අද දින හවස් වරුවේ, ප්‍රධාන සේවක ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින ගැටළු හා සුභදායි තත්වයන් කවරේද යන්න වීවෘතව සාකච්ඡාවට බදුන් විය.
‘...අපට අපේ ඇටෙන්ඩන්ස් බෝනස් එක රුපියල් 5000 ක් දෙනවා. සුපවයිසර් කියනවා, අපි බල කරන්නනේ නෑ. ඔයාලට ඕන නම්, සල්ලි උවමනා නම්, මේ 5000 ම ඔයාල ගන්න. ඕන නැත්තම් ඉතිං, 2000 විතරක් අරගෙන නිකං ඉන්න. තීරණය ඔයාල අතේ කියලා..’
මේ කතාවේ පොඩි අවුලක් ඇති නිසා මා ඒ පිලිබද වැඩි විස්තර ඔවුන්ගෙන් විමසූවෙමි. ඒ අනුව ඔවුන් ලබා දුන් තොරතුරු පරිදි සේවකයින්ට පැමිණීමේ දීමනා වශයෙන් රුපියල් 5000ක් දෙන බවට ආයතනය පවසා ඇත. නමුත් එයින් 2000 ක් තමන් දිනපතා පැමිණීම තුල ලබා ගත හැක. ඉතිරි 3000 නිෂ්පාදන පේලියේ සියළු දෙනා පැමිණියහොත් සියළු දෙනාට හිමි වේ. එක් කෙනෙකු හෝ නොපැමිණියහොත් කිසිවෙකුටවත් එම මුදල හිමි නොවේ. මේ තත්වය තුළ එක් සේවකයෙකු තමන්ගේ අත්‍යවශ්‍යය මළගමකට හෝ ගියහොත් පවතින්නේ කණ්ඩායම තුළ මරා ගන්නා තත්වවයකි. පාළක පක්ෂය ඉතා සූක්ෂම ලෙස සේවකයින් බෙදා වෙන් කර තැබීමටත්, බරපතල සූරා කෑමටත් මෙය භාවිතා කරන මුත්, විශේෂිතම කරුණ වන්නේ මෙම සේවකයින් ඔවුන් මෙසේ සූරා කන බවට, ඔවුන් වත් නොදැන සිටීමයි.
නිශ්පාදන දිරි දීමනා පිලිබදව ද ඇත්තේ මෙවැනිම කථාවකි. එයද කණ්ඩායම ලෙස නිශ්පාදන පේලිය අවසානයේ එලියට යන නිශ්පාදන ප්‍රමාණය අනුව ගණනය කිරීම සිදු වන අතර, එක් කෙනෙකු මුත්‍රා කිරීමට හෝ නැගිට ගිය හොත් සේවකයින් තුළින්ම එයට ප්‍රතිරෝධයක් නිර්මාණය වේ. මෙය අතිබහුතර කාන්තා ශ්‍රමිකයින් සේවය කරන මේ අපනයන ඇගළුම් කේෂ්ත්‍රයේ, සේවකයින්ගේ ප්‍රජනන හැකියාව පවා හීන වන තත්වයක් බවට පත් විය හැක්කේ මාස්ශුද්ධීය වැනි අවස්ථා වලදීවත් මොවුනට තම අවශ්‍යතා වෙනුවෙන් ආසනයෙන් නැගී සිටීමට නොහැකි වන පරිදි, අතිශය අමානුෂික සේවක පරිසරයක් පාලකයින් විසින් ඇති කර තිබීමයි.
එමෙන්ම මේ වන විට, ‘ඩාන්සින් මොඩල්’ යනුයෙන් නව විගඩමක් හදුන්වා දී ඇත. ඒ පිලිබද පාලකයින් පවසන්නේ, සේවකයන්ගේ සෞඛ්‍ය තත්වයට මෙය ඉතා හොද බවයි. මේ තුළ සේවකයින් ඉදගෙන සිටි ආසන ඉවත්කර හිටගෙන වැඩ කිරීමේ ක්‍රමයක් තුළින් පැයකට ලබා ගන්නා නිශ්පාදනය වැඩි කරගෙන ඇත. මෙය හදුන්වා දීමේ මූලික අදියරෙහි තෝරා ගත් නිශ්පාදන පේළියක් තුළ මෙය ක්‍රියාත්මක කර ඔවුන්ට නිශ්පාදන දිරි දීමනා වැඩිකර පෙන්වා මෙය වැඩි පුර ඉපයීමේ මගක් ලෙස සේවකයින්ට ඒත්තු ගන්වන්නට පාලකයින් ක්‍රියා කරමින් සිටී. අවසාන වශයෙන් මෙම නැටුමද විගඩමක් වී සේවකයන්ගේ සාරය සම්පූර්ණ වශයෙන් උරා ගන්නා තත්වයකට පත්ව ඇත.
බොහෝ ආයතන ලබා දී ඇති ප්‍රවාහන සේවය ද එක්තරා අතකින් මෙම පිරිස සූරා කෑමේ තවත් මෙවලමක් බවට පත් වෙමින් තිබේ. රටක පවතින පොදු ප්‍රවාහන පද්ධතිය විධිමත් කිරීම රටක ආණ්ඩුවක වගකීමකි. එය ඉතා දුර්වල කර සාමාන්‍ය පොදු ප්‍රවාහනය හිසරදයක් තරමට පහලට ඇද දමා ඇති තත්වයක් තුල, මෙම කර්මාන්ත මගින් දෙනු ලබන ප්‍රවාහන ක්‍රමවේදය සේවකයින්ට අස්වැසිල්ලක් බවට පත් වී ඇත. ඒ තුළින් බසය එන කල් බලා සිටීම තුල පවා ලබා ගැනීමට ඇති නිදහසද අහිමිකර සේවකයින්ගේ දොරකොඩින් බසයට නංවාගෙන දොරකොඩින්ම බැස්සවීම තුළ ඔවුන් උපරිම ලෙස ශ්‍රමය වගුරවන තත්වයකට පත්ව ඇත. ‘එළියේ් රස්තියාදු වනවාට වඩා ඒ වෙලාවෙත් ආයතනය තුළම වැඩ කර කීයක් හෝ උපයා ගැනීම හොදයි’ යන තැනට ඔවුන්ගේ මනස සකස් කර හමාරය.
නවතම විගඩම වී ඇත්තේ පාලකයින් මේ වන විට, සෞඛ්‍යය ආරක්ෂිත විධි ක්‍රමයක් ලෙස රෝස්ටර්යක් සකස් කර සේවකයින් සේවයට කැදවීම සිදු කරන අතර, සේවයට කැදවන පිරිස සදහා, ‘හොදම අය තමයි ඉස්සර වෙලා සේවයට කැදවන්නේ’ වැනි ඉගියක් ලබා දී ඹවුන්ගෙන් මරව මරවා වැඩ ගැනීමය. මේ වන විට සේවකයින් 1500 කින් සිදුකළ නිෂ්පාදනය සේවකයින් 1000කට අඩු ප්රමානයකින් කිරීමට සමත් වී ඇති බවට පාලකයින් පවසන බව සමහර සේවකයින් පවසයි. ‘ඔයාල තමයි ආයතනයේ සිටින හොදම සේවක පිරිස’ වැනි මානසික අල්ලසක් තුළ මෙම සේවකයින්ට අධික ටාගට් ලබා දීමෙන් ඔවුන්ට අයිති හා අයිති නැති සියළුම රාජකාරී වලට ඔවුන් යොදවමින්, වර්තමාන සේවකයින්ගේ ශ්‍රමය අතිශය දරුණු ලෙස සූරා කෑමට ලක්කරමින් ඇත.
සේවකයින්ගේ පාර්ශවයෙන් පැන නගින සියළුම ප්‍රශ්න, ඉල්ලීම් වෙ වන විට පාලකයින්ට මහත් අස්වැසිල්ලක් වී ඇත. මන්ද ඔවුන් එම ප්‍රශ්න හා ඉල්ලීමි සදහා ලබා දෙන පිලිතුරු හා විකල්ප පෙරලා ඔවුන්ගේම මඩිය තව තවත් තර කරවන ඒවා වන මුත්, ඒවා සේවකයින්ටවන් ඒ ආකාරයට නොදැනෙන ආකාරයට සිදු කිරීමට මෙම ක්‍රමය තුළ වැජබෙන පාලකයින් සමත් වී ඇත.
අශිලා දංදෙණිය