All Stories
ශුද්ධවූ දේව මෑණියනි ....
දෙව් ලොවෙන් බැස එන්න
ඔබේ ආශිර්වාදය පතා,
බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටින
මගේ අහිංසක ජනතාවගේ ,සිත නිවන්න
එකම වරක් හෝ ඇවිත් යන්න ...
ආදරණීය අම්බිගා මෑණියනි ....
ඔබගේ අසලින්ම සිටින
මහා ශිව දෙවියන් පැමිණ
"අවශ්‍ය කුමක්දැයි "
අපගෙන් අසන විටත් ,
තමන්ටම කියා කිසිවක්ම නොඉල්ලා
නුඹේ දේවාලයේ වහලට
ටකරන් කෑල්ලක් ඉල්ලන
මගේ ජනතාවගේ, ආදරය දකින්නවත්
එකම වරක් ඇවිත් යන්න
රැකවරණයට අධිපති දුර්ගා මෑණියනි
අපේ දේශපාලන නායකයින්
ජන්දය හිඟා කෑමට
වසර පහකට වරක් හෝ
අප ඉදිරියට පැමිණ
"අවශ්‍ය කුමක්දැයි" අපෙන් විමසන විටත්
නුඹේ කෝවිලේ පඩිය හදන්නට
සිමෙන්ති ඉල්ලා සිටින
මගේ ජනතාවගේ භක්තිය බලන්නවත්
එකම වරක් ඇවිත් යන්න
ශුද්ධවූ කාලි මෑණියනි ....
මාසෙකට වරක් වැටුපක් ලැබුනත්
ගෙදර දොරේ විය හියදම් කර
වෘත්තීය සමිති වලටත් ගාස්තු ගෙවූ පසු
අතේ ඉතිරිවන්නේ
සොච්චමක්ම වුනත්
ඒ සොච්චමෙන් පවා කොටසක්
නුඹේ කෝවිලට වෙන්කරන,
අපේ භක්තිමත් ජනතාව
නුඹ වෙනුවෙන්ම පවත්වන
පූජෝත්සව බලන්නවත්
එකම වරක් ඇවිත් යන්න
ආදරණීය ශක්ති මෑණියනි ...
ශක්ති රූපවාහිනියේ පෙන්වන
චිත්‍රපටවලදී ...
ග්‍රැෆික් නිර්මාණයක් ලෙස නුඹ පෙනී සිටින විටත්,
භක්තියෙන්, ශ්‍රද්ධාවෙන් හද පුරවගෙන
වැඳ නමස්කාර දක්වන
අපේ අහිංසක ජනතාවගේ දුක දකින්න
ලයිමේ පහල දේවාලයටවත්
එක වරක් හෝ ඇවිත් යන්න
ශුද්ධවූ මාරි මෑණියනි ...
වසර ගණනාවක් පුරා
"මාරි අම්මා, මාරි අම්මා" යැයි මුමුණමින්
නුඹ වෙතම විශ්වාසය තබා
නුඹ වෙනුවෙන්ම ඇප කැපවී සිටි
මගේ ජනතාව,
දැන් දැන්, කෙමෙන් කෙමෙන්
‘මේරි අම්මා’ වෙත, ලංවන බවක් පේනවා ...
ඒ නිසා…
ඔබගේම ආරක්ෂාව වෙනුවෙන්වත්
මගේ ජනතාව ඉදිරියේ
එක වරක් හෝ පෙනී සිට යන්න ...
ශුද්ධවූ පරාශක්ති මෑණියනි...
එදා ඉන්දියාවේ විසු මහා කවි භාරතී
'සුද්දන්ගෙන්' අපේ ඉඩම් බේරාදෙන ලෙස,
වරක් කවියකින්ම , නුඹෙන් ඉල්ලා සිටියා මට මතකයි ...
ඒ මහා කවියාගේ ඉල්ලීම පවා අහක දැමු නුඹ
මගේ මේ අහිංසක ජනතාවගේ, ඉල්ලීම් ඉටුකරන්න
කිසිම කිසි දිනක , මහපොළවට
නොඑන බවවත්, ඔවුන්ට කියාදෙන්න
එකම වරක් හෝ නුඹ ඇවිත් යන්න.
(තිලකර් මල්ලියප්පු)
(වතු කම්කරු ජනතාවගේ පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප කරවීම අරමුණු කරගනිමින් ප්‍රකාශයට පත් කරන මලෛග කාව්‍ය සරණිය " කහට සුවඳ කවි" කවි පොතිනි)