2020 මාර්තු මස එකොළොස්වන දිනය ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා සොයා ගන්නා ලදී. මෙතෙක් පැවැති ශ්‍රී ලංකා මෙන්ම, ලෝ වැසි සමාජ මාවත උඩු යටිකුරු කරන්නට මේ රෝග බලපෑම සමත් වැ ඇති බැව් රහසක් නොවේ. අප අත් දුටු මුහුද ගොඩගැලීම වන් භයානක ව්‍යසනයන් යළිදු සිහිපත් කරන්නට ඒ හා සම කොරෝනා වසංගතය හුවාදැක්විය හැක. මුහුද ගොඩගලා බැස ගියාය. එවකුදු කොරෝනා නම් කවදා අප හැර යා දැයි අවිනිශ්චිතය. එමෙන්ම කොරෝනා වසංගතයේ සම්භාවය තවමත් අවිනිශ්චිත නමුදු ඒ යම් නොමනා, කුරිරු වූ මිනිස් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විය හැකි බැව් බොහෝ දුරට විශ්වාස කෙරේ. කවරෙකුගේ පටු අරමුණක් මත නිර්මාණය වුවද මින් සමස්ත ලෝකවාසීන්ම අනේකවිධ දුක් කම්කටොලූ රැසකට මුහුණ දෙමින් කිසිදු ව්‍යසනයකදී මෙතෙක් ලොව සිදු නොවූ විරූ’යුරු මිනිස් ජීවිත ගණනාවක් බිලිගනිමින් සිටීම ඉවසාලිය නොහැකි කාරණයෙකි.
තවත් අතෙකින් සලකා බලන කල මෙකී උවදුර අපූරු රෝගයකි. මිනිසා ධනය, බලය, වර්ගය, කුලමලය, ආගම ආදී අනේකවිධ සාධක පදනම් කරගනිමින් බෙදී සිටීමට ප්‍රියතාවක් දක්වයි. ධනවතා, කුලවතා, බලවතා, ආදී බෙදීම් සඳහාද, දුක්පතා, බලහීන, කුලහීන ආදී කවරවුන්ටද, එකම ආකාර ප්‍රතිඵල උරුම කර දීම මෙම රෝගයේ ලක්ෂණයකි. එනම් ”සමාජවාදී රෝගයකැ’යි” එක් අතෙකින් මෙම රෝගය හඳුන්වා දිය හැක්කේද එබැවිනි. රෝගය ආසාදනය වන්නේත්, එහි බලපෑමට ලක් වන්නේත්, අවසාන උරුමයන් සිදු වන්නේත්, එකී කවරා’කාර බෙදීමක් වත් සැලකිල්ලට ගනිමින් නොව සොබාදම සිය සිතැඟි අනුව ඊට අනුරූප වෙමිනි. රෝග, ව්‍යාධි, පීඩා, ස්වභාවික විපත් වලින් තොර වූ මා මනරම් මාතෘභූමිය ලෝ බලපෑම තුල කොරෝනා උවදුරේ රුදුරු බලපෑමට නතුව අසරණ යැ.
කොරෝනා වසංගත බලපෑම ලොව සියලූ අස්සක් මුල්ලක් නෑර පවත්නා සියලූ ක්ෂේත්‍ර ආක්‍රමණය කරමින් සිටියි. අප කළමනාකරණ සේවා නිලධාරීන්ද, කාර්යාලගත නිලධාරින්ද මේ පොදු ඉරණමට මුහුණ දී ඇත. විශේෂයෙන් ක්ෂේත්රගත නිලධාරින් මේ තත්ත්වයට ඍජු ලෙස මුහුණ දෙන බව රහසක් නොවේ. එහෙත් අප කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් නොතකා හැරිය යුතු නිලධාරීන් කොටසක් නොවේ. අප සේවාවේ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන පිරිස කෙබඳු මට්ටම් වල දැයි පූර්ව නිගමනයන්ට, ඉඟි වලට, අනාවැකි වලට පැමිණිය නොහැකි නිසාවෙනි. රාජකාර්යය ඉටු කරන්නට අපි බැඳී සිටිමු. රට කොවිඞ් සමග පෙරට යාමට රජය තීරණය කර ඇත. සේවය කරන තාක් කල් හොඳය. එහෙත් කොරෝනා උවදුරට බඳුන් වුවහොත් එය පෞද්ගලිකය. සෞඛ්‍ය ක්ෂේත්රය නම් යම් පුහුණුවකට, දැනුවත් කිරීමකට යටත්ය. කළමනාකරණ සේවා නිලධරයා හුදෙක් මාධ්‍ය මගින් ලබන දැනුමට පමණක් සීමා වෙයි. කාර්යාලගත සෙසු නිලධාරීන්, සේවකයන් ද එසේමය. හරිහමන් කළයුත්තක් නොමැති අතර, සිදුවන්නේ ”වන්නකට ඉඩ දෙමින්’ දෙවියන් යදිමින්” සේවය ඉටු කර ලීමය.
තවද ආයතන සංග්‍රහය විවිධ රෝගාබාධ වලට ගොදුරු වූවන්ට ප්‍රතිපාදන සැපැයුවද කොරෝනා වසංගතයට ගොදුරු වූවන් කෙරේ මෙතෙක් චක්‍රලේඛ ප්‍රතිපාදන ඇස යොමුකොට නොමැත. සිය අනන්‍යතාව රැක ගනිමින් සමානුරූපීව චක්‍ර ලේඛ නිකුත් කරන ආයතන, සංස්ථා, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කෙරෙන චක්‍රලේඛ දෙස නිසොල්මනේ බලා හිඳී. කොවිඞ් 19 රෝගය ආයතන සංග්‍රහයට ප්‍රතිපාදන කඩිනමින් ඇතුළත් කළ යුතු වසංගත රෝග තත්වයකි. රෝගියා නිරන්තරයෙන් දින 30 ක් පමණ නිවෙසේ රැඳවිය යුතු හෝ කඩිනමින් නිසි ප්‍රතිකාර කළ යතු හෝ තත්ත්වයක් උද්ගත වන නිසාවෙනි. ප්‍රතිකාර ඇතද, නැතද මෙම රෝගය වැළඳුනු හෝ, ආශ්‍රිතයෙකු වීම හෝ යම් නිලධරයෙකුට සිය සේවා ආයතනය වාරණය කළ යුතු නොවේද?
හැකිතාක් දුරට තාක්ෂණය භාවිතා කරන ලෙසට රජය අවධාරණය කරයි. එහෙත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපැයීම කෙරේ දක්වා ඇති ආකල්පය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. දිවයින පුරා ඒකාකාරව පැතිරුණු සංඥා (Signal) පහසුකම් නොමැත. අඛණ්ඩ හා සමාන ලෙස ජනයාට සිය සේවා සැපැයීමට නිලධාරීන් හට මෙකී තත්වය නිසාවෙන් නොහැකි වේ. සංඥා පහසුකම් ඇති අයට වුව දුරකථන බිල්පත දරන්නට වන්නේ පෞද්ගලිකවය. ඒ සඳහා කිසිදු වැයක් දරන්නට සුදුසු ක්‍රමවේදයක් කළමනාකරණ සේවාවේ නිලධාරීන්ට සපයා නොමැත. එසේ ද වුව මාණ්ඩලික නිලධාරීන්ට දුරකථන සේවා, අන්තර්ජාල සේවා පහසුකම් සපයා තිබේ. ගෙදර සිට වැඩ කරනු යනු දුරකථන සේවා මගින් සිය රාජකාරි කාර්යයන් හි නියැලීමයි. එය කළමනාකරණ සේවා නිලධාරියාගේ වැටුපෙන් වැය කළ යුතු අමතර බරක් වුව බලධාරීන්ගේ නෙත්, කන් එකී කාරණාවේදී පියවී ඇත. කළමනාකරණ සේවා නිලධාරීන් MN-04 වැටුප් තලය ඉල්ලා සිටින විට වඩාත් තිවුවන උක්ත නෙත් හා කන්, තිනෙත් වැ, සකන් වැ වැට කඩොලූ බැඳීමට පියවර ගනිති. මහජන සේවය, ආයතනික කටයුතු කොරෝනා නිසාවෙන් පසුවට කල්තැබිය හැකි නොවේ. එසේ වුවහොත් සේවක වැටුප් ගෙවීම පවා නිසි ආකාර නොවීමෙන් රජයේ සේවකයන් පිට එය තවත් කොරෝනාවක් වැ පතිත වනු ඇත. එමෙන්ම මුළු රටමැ අකර්මණ්‍යභාවයට පත් වේ. රජයේ සේවක ගමනාගමනයට පහසුකම් සපයාගන්නට සිදු වන්නේද වෙනදා නොවූ විරූ අයුරු අමතර මුදල් සිය පසුම්බියෙන් මැ වැය කිරීමට සිදු වේ. ඒ බස් රථ වල හිඟකම, නිසි වේලාවට බස් රථ, පොදු ප්‍රවාහනය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන නිසාවෙනි. මුඛ ආවරණ, අත් සේදීම, විෂබීජ නාශක දියර ආදී වදන් ජනමාධ්‍යයේ නිතර වහරයි. මෙකී ක්‍රියාවලිය විධිමත්ව ආයතන තුල පවත්වා ගැනීම රජයේ වගකීමයි. එහෙත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ”Clean Suit” නිසාවෙන් දෝ අවශ්‍ය උපකරණ වැය බර උනුන්ගේ මැ පසුම්බියට මැ බැර කර තිබේ. එපමණකුදු නොව, ආවදානමට මුහුණ දිය යුත්තේ ද තනිවමැය. එහෙත් සේවය පොදුය. වඩා හොඳ සේවාවක් සැපැයීමට නම් හොඳ මානසික නිදහසකින් යුතුව රාජකාරියේ නියැලීමට අවශ්‍ය පසුබිම සකස් වැ තිබිය යුතුය. එහෙත් සේවයට පැමිණීමේදීත්, රාජකාරියේ නියැලීමේදීත්, යළිඳු නිවෙස් වෙත යාමේදීත් හොඳ මානසික මට්ටමක් කෙසේ වෙතත්, බියෙන්, සැකෙන්, කුතුහලයෙන් යුතුවම කටයුතු කරන්නට සිදුවීම කොරෝනා වේම තවත් ඵලයෙකි.
රාජ්‍ය සේවය අකර්මන්‍ය වීම හෝ කිරීම හෝ අපි කිසි විටෙකත් නොපතන්නෙමු. රාජ්‍ය සේවයේ ප්රමුඛ කාර්යයක් ඉටු කරන්නා වූ කළමනාකරණ සේවා නිලධාරියා බලපෑම් රැසකට යටත්ව අඛණ්ඩව සිය සේවය සැපයිය යුතු තත්වයකට කොරෝනා රෝගය නිසාවෙන් පත්ව ඇත. එක් අතෙකින් සිය වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට ඔහු බැඳී සිටී. අනෙක් අතින් සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීමෙන් ඔහු බැඳී සිටී. සිය රාජකාරි ඉටුකිරීමේදී කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සේවය නිසි අයුරු ලබා ගැනීම පිණිස නීති, රීති සම්පාදනය වනු විනා පවතින තත්ත්වය හමුවේ ඔහු සම්බන්ධයෙන් වග කියන මට්ටමේ කිසිවෙකුත් හඳුනාගත නොහැක. ඔහු වෙත ඇති ගැටළු, බාධක, වැය බර විමසන අයෙකු දෘශ්‍යමාන නොවේ. සැබවින්ම කොරෝනා සමග ජීවත් වනු විනා කළමනාකරණ සේවා නිලධාරියාගේ කාර්යභාරය සෑමවරෙකම මෙන්ම බලධාරීන්ට අමතක වී ඇති බැව් නොරහසෙකි. එමෙන්ම මීට වඩා පුළුල් අවධානයක් කළමනාකරණ සේවා නිලධාරියා වෙත යොමු කරලීම රජය විසින් මෙන්ම බලධාරීන් විසින් ද සිදු කළ යුතු බැව් අපි තරයේ විශ්වාස කරමු. කවදත් කළමනාකරණ සේවා නිලධාරින්ගේ ඉල්ලීම් කෙරේ දැක්වූ මන්දගාමී අවධානය, කොරෝනා වසංගතය නිසාවෙන්ද ඒ පරිද්දෙන්ම ක්‍රියාත්මක බැව් මින් අපට වැටහේ.
රටේ කොරෝනා වසංගතය පවතී. ජනතාව සංචරණය සීමා කරමින් කොරෝනාවෙන් ඈත් වෙති. කළමනාකරණ සේවා නිලධරයා සංචරණය සීමා කළ නොහැකි නිලධරයෙකි. ඔහුට සිය සේවය වෙනුවෙන් කොරෝනා අසලින් ගමන් කිරීමට සිදුවේ. කොරෝනා වැලැදුන හොත් ඔහුම විඳගනී. රජය සංචරණය සීමා කරන ලෙස නියෝග කරයි. ඒ මහජනයාටය. කළමනාකරණ සේවා නිලධාරියාට නොවේ. යුද්ධයකදී සෙබලා විරුවාය. රණවිරුවාය. කොරෝනා උවදුරේදී කළමනාකරණ සේවා නිලධාරියාගේ සේවය, සත්තකින්ම, රණවිරුවා යුද්ධයකදී කරනු ලබන සේවයට සම කිරීම අතිශයෝක්තියක් යැයි කීම යුක්ති සහගත නොවන්නේ එහෙයිනි.
ක.වි. බුද්ධික ප්රියංකුමාර, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය