පසු ප්‍රසව විෂාදය: අලුත් මව අත් නොහරින්න

පසු ප්‍රසව විෂාදය: අලුත් මව අත් නොහරින්න

දරුවෙකු ඉපදීම පවුලකට මංගල කාරණයකි. අලුත් දරුවා එනතෙක් බලා සිටි දෙමාපියෝ, මුත්තණු මිත්තණියෝ, ඥාති මිත්‍රාදීහු මහත් ආදරයෙන්, උනන්දුවෙන්, කරුණාවෙන් දරුවා පිළිගනිති.

නමුත්, මෙතැන දී ඔවුන්ගෙන් බොහෝවිට සිදුවන අතපසුවීමක් වෙයි. දරුවා ගැන පමණක් සැළකිලිමත්වන බොහෝදෙනාගේ අවධානයෙන් ඒ දරුවාට උපත දුන් මව ගිලිහී යයි.

මවක් ඇගේ ළදරුවා ඝාතනය කළ සිදුවීම්, දරුවා ඝාතනයකර ඈ ද සියදිවි නසාගත් සිදුවීම් අපට ඉඳහිට අසන්නට ලැබෙයි.

දරුවන් ඝාතනය කරන තරමට දුරදිග නොගිය ද, දරු උපතෙන් පසු මානසික වේදනාවෙන්, පීඩාවෙන් හා බියෙන් ජීවත්වෙන, තම දරුවා වඩාගැනීම පවා ප්‍රතික්ෂේප කරන මවුවරු ද ඉඳහිට වෙති.

මෙවැනි සිද්ධි ගැන අසනා වැඩිදෙනා බොහෝ විස්සෝප වී, අදාළ මව කෙරෙහි ද ක්‍රෝධයක් ඇතිකර ගන්නා අවස්ථා බහුල ය. නමුත් මේ බොහෝ සිද්ධීන්ට හේතුවන්නේ මවට වැළඳී ඇති පසු ප්‍රසව විෂාද තත්ත්වය විය හැකිබව ඔබ දැන සිටියා ද?

පසු ප්‍රසව විෂාදය යනු, දරු උපතට පෙර හෝ පසු සමයේ දී ඕනෑම මවකට ඇතිවිය හැකි විෂාද තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ මව්වරුන්ගෙන් 10%කට පමණම මෙම රෝග තත්ත්වය ඇතිවනබව පැවසෙන අතර, ඇතැම් පර්යේෂණවලට අනුව මෙම අගය 15%ක් පමණ වෙයි.

එනිසා, ගර්භණී කතකගේ ඥාතිමිත්‍රාදීන්, පසු ප්‍රසව විෂාදය ගැන ගර්භණී කාන්තාවන් තරමටම හෝ ඊටත් වඩා සැලකිල්ලෙන් පසුවිය යුත්තේ ය.

'ගොඩදෙනෙකුට විෂාදය මතුවෙන්නේ බබා හම්බවෙලා එන ගැටළු නිසා'

පසු ප්‍රසව විෂාදය යනු, සමාජයේ බහුලව දක්නට ලැබෙන සාමාන්‍ය විෂාදයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනා මානසික රෝගයකි. මෙම රෝගය වැළඳුනු විට සිතේ පවත්නා දැඩි කණගාටු තත්ත්වයක් ඇතිවන අතර, තමාගේ හා දරුවාගේ එදිනෙදා වැඩ කටයුතු සිදුකිරීම අපහසු වෙයි.

දරුවෙකු උපන් පසු මවගේ ගර්භණීභාවය අවසන්වුව ද, ඇගේ සිරුර තුළ සිදුවන හෝමෝනමය, ව්‍යුහාත්මක, හා මානසික වෙනස්වීම් එතැනින් අවසන් නොවේ. දරු උපතට පෙර යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයක පසුවන කාන්තාවන්ට ද පසු ප්‍රසව විෂාදය වැළඳිය හැකි ය.

ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය කපිල රණසිංහ පවසන පරිදි, "සෑහෙන බහුතරයකට මේ විෂාදය සම්පූර්ණයෙන්ම පටන්ගන්නේ, බබා හම්බවෙලා එන ගැටළු නිසා. නමුත්, යම් සුළු කොටසකට යම් සුළු විෂාදයක් දරු උපතට කලින් ඉඳලම තියෙනවා."

"මේ සුළු විෂාදය, දරුවා හම්බවීමෙන් පස්සේ ඇතිවෙන වෙනත් සංකූලතා, කායික හේතු, සමාජයීය ගැටළු, ඒ එක්කම තමන්ගේ ස්වාධීනත්වයට එන බලපෑම් ආදී විවිධ හේතු නිසා වැඩිවෙනවා. සාමාන්‍යයෙන් විෂාදය හැදෙන්නේ බබා හම්බවෙලා සුමානයක් විතර ගියාට පස්සෙයි," ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

දරු ප්‍රසූතිය සිදුවී වසරක් පමණ ගතවන තුරුම පසු ප්‍රසව විෂාදය වැළඳීමේ අවදානම පවතියි.

පසු ප්‍රසව විෂාදය හැදෙන්නේ ඇයි?

දරු ප්‍රසූතියකින් පසු විෂාදය වැළඳීමට හේතු කීපයක් මුල්විය හැකි ය.

"ජීව විද්‍යාත්මක හේතු, ඒ කියන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස, ස්නායු රසායනික ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස, ඊට පස්සේ සමාජීය වෙනස්කම්, මානසිකව දැනෙන වෙනස්කම්, මනෝවිද්‍යාත්මක වෙනස්කම් - ඒ සියලු සාධකවල එකතුවකින් තමයි සමහර වෙලාවට [රෝගය වැළඳෙන්නේ]. සමහරුන්ට මේ අවදානම් ඔක්කොම තියෙනවා," ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය කපිල රණසිංහ පවසයි.

පසු ප්‍රසව විෂාදය වැළඳීමේ ජීවවිද්‍යාත්මක අවදානම අධික තැනැත්තියකට සමාජයීය හා ආර්ථික ගැටළු නිසාවෙන් එම ඉඩකඩ තවත් ඉහළ යා හැකිබව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය.

"අපි හිතමු කරදරකාරී පරිසරයක ජීවත්වෙන්න වෙනවා කියලා, නැන්දම්මාගෙන් වඳ විඳගෙන. එතකොට විෂාදය සෑදීමේ අවදානම වැඩිවෙනවා," ඔහු පැවසීය.

"සමහර වෙලාවට මේකට කාන්තාවගේ පෞරුෂය, හැකියාව, දක්ෂකම, කුසලතා, ජීවන කුසලතා, දරා ගැනීමේ හැකියාව ආදී සියල්ලම බලපානවා. විෂාදය කියන්නේ හරි සංකීර්ණ කතාවක්."

ඉසුරි, උසස්යැ යි සම්මත රැකියාවක යෙදෙන, තමාගේ වාහනයක්, නිවෙසක් සහිත විවාහක කාන්තාවකි. ඇය ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනගනිමින් සිටියා ය.

මේ අතරේ ඉසුරිට දරුවෙකු පිළිසිඳ ගැනුණි. ප්‍රසූතියෙන් පසු අධ්‍යාපන වැඩකටයුතු නිසාත්, ගෙදරදොර හා දරුවාගේ වැඩකටයුතු සඳහා සැමියාගේ සහායක් නොලැබීම නිසාත් ඉසුරි මහත් මානසික පීඩාවට පත්වූවා ය.

"ඇත්තටම එයාට බබා හම්බවෙලා මාස එකහමාරකින් විතර ලොකු ඩිප්‍රෙෂන් තත්ත්වයක් එනවා, මොකද එයා තනියෙම ගෙදර ඔක්කොම කරන්න ඕන. හස්බන්ඩ් තවමත් වීකෙන්ඩ් එකට අනිවාර්යයෙන් කොල්ලොත් එක්ක සෙට්වෙන්න, මැච් ගහන්න එහෙම යනවා මොන වැඩ තිබ්බත්. මෙයා විතරක් ගේ ඇතුළෙ හිරවෙනවා වැඩකාරයා විදියට," ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍යවරයා ඔහුගේ අත්දැකීමක් විස්තර කළේ ය.

"නැන්දම්මා රෑට පැය දෙකෙන් දෙකට මෙයාව ඇහැරවනවා කිරි දෙන්න කියලා... මෙයා මාස දෙකකට විතර පස්සේ යාළුවෙක් එක්ක එළියට ගිහින් ආවම, නැන්දම්මා ඉඳන් 'බබාගේ අම්මා නෑ, අම්මා යාළුවො එක්ක ගිහිල්ලා, බබාට වඩා යාළුවො ලොකු යි' වගේ කතා කියනවා."

දරුවාගේ වැඩ කටයුතුවලට සැමියා කිසිදු සහයෝගයක් නොදැක්වීමත්, නැන්දම්මාගේ ඇනුම් බැණුමුත් අවසන්වී තිබුණේ ඉසුරි සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමෙනි.

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

පසු ප්‍රසව විෂාදය හඳුනාගත යුත්තේ ඇයි?

විෂාදය ද, රෝග ලක්ෂණවල තීව්‍රතාව අනුව සුළු, මධ්‍යම හා උග්‍ර වශයෙන් මට්ටම්වලට බෙදා තිබේ.

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන විෂාදය බොහෝවිට උග්‍ර විෂාදයට ඉක්මණින් හැරීමට හැකි ය. පසු ප්‍රසව විෂාදයේ භයානකබව මෙය යි.

"[මව්වරුන්] කිරි දෙන නිසා, වෙන ගැටළු තියෙන නිසා, විවේකය අඩු නිසා, කායිකවත් දුර්වල නිසා, පස්චාත් ප්‍රසව විෂාදය ඉක්මණින් උග්‍ර විෂාදයට යන්න පුළුවන්," ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.

"විෂාදය තිබුණොත්, මවත් දරුවාත් අතර බැඳීමක් හැදෙන එක සම්පූර්ණයෙන්ම කඩා හැළෙනවා. විෂාදය නිසා දරුවාගේ වැඩකටයුතු කරගන්න බැරිවෙනවා. විෂාදය තියෙනකොට සමහර වෙලාවට පෝෂණය අඩුවෙලා, මව්කිරි දීමේ හැකියාව අඩුවෙන්න පුළුවන්, විවිධ ගැටළු එන්න පුළුවන්... ඒ එක්කම, මේ විෂාදය තියෙනකොට ගොඩක් වෙලාවට එපාවීම, තරහ යන එක වගෙ තියෙන හින්දා, මේ කාලෙදි අඹුසැමි අඬදබර වැඩිවෙලා ගැටළු එන්නත් පුළුවන්.

"විෂාදය උග්‍රම වුණාම, ජීවිතේ කළකිරිලා, දරුවත් එපාවෙලා, දරුවා විශාල කරදරයක් ලෙස දැකලා, දරුවගෙ ජීවිතේටත් තර්ජනයක් වෙන තරමට විෂාදය යනවා. ඒක ඇත්තටම වෙන්නේ උග්‍ර විෂාදයෙදි පමණ යි. නමුත් සුළු විෂාදයෙදි වුණත්, මධ්‍යම විෂාදයෙදි වුණත් දරුවත් එක්ක තරහ යන එක එන්න පුළුවන්," ඔහු පැහැදිලි කරයි.

ශ්‍රී ලංකා මනෝවෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය ඉදිරිපත් කරන පරිදි පසු ප්‍රසව විෂාදයේ රෝග ලක්ෂණ මේවා ය:

'උදව් පැතීම දුබලකමක් නොවේ'

මාතෘත්වය හා මානසික සෞඛ්‍යය පිළිබඳව සමාජයේ පවතින නොදැනුවත්භාවය නිසා, මාතෘත්වයේ දී දැනෙන මානසික අපහසුතා සම්බන්ධයෙන් උපකාර පැතීමට ඇතැම් මව්වරුන් පසුබට වෙයි.

අපගේ සංස්කෘතිය තුළ කාන්තාවන් මානසික සෞඛ්‍යය ගැන කතාබහ කිරීමේ මඳිකමක් දක්නට ලබෙනබව මනෝවෛද්‍ය රණසිංහ ප්‍රකාශ කරයි.

"ඔවුන්ට මේ වේදනාව, එපාවීම දැනෙනවා. ඒ එක්කම ඔළුවෙ කැක්කුම්, කොන්දෙ කැක්කුම්, බඩේ කැක්කුම්, ඇඟේ අමාරු, තෙහෙට්ටුව, තරහ වගේ විවිධ කායික රෝග ලක්ෂණවලිනුත් [විෂාදය] ප්‍රකාශ වෙන්න පුළුවනැ"යි පවසන ඔහු, එනමුත් ඇතැම් කාන්තාවන්ට මේබව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැතැ යි සඳහන් කළේ ය.

"තමන්, දරුවා හැදීමට කලින් හිටියට වඩා වෙනස් චරිතයක් නම්, විශාල අසහනයකින්, එපාවීමකින් ජීවත් වෙනවා නම්, ඒ 'විෂාදය විය හැකියි' කියලා මේ දරුවො ප්‍රසූත කරපු කාන්තාවකට හිතන්න වෙන්නේ," ඔහු ප්‍රකාශ කරයි.

වළක්වාගත හැකි ද?

විෂාදය නොවැළඳීම සඳහා දරු ප්‍රසූතියෙන් පසු ජීවත්වීමේ රටාව වැදගත් වෙයි.

"අපි කියනවා, විවාහයකින් පස්සේ සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් තමන් ස්ථාවර තත්ත්වයක ඉන්නකොට තමයි දරුවෙක් හදන්න කාන්තාවක් තීරණය කළ යුත්තේ. මේකෙ බහුතර අයිතිය තිබිය යුත්තේ කාන්තාවකට. ඉතින් මේ සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත්වීම ඉතා වැදගත් වෙනවා... විවාහ වූ පළියට, තමන් ලිංගිකව සක්‍රීය වූ පළියට දරුවන් හැදිය යුතු නැහැ. තමන් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, මානසික වශයෙන් යම් මුහුකුරා ගිය තත්ත්වයක ඉඳන් දරුවන් හදනකොට ඒ දරාගැනීමේ හැකියාව වැඩියි," මනෝවෛද්‍ය කපිල රණසිංහ ප්‍රකාශ කරයි.

"තමන් දරුවා හැදුවා කියලා තමන්ගේ ජීවන රටාවට විශාල බලපෑම් එල්ලවෙන්නේ, මානසික පීඩනයක් එල්ලවෙන්නේ නැති මට්ටමකට ජීවිතේ හැඩගස්වාගෙන තමයි දරුවන් හදන්න පටන්ගන්න ඕන."

විවාහය තුළ ගැටළු තිබේ නම්, දරුවෙකු සැලසුම් කිරීමට පෙර එම ගැටළුවලට පිළියම් යෙදිය යුතුබව ද වෛද්‍යවරයා පවසයි.

"අපේ යල් පැනපු අදහස් තියෙනවා, දරුවෙක් හැදුවම කසාදෙ හරියයි කියලා දරුවෙක් හදලා, ප්‍රශ්න වැඩිවෙලා, මව විෂාදයට පත්වෙනවා. මේ වගේ අවාසනාවන්ත සිදුවීම් හරියට වෙනවා තවමත්," ඔහු පෙන්වා දුන්නේ ය.

දරුවාගේ වැඩ කටයුතු සිදුකරන අතරේ තමාගේ මානසික සුවතාව ගැන සිතීම, තමන්ට මානසික සහනයක් ගෙනදෙන ක්‍රියාවන්හි යෙදීම, නිවැරදි පෝෂණය ලැබීම, සැහැල්ලුවෙන් ජීවත්වීමේ හැකියාව වැඩිකර ගැනීම හා අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලැබීම වැදගත් ය. මේ සඳහා සැමියාගේ සහ පවුලේ සහාය පැතිය යුතු ය.

එසේම, කාන්තාවක ලබන දරුවන් සංඛ්‍යාව වැඩිවත්ම, විෂාදය වැළඳීමේ සම්භාවිතාව ද ඉහළ යනබව ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍යවරයා පවසයි.

ප්‍රතිකාර ගැනීමට ලැජ්ජා විය යුතු නැත

පසු ප්‍රසව විෂාදය, මනෝවෛද්‍යවරයෙකු හමුවී නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවකර ගත හැකි රෝගයකි.

"විෂාදය හැදුනට පස්සේ හැකි ඉක්මණින් ප්‍රතිකාර ගත්තේ නැත්නම් දරුවාට, මවට, විවාහයට, සමාජ ජීවිතයට, රැකියාවට, මේ හැම එකටම විෂාදය බලපානවා," ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය කපිල රණසිංහ ප්‍රකාශ කරයි.

විෂාදය සඳහා ලබාදෙන ඖෂධවලට ඇබ්බැහියක් ඇතැ යි ද, එම ඖෂධ කිරිදෙන මව්වරුන්ට සුදුසු නැතැ යි ද ආදී මිත්‍යා මත සමාජයේ පැතිර තිබේ. මේවායේ සත්‍යතාවක් ද නැත.

"නිසි ප්‍රතිකාර මාලාව නිවැරදි කාලයට ගැනීමෙන් සුවකළ හැකි රෝගයක් විෂාදය. වෛද්‍යවරයා නිර්දේශ කරන කාලාන්තරයට [ඒ ඖෂධ] ගත යුතු යි. ගොඩක් වෙලාවට වෙන්නේ මේ කාන්තාව මාස දෙක තුනක් ඖෂධ අරන් සුවයක් දැනුනට පස්සේ [ඖෂධ ලබාගැනීම] සම්පූර්ණයෙන් නවත්තනවා. ඉතින් එතකොට තමයි ආපහු විෂාදය එන්නේ," මනෝවෛද්‍යවරයා පැවසුවේ ය.

ඔබගේ පෙර ගර්භණීභවයක දී විෂාදය ඇතිවූයේ නම්, මීළඟ ගර්භණීභාවයේ දීත් විෂාදය වැළඳීමේ වැඩි අවදානමක් තිබේ. මෙනිසා, දරුවෙකු පිළිසිඳ ගැනීමට ප්‍රථමව මනෝවෛද්‍ය උපදෙස් ලබාගැනීම ද වැදගත් ය.

"විෂාදය සුවවූ කාන්තාවක්, රෝගය සුවවෙලා ප්‍රතිකාර නැවැත්තුවට පස්සේ තමන්ගේ ජීවන රටාව ගොඩනගාගෙන කාලයක් සැහැල්ලුවෙන් ඉන්න ඕන. සමහර වෙලාවට අපේ ලංකාවේ හැකි ඉක්මණින් 'තමන් වයසයි', 'දැන් 30යි මට' කියලා ඊළඟ දරුවා හදාගන්නවා විෂාදය හොඳවෙලා මාස දෙකෙන් තුනෙන්," ඔහු කියයි.

"ප්‍රතිකාර ලබාගැනීමට කිසිසේත් බියවිය යුතු නැහැ. අපේ සමාජයේ මේ ගැන කිසිම පදනමක් නැති මිත්‍යා විශ්වාස තියෙනවා... මේ 'ප්‍රතිකාර' කියන්නේ ඖෂධ පතිකාර පමණක් නෙවේ, කථන ප්‍රතිකාර, ජීවන රටා, මනෝචිකිත්සාවන්, මේ සියලුම දේවල් එකතුවෙලා තමයි ප්‍රතිකාර මාලාව හැදෙන්නේ."

ඔබට හෝ ඔබේ ඥාති මිත්‍ර කිසිවෙකුට පසු ප්‍රසව විෂාදය ඇතැ යි සැක නම්, එය පුහුණුව ලත් මනෝවෛද්‍යවරයෙකු ලවා පරීක්ෂාකර හඳුනාගැනීම අත්‍යවශ්‍ය ය.

මීට අමතරව, ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපකාර පැතීම ද සිදුකළ හැකි ය.

ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ද පෙර හා පසු ප්‍රසව මානසික සෞඛ්‍ය ඒකකයක් පවතින අතර, ගර්භණී සමයේ දී හා දරු උපතින් පසු මව්වරුන්ට ඇතිවන මානසික තත්වයේ වෙනස්වීම් සඳහා මවට ළදරුවා සමගම රැඳී සිටිමින් විශේෂිත ප්‍රතිකාර සහ සත්කාර ලබාගැනීමට එහි පහහසුකම් සලසා තිබේ. පවුලේ එක් සාමාජිකයෙකුට ද මෙහිදී මව සහ ළදරුවා සමග රැඳී සිටිය හැකි ය.

0112-578234 - 7 අංක අමතා, 284 දුරකථන දිගුව ඔස්සේ එම ඒකකය සමග සම්බන්ධවිය හැකි ය.

(bbc/Sinhala)