. මේ නිසා ඒ ව්‍යපෘතිවලට වගේ ම රැකියාවලටත් සෘජුව ම බලපාන්න පුළුවන්.''
''නව ආණ්ඩුවක් බලයට පත්වීමත් එක්ක නව නීති සම්පාදනය කිරීම ඇතුළු කටයුතුවලදී රාජ්‍ය නොවන සංවිධානවලට ඒ හා සම්බන්ධව කටයුතු කරන්න දැන් හැකියාවක් නැහැ,'' ඔහු පැවසුවේ ය.
| ප්‍රථමාධාර ලබාදීමේ පුහුණු වැඩසටහනක් අතර වාරයේදී ඡායාරූප මූලාශ්‍රය,USAID Sri Lanka Facebook
'ග්‍රාමීය මට්ටමට විශාල බලපෑමක් එල්ල වේවි'
ඇමෙරිකාව විසින් විදේශ රටවලට ලබා දෙනු ලබන ආධාර අත්හිටුවීමත් සමග මෙරට ග්‍රාමීය මට්ටමේ ජනතාවට එයින් ඇති වන බලපෑම විශාල බව වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.
''මේ පාරත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වීමත් එක්ක සිදුකරන සමාජීය සහ ආර්ථික පරිවර්තනයන් ගැන හැමෝගෙ ම අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් රිපබ්ලිකන් අපේක්ෂකයෙක් ජනාධිපති වුණා ම තමන්ගේ රට පළමු කොට හිතනවා කියලා. ඒ නිසා කැනඩාව, චීනය, මෙක්සිකෝව වගේ රටවල්වලට තීරු බදු පැනවීම පවා සිදුකරලා තියෙනවා.''
''ඒ වගේ ම ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා අනෙක් පැත්තෙන් කියනවා තමන්ගේ රටින් අනික් රටවලට කරපු ආධාරවල කපා හැරීමක් කරන්න කියලා. මේක තමයි තමන්ගේ රට ගැන හිතනකොට තමන්ගේ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩු කරන්න ගන්නා උපාය මාර්ග.''
''අවසානයේදී ලංකාව වගේ රටකට ඒක බලපාන ආකාරය ගැන බැලුවොත්, පවතින ආර්ථික අර්බුදයත් එක්ක අපි විශාල වශයෙන් විදේශ රටවල්වලින් ආධාර උපකාර බලාපොරොත්තු වුණා. USAID වැනි ආයතන හරහා ඇමෙරිකාව ලංකාවට විශාල වශයෙන් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ආධාර ලබා දීම සිදුකර තියෙනවා. ඒ හරහා යුද්ධයෙන් පස්සේ සිදුකරපු සංවර්ධන ක්‍රියාවලීන්, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම වගේ වැඩකටයුතු රැසක් මේ හරහා සිද්ධ වුණා.''
''ඒ වගේ ම රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සහ රාජ්‍ය අංශය හා සම්බන්ධ ව්‍යපෘතිවලටත් ඇමෙරිකාවෙන් ආධාර ලැබුණා, USAID ඇතුළු විවිධ ආයතන හරහා. දැන් නව ජනාධිපතිවරයාගේ මේ තීරණයත් එක්ක ලංකාවට විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මේක ලංකාවට විතරක් නෙමෙයි ඇමෙරිකාව හරහා ආධාර ලබා ගත්ත රටවල් රැසකට මේ තත්ත්වය බලපානවා.''
''රාජ්‍ය නොවන සංවිධාන ගැන අපේ බහුතරයකට තිබ්බේ ඍණ ආකල්පයක්. නමුත් මේ සංවිධාන යුද්ධයෙන් පස්සේ ග්‍රාමීය මට්ටමෙන් සිදුකරපු දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් වගේ ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න විශාල වැඩකොටසක් කළා. පවතින අලුත් තත්ත්වය එක්ක ඒ වැඩසටහන් නතර වෙන නිසා ඒකේ බලපෑම ලොකුවට දැනේවි," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
| දිනුක් හේවාවිතාරණ
බීබීසී සිංහල