කෝවිඩ් වසංගතය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කර්මාන්තශාලා නවයක් වසා දැමීම හේතුවෙන් සෘජු හා වක්‍ර සේවකයින් 3000කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇතැයි සමීක්ෂණයකින් අණාවරණය වී තිබේ.
'ප්‍රොජෙක්ට් ටෙක්' නමැති ආයතනයේ සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහය ලබා ගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින 'රෙඩ්' ආයතනය විසිනි.
මෙම සමීක්ෂණයේ අරමුණ වී ඇත්තේ කෝවිඩ් වසංගතය නිදහස් වෙළෙඳ කලාපයට හා ශ්‍රමිකයන්ට ඇති කරන ලද බලපෑම සහ ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමය.
කම්කරු දෙපාර්තුමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිලධාරීන්, ආගමික නායකයන්, කම්කරු නායකයන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව පසුගියදා මේ සමීක්ෂණයේ අනාවරණය වූ කරුණු පිළිබඳව විමසා බැලුවහ.
ප්‍රොජෙක්ට් ටෙක් ආයතනයේ අධ්‍යක්ෂක හා පුහුණු පර්යේෂණ හා තිරසාර පදනමේ උපදේශක තිලක් මඩපාත
මෙහිදී අදහස් දැක්වූ ප්‍රොජෙක්ට් ටෙක් ආයතනයේ අධ්‍යක්ෂක හා පුහුණු පර්යේෂණ හා තිරසාර පදනමේ උපදේශක තිලක් මඩපාත: "කොවිඩ් පළමු හා දෙවැනි අවස්ථාවන් වලදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කර්මාන්තශාලා හතරක්, බියගම නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක් හා නිදහස් වෙළෙඳ කලාපයෙන් පිටත කර්මාන්තශාලා තුනක් වසා දමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප 15කින් පමණ මේ වන විට කෝවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා. කෝවිඩ් පළමු අවස්ථාවේ කටුනායක හා බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් ශ්‍රමිකයින් 800කට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් ලෙස වාර්තා වුණා. දෙවැනි අවස්ථාවේ රෝගීන් ලෙස ශ්‍රමිකයින් 3480ක් වාර්තා වුණා. වෙනත් කලාප වලින්ද රෝගීන් ලෙස ශ්‍රමිකයින් සුළු වශයෙන් වාර්තා වෙනවා," යනුවෙන් පැවසීය.
රජයෙන් ලබා දුන් රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයින්ට ලබා දුන් නිර්ණායක නොමග යවන සුළු බවද තිලක් මඩපාත පැවසීය. එම නිසා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයින් දැඩි අසීරුතාවයකට පත් වූ බවත් මේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
රෙඩ් ආයතනයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරායන කියා සිටියේ, නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කෝවිඩ් පළමු රැල්ලේදී බරපතල සිදුවීම් වාර්තා නොවුණත් දෙවැනි රැල්ලේදී නිවැරැදි තීරණයකට අනුව කිසිවෙක් සේවකයින් තම ගම් බිම් වෙත යැවීමට හෝ කටයුතු නොකළ බවයි.
මේ නිසා සේවකයින් මූල්‍යමය වශයෙන් මෙන්ම ආහාර පාන නොමැතිව දැඩි දුෂ්කරතා වලට මුහුණ දුන් බවද චන්ද්‍රා දේවනාරායන පෙන්වා දුන්නාය.
"සේවකයින්ට එක්වරම රැකියාවට එන්න එපා කිව්වා. නිවාඩු දුන්නා. නමුත් ඔවුන්ව නිවෙස් වෙත යවනවාද, බෝඩිම් වල රඳවා ගන්නවාද කියා නිසි වැඩපිළිවෙළක් තිබුනේ නෑ. ඒ නිසා සමහර සේවකයින්ට නිවෙස් වෙත යාමට නොහැකිව බෝඩිම් වල හිරවුණා. රැකියා අහිමි වීමෙන් මුදල් නොලැබුණු නිසා කෑම බීම සපයා ගන්න නොහැකි වුණා. බෝඩිම් වල තදබදයක් ඇති වීම නිසා සනීපාරක්ෂක ගැටලු මෙන්ම සෞඛ්‍යමය ගැටලු වලටද මොවුන්ට මුහුණ පාන්න සිදු වුනා."
චන්ද්‍රා දේවනාරායන
එම අවස්ථාවේ ආයතන පාලකයින් හා ඊට වගකිව යුත්තන් කිසිවෙක් මෙම කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් නොවූ බවත් රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා විවිධ පුද්ගලයින් උපකාර කළද ඒවා ප්‍රමණවත් නොවූ බවත් චන්ද්‍රා දේවනාරායන කීවාය.
"එක නේවාසිකාගාරයක් හය වතාවක් නිරෝධායනය කළා. ආයතන කිහිපයක සේවකයින් එම නේවාසිකාගාරයේ සිටියා. නමුත් එම ආයතනය මේ සේවකයින්ගේ වගකීම පැහැර හැරියා. පුංචි ළමුන් පවා එතැන හිටියා. හතර පස් වතාවක් ඔවුන් පී සී ආර් කළා. නමුත් ඔවුන්ට කෑම බීමවත් ආයතනවලින් ලබා දුන්නේ නෑ."
මෙවැනි වසංගත තත්ත්වයක් නැවත උදා වුවහොත් ස්ථීර හෝ නොවන කම්කරුවන් සියලු දෙනා අවම වශයෙන් මාස තුනක් හෝ හතරක් නඩත්තු කෙරෙන වැඩපිළිවෙළක් වෙනුවෙන් රෙඩ් ආයතනය මැදිහත් වන බවද රෙඩ් ආයතනයේ අධ්‍යක්ෂිකාව පැවසුවාය. නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයින් මුහුණ දුන් වැටුප් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් පළ කළාය.
"නිරෝධායනය වී හෝ සංචරණ සීමා ඇති කරපු ප්‍රදේශ වල කම්කරුවන්ට වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් ලබා දෙන්න කිව්වත් එය හරියට සිද්ධ වුනේ නෑ. සමහර ආයතන වලින් කිසිම හේතුවක් නැතුව සේවකයින් අස් කළා. අදටත් ඔවුන්ට රැකියාවක් නෑ."
පිළිමතලාවේ නිරංජලී සුදම්මිකා
පිළිමතලාවේ නිරංජලී සුදම්මිකා කටුනායක ආයෝජන කලාපයට පැමිණියේ මීට අවුරුදු විසි පහකට පමණ පෙරයි. එනම් 1995 වර්ෂයේය.
නිරංජලී මුලින්ම සේවය කළේ ඇඟලුම් නොවන ආයතනයකය. එහි සේවය කරමින් සිටියදී නිරංජලී හදිසියේ අසනීප වීමත් සමග මේ වනතුරුත් ඇය ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බැවින් ඇයට ස්ථීර සේවයට යාමට නොහැකිය.
"මම මෑන් පවර් විදිහට වැඩ කරන්නේ සමහර ආයතන වලින් නිවාඩු ගන්න දෙන්නේ නැති නිසා. එක දිගට වැඩ කරද්දී අතපය හිරි වැටෙනවා. කැක්කුම එනවා. ඒ නිසා ස්ථීර රැකියාවකට ගියේ නෑ. මෑන් පවර් අය අපි ගැන බලන්නේ නෑ. වැඩ කරන වෙලාවේ විතරයි බලන්නේ."
නිරංජලී අවුරුදු 15ක් පමණ සේවය කරන්නේ එකම ආයතනයකය. පසුව මෑන් පවර් සේවිකාවක ලෙස ඇය ඇඟලුම් ආයතනයක සේවයට බැඳුනාය. නිරංජලී පවසන්නේ කෝවිඩ් වසංගත කාල සීමාව තුළ දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවයි.
"මට කන්න බොන්නවත් කිසිම දෙයක් තිබුනේ නෑ. චූන් පාන් විකුණන කෙනෙක් මට උදේට පාන් බාගයක් දීලා යනවා. සමහර දවස් වලට හවස් වෙනකන් තියාගෙන කනවා. ඒ දවස්වල ගමේ හිටපු නිසා කොස් දෙල් කාලා තමයි දවස ගත කළේ. සමහර ගම්වැසියන් මට ඒ වෙලාවේ උදව් කළා."
කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන සෙල්වි එක්දරු මවකි. ඇගේ උපන් ගම වැලිමඩයි. ඇය පැවසූයේ කුඩා දරුවන්ද සමග නේවාසිකාගාරයේ ගත කළ නිරෝධායන කාල සීමාව ඉතා දුෂ්කර වූවක් බවයි. මේ වන විට රැකියාවට යාමට නොහැකිව මාස දෙකක පමණ කාලයක් ගත් වී ඇති නමුත් නැවත රැකියාවට කැඳවීම් කර නොමැති බවත් සෙල්වි පැවසුවාය.
"නිරෝධායනය වන කාලයේ අපිට උදව් ලැබුණත් දවසක් දෙකක් කන්න ලැබුණේ නැති අවස්ථාත් තිබුණා. අපිට තවම රස්සවට එන්න කියලාවත් කිව්වේ නෑ."
මෑන් පවර් ආයතනයේ සේවිකාවක් ලෙස සේවය කළ ගයානි චාමරී පැවසූයේ නේවාසිකාගාරයේ සේවිකාවන් හතළිහකට ආසන්න ප්‍රමාණයක් සිටි බවත් ඔවුන්ගෙන් වරින් වර රෝගීන් වාර්තා වීම නිසා ඔවුන් මාස දෙකකට ආසන්න කාලයක් නිරෝධායනයට ලක් වූ බවයි. එම කාලය අතර තුර පී සී ආර් පරීක්ෂණ හතර පස් වතාවක් පමණ සිදු කළ අතර රැකියාවට යාමට නොහැකිව කෑම බීම පවා නොමැතිව සිටි අවස්ථාවේ ඔවුන්ට උපකාර කළේ රෙඩ් ආයතනය බවත් ගයානි චාමරී පැවසුවාය. ඇයටද මේ වන විට රැකියාව අහිමි වී අවසන්ය.
"අපි හතර වතාවක් නිරෝධායනය වුනා. මුල් කාලයේ සමහර ආයතන වලින් කෑම බීම ගෙනත් දුන්නා. මෑන් පවර් සේවිකාවන් ගැන ඒ ආයතන බැලුවේ නෑ. පොළීසියෙන් හා රාජ්‍ය නොවන ආයතන වලින් ලැබුණු උදව් වලින් තමයි ගොඩක් අය ජීවත් වුනේ."
ඇවරිවත්ත ග්‍රාම නිළධාරී කේ ආර් නිමල්සිරි කියා සිටියේ මෙම තත්ත්වය පාලනය කර ගැනීමට රජය විසින් විශාල ප්‍රයත්නයක් දැරූ බවයි.
සිවිල් සංවිධාන එකතු වීමෙන් විශාල පරාසයක ජනතාවගේ ගැටලු කතා බහ කිරීමට හැකි වන බවත් කේ ආර් නිමල්සිරි පැවසීය.
"පුද්ගල අවශ්‍යතාවයක් ලෙස නොව ජාතික වගකීමක් ලෙස කටයුතු කළොත් මේ ව්‍යවසනයට සාර්ථකව ඉදිරියේදී මුහුණ දෙන්න පුලුවන්. විවිධ ක්ෂේත්‍ර වල පැන නගින ගැටලු හඳුනාගෙන ඒ හරහා ක්‍රියාමාර්ග ගැනීමට මේ වැඩසටහන හොඳ තෝතැන්නක්."
කම්කරු දෙපාර්තමේන්තුව යම් ආරවුලකට හෝ ගැටලුවකට මැදිහත් වීමට මොනයම් ආකාරයක හෝ දැනුවත් කිරීමක් අවශ්‍ය බව ගම්පහ දිස්ත්‍රික් කම්කරු නිළධාරිනී ඊ එම් එන් කේ ඒකනායක පැවසුවාය. සමාජ ආරක්ෂණ වැඩසටහනක් ලෙස සේවක අර්ථසාධක අරමුදල හඳුන්වා දී ඇති බවත් මීට පෙර කොරෝනා නැමැති තත්ත්වයක් නොතිබූ නිසා ඒ වෙනුවෙන් වෙනසක් අවශ්‍යය බවත් දිස්ත්‍රික් කම්කරු නිලධාරිනිගේ අදහසයි.
"අපිට සියලුම දේට වඩා වැදගත් වෙන්නේ සේවකයාගේ රැකියාව ආරක්ෂා කර දීමයි. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා."
ඉදිරියේදී මෙවැනි තත්ත්වයන්ට සේවකයින් මුහුණ දීම වැලැක්වීමට රජයේ හා ආයෝජකයින්ගේ දායකත්වයෙන් යම් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් අවශ්‍ය බව සමීක්ෂණය මගින් නිර්දේශ කර තිබේ. මෙම ශ්‍රමිකයින් මුහුණ දුන් සෞඛ්‍යමය, නේවාසික, ප්‍රවාහන සහ වැටුප් සම්බන්ධයෙන් ඇති වූ ගැටලු පිළිබඳව ප්‍රමාණාත්මකව සාකච්ඡා නොකෙරුණු බවත් මෙම සමීක්ෂණයෙන් අවධාරණය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ ගැටළු පිළිබඳව ප්‍රමාණවත් වාර්තාකරණයක නිරත නොවීම ඉතාම කණගාටුදායක තත්වයක් බවද ප්‍රකාශ කෙරිණ.
(බීබීසී/සන්දේශය)