යහපත් වැඩ පරිසරයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව (08) දින සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කළේය.
ඒ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර සේවා ස්ථානයක් සඳහා වූ අංක 190 සම්මුතිය අනුමත කිරීමත් සමගයි.
එම අනුමත කිරීමේ සාධන පත්‍රය විධිමත් ලෙස භාර දීමේ උත්සවය කම්කරු අමාත්‍යංශයේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එය පිළිගන්වනු ලැබුවේ ලෝක කම්කරු සංවිධානයේ මෙරට කාර්‍යාලයේ අධ්‍යක්ෂිකා ජොනි සිම්සන් මෙනෙවිය වෙතයි.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ඇතුලු සියලු ආකාරයේ ක්‍රියාවන් වලින් තොරව ජීවත් වීමට හා සේවය කිරීමට පවතින අයිතිය අංක 190 දරන කම්කරු සම්මුතියෙන් තහවුරු කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව විසින් මෙම සම්මුතිය අනුමත කිරීමත් සමග මෙරට කම්කරු අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් වනු ඇති.
එමෙන්ම මෙම සම්මුතිය අපරානුමත කළ දකුණු ආසියාවේ දෙවැනි රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් වනවා.
සබැඳි පුවත්
උත්සව සභාව අමතමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ කම්කරු අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙම සම්මුතිය හඳුන්වා දිය හැකි බවයි.
එමෙන්ම සේවායෝජකයන්ගේ මෙන්ම සේවා නියුක්තිකයන්ගේ සහායද ඇතිව කාර්මික සාමය ශක්තිමත් කරමින් නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අභිලාෂය වන බවද ඒ මහතා පෙන්වා දුන්නා.
මෙම අවස්ථාවට ලෝක කම්කරු සංවිධානයේ තවත් නියෝජිතයින් පිරිසක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මෙන්ම මෙන්ම කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, නිදහස් සේවක සංගමයේ මහ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ලංකා හාම්පුතුන්ගේ සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අධිල් ඛාසිම් ආදී මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.


