OSA ඇතුළු ඩිජිටල්කරණයේ ව්‍යාපෘති තුන ගැන විනිවිදභාවයක් අවශ්‍යයි - සමජ සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වන සාමූහිකය

akd-smd

ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් පැහැදිලි බවක් නොමැතිවීම පිළිබඳ දැඩි ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන්, අදහස් ලබා ගැනීමේ නිශ්චිත ක්‍රම ස්ථාපිත කිරීම, විශේෂඥයින්ගෙන් අදහස් ලබා ගැනීම, සහ සියලුම ප්‍රතිපත්ති තීරණ ප්‍රමාද නොවී විනිවිදභායකින් සහ වගකීම් සහිතව ශ්‍රී ලංකාවේ ජනතාවට සන්නිවේදනය කිරීම තහවුරු කිරීම කරන ලෙස සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වන සාමූහිකය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපිය පහත දැක්වේ.

ගරු ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය,

ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.

2025 ජනවාරි 29

ගරු ජනාධිපතිතුමනි,

ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් පැහැදිලි බවක් නොමැතිවීම පිළිබඳ දැඩි ගැටළුකාරී තත්වය සම්බන්ධයෙනි,

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඉක්මන් අවධානයක් සහ වැඩි විනිවිදභායක් අවශ්‍ය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආණ්ඩුකරණය පිළිබඳව අපගේ දැඩි අවධානයට ලක්වූ අංශ තුනකට අදාළ සුවිශේෂී ගැටලු සම්බන්ධයෙන් අපි සංවිධාන එකතුවක් ලෙස මෙම ලිපිය ඔබතුමා වෙත ඉදිරිපත් කරමු.

පළමුව, 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත (OSA) සඳහා සිදු කිරීමට යෝජිත සංශෝධන පිළිබඳව ප්‍රසිද්ධ අනාවරණයක්/ විනිවිදභාවයක් නොමැති වීම පිළිබඳව සැලකිය යුතු ගැටලුවක් පවතී. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා සැලසුම් කර ඇති බව දක්වා ඇති නමුත්, මෙම සංශෝධන කවුරුන් විසින්, කෙසේ සකස් කර ඇතිද, කුමන විශේෂිත සංශෝධන සලකා බලමින් පවතී ද, සහ විශේෂයෙන් එයට මානව හිමිකම් ප්‍රමිතීන් පදනම් කර ඇතිද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි බවක් නොමැත. එසේම පුළුල් ලෙස විවේචනයට ලක්වූ එම පනතට, සියලු පාර්ශවයන් (ඉතිහාසයේ ප්‍රථම වතාවට) විරුද්ධ වූ අතර, එම පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 54 ක් ගොනු කරන ලදී. එම නිසා, ඕනෑම නව සංශෝධනයක් මහජන සුපරික්ෂාවට, උපදේශනයට, සහ අන්තර්ජාලය තුළ සිදුවන හානි නියාමනය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ දායකත්වයට භාජනය විය යුතුය.

දෙවනුව, යෝජනා වී ඇති e-NIC ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැහැදිලි උපායමාර්ගික සන්නිවේදනයක් සහ ලේඛනගත කිරීමක් නොමැති වීම හේතුවෙන් බරපතල ගැටලු මතු වී ඇත. ජෛවමිතික දත්ත ආරක්ෂා කිරීම සඳහා තාක්‍ෂණික ආරක්ෂණ පියවර, පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) සමඟ අනුකූල වීමේ රාමු, සහ බාහිර වෙළඳ සමාගම් සමඟ සම්බන්ධතා පාලනය කරන නිශ්චිත නීතිමය යාන්ත්‍රණ පිළිබඳව කිසිදු විනිවිදභාවයක් නොමැත. මෙසේ තොරතුරු රික්තයක් පැවතීම හේතුවෙන් දැනටමත් ඒ පිළිබදව අනුමානයන් සහ ව්‍යාජ තොරතුරු පැතිරීමට ඉඩ සැලසී ඇත. ඒ හරහා මෙම තීරණාත්මක ජාතික යටිතල පහසුකම් ව්‍යාපෘතිය පිළිබඳව 'මහජන විශ්වාසය' අඩපණ වීමට ඉඩ ඇත.

තෙවනුව, ඔබගේ බීජිං චාරිකාව අතරතුර චීනයේ විකාශන සහ තොරතුරු දෙපාර්තමේන්තුව සමඟ අත්සන් කරන ලද ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට (රාජ්‍ය) අදාළ ගිවිසුම් පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. BBC සිංහල සේවය වාර්තා කරන පරිදි චීන රාජ්‍ය මාධ්‍ය ආයතන සමඟ වෙනම ගිවිසුම් 6ක් අත්සන් කර ඇති නමුත්, ඒවායේ අන්තර්ගතයන් තවමත් හෙළිදරව් කර නැත.  මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ රටවල් 180ක් අතරින් චීනය 172 වැනි ස්ථානයේ පසුවීමත්, මාධ්‍ය අන්තර්ගත රාජ්‍ය විසින් පාලනය කිරීමට ලක්වීම පිළිබඳ වාර්තාත් සැළකිල්ලට ගත් විට මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සහ මාධ්‍ය නිදහස සහතික කිරීම සමඟ - විශේෂයෙන් සමාජ මාධ්‍ය කෙරෙහි චීනය සක්‍රීය ලෙස බලපෑම් කිරීමේ සන්දර්භය තුළ - කොතෙක් දුරට ගැලපෙන්නේ දැයි සහතික කිරීම සඳහා පරිපූර්ණ විවෘතභාවයක් සහ මහජන සංවාදයක් අත්‍යවශ්‍ය බව අපගේ විශ්වාසයයි.

ගරු, ජනාධිපතිතුමනි, ඔබගේ ආණ්ඩුව බලයට පත් වූයේ රාජ්‍ය පාලනය පිළිබඳව වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරන බවට පොරොන්දු වෙමිනි. කෙසේ වෙතත්, මෙම අවස්ථා තුන පිළිබදව ප්‍රමාණවත් මහජන සාකච්ඡාවක්  සහ විනිවිදභාවයක් නොමැතිව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උත්සහය, මීට පෙර ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය සමග සමානකමක්  පෙන්නුම් කරයි. ආණ්ඩුව දැනටමත් දන්නා පරිදි, හොඳ ප්‍රතිපත්ති පමණක් නොව, පැහැදිලි සන්නිවේදනය, මහජන වගකීම්, ප්‍රතිපත්ති සැකසීමේ ක්‍රියාවලියේ විනිවිදභාවයක් සහ අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් නිර්මාණය කරයි. අපි ඉල්ලා සිටින්නේ ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළුව අපගේ දේශපාලන සංස්කෘතියේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ වෙනසක් කරන බවට දෙන ලද පොරොන්දු ඉටු කරන ලෙස පමණි.

මෙම අදාළ ගැටලු විසඳීම සඳහා අදාළ ලේඛන වහාම ප්‍රසිද්ධ කිරීම, අදහස් ලබා ගැනීමේ නිශ්චිත ක්‍රම ස්ථාපිත කිරීම, විශේෂඥයින්ගෙන් අදහස් ලබා ගැනීම, සහ සියලුම ප්‍රතිපත්ති තීරණ ප්‍රමාද නොවී විනිවිදභායකින් සහ වගකීම් සහිතව ශ්‍රී ලංකාවේ ජනතාවට සන්නිවේදනය කිරීම තහවුරු කිරීම කරන ලෙස අපි ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ගරු ජනාධිපතිතුමනි, මේ සදහා ඔබගේ දැඩි අවධානය යොමුකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වන සාමූහිකය වෙනුවෙන්

සම්පත් සමරකෝන්(කැදවුම්කරු)

අත්සන් කළේ,

ActNow Youth Campaign | Best Vision foundation | Centre for Policy Alternatives (CPA) | Eastern Province Journalist’s forum | groundviews.org | Human Elevation Organization (HEO) | Internet Media Action (IMA) | Jaffna Press Club | Low & Society Trust (LST) | minormatters.org | maatram.org | Movement for Land and Agricultural Reform (MONLAR) | National Collaboration Development Foundation (NCDF) | SARVODAYA Shramadana Movement | Sri Lanka Muslim Media Forum              Sri Lanka Working Journalists Association (SLWJA) | vikalpa.org | Wedabima Media collective  

(CC)

Mr. Nalinda Jayatissa , Minister of Mass Media

Mr. Sajith Premadasa, Leader of the Opposition in Parliament

All Members of Parliament

All Media Institution