සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් සාවද්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

mahinda-jayasinghe

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් (06) දින පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් සේවක අර්ථසාධක අරමුදල  සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසක් වැරදි ලෙස අර්ථකථනය කරමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඕෂණී උමන්ගා හපුආරච්චි මහත්මිය විසින්, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන අරමුදල් දෙකේ කාර්යභාරය සම්බන්ධයෙන් සිය ප්‍රශ්නය සහ අතුරු ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණි.

 ඒ පිළිබඳව පිළිතුරු ලබා දෙමින්, අදාළ අරමුදල් දෙක වෙන් වෙන් වූ අරමුණු දෙකක් සඳහා ක්‍රියාත්මක වන බවත්, ඉන් සේවක අර්ථසාධක අරමුදල මූලික වශයෙන් සමාජ ආරක්ෂණ අරමුණ ඉටු කිරීම සඳහා පවතින බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

තවද, සේවක අර්ථසාධක අරමුදලේ ඇතැම් සාමාජිකයින් විසින් විවිධ අවස්ථාවල ප්‍රතිලාභ ලබා ගැනීම හේතුවෙන්, එම අරමුදල මඟින් අපේක්ෂිත සම්පූර්ණ සමාජ ආරක්ෂණ අරමුණ ඉටු නොවන අවස්ථා පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, සේවකයින් සේවයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේදී රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමයට සමාන ක්‍රමවේදයක් පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍යවල පළ වී ඇති වාර්තා කිහිපයක් නිවැරදි නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන්නේ රජය, වෘත්තීය සමිති සහ ලංකා හාම්පුතුන්ගේ සංගමය යන ත්‍රෛපාර්ශවීය නියෝජනයක් පවතින ජාතික කම්කරු උපදේශක සභාව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද ඒ මහතා සඳහන් කළේය.