දේශපාලනඥයින්ට හූ කිව්වොත් නඩු දාන්න පොලිසියට පුළුවන් ද?

දේශපාලනඥයින්ට හූ කිව්වොත් නඩු දාන්න පොලිසියට පුළුවන් ද?

"හූව" පිළිබඳව මේ දිනවල ඇත්තේ දැඩි කතාබහකි. හූ කීම පිළිබඳ ෆේස්බුක් පෝස්ටුවක් ෂෙයා කළ සමාජ ක්‍රියාකාරිණියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ඊට ආසන්තම හේතුව විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පසුගිය දා මාධ්‍යවෙත පැවසුවේ ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් එය එසේ සිදු කළහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණි.

දේශපාලනඥයින්ට හූ කීම හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන හෝ අපහාස කිරීම සම්බන්ධ නීතිමය පසුබිම කුමක්ද? මේ විමසා බැලීම ඒ පිළිබඳව යි.

හූ කීම අපේ සංස්කෘතියේ කොටසක් ද?

නීතිඥවරයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක ද වන අජිත් පී. පෙරේරා පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්, හූ කීම අපේ සංස්කෘතියේ කොටසක් බව පවසා සිටියේ ය.

"හූ කීම අපේ සංකෘතියේ කොටසක්. හූ කියන එක ඇතැම් වෙලාවට සතුටටත්, ඇතැම් වෙලාවට විරෝධය ප්‍රකාශ කරන්නත්, අසතුට ප්‍රකාශ කරන්නත් භාවිත කරන සංනිවේදන උපක්‍රමයක්. ඒ නිසා හූ කිව්වා කියලා, ජනාධිපතිට හූ කිව්වා කියලා, අගමැතිට හූ කිව්වා කියලා, මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට හූ කිව්වා කියලා, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්න බැහැ," ඔහු පැවසුවේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය භාවිතය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකම අර්ථ විවරණ දී ඇති බව යි.

768/2009 ශ්‍රේෂ්ඨාධිකරණ සුප්‍රකට නඩු තීන්දුවේ දී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ තීරණය ගෙන හැර දක්වමින් අජිත් පී. පෙරේරා පවසා සිටියේ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අදාල කරගන්නේ අපහාසාත්මකද නැද්ද යන්න මත නොවන බව යි.

media freedom

ප්‍රචණ්ඩත්වයෙන් රජයට එරෙහිව කටයුතු කළහොත් 120 වගන්තිය අදාල කර ගත හැකි බව ඔහු සඳහන් කළේ ය.

"කිසියම් කෙනෙක් අන්තර්ජාලය හෝ රූපවාහිනිය හෝ වෙනත් මාධ්‍යයක හෝ ජනාධිපතිට, අගමැතිට හෝ රජයේ නිලධාරියෙකුට හෝ වෙනත් ඕනෑම අයෙකුට එරෙහිව ප්‍රජතන්ත්‍රවාදීව සිය අදහස් ප්‍රකාශ කිරීමේ දී ඒ වචන අපහාසයක් වුවත්, උපහාසයක් වුවත් පොලීසියට බැහැ අත්අඩංගුවට ගන්න.‍"

"එසේ වෙනවා නම් සමගි ජන බලවේගය හැටියට අපි ඒ අයට නීති ආධාර ලබා දෙනවා. නොමිලේ නීතිඥ රැකවරණය ලබා දෙන්න කටයුතු කරනවා. 120 වගන්තියේම කියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන අයට මේ වගන්තිය අදාළ කර ගන්න බැහැ කියලා, පැහැදිලි කරලා තියෙනවා. ආණ්ඩුවේ අඩුපාඩු කියලා දුන්නා කියලා, ආණ්ඩුව විවේචනය කළා කියලා පොලීසියට බැහැ අත්අඩංගුවට ගන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ තිබෙන සාරයට පටහැනියි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලින් කරලා තියෙන ආර්ථ විවරණවලට පටහැනියි. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවට පටහැනියි," නීතිඥ අජිත්.පී පෙරේරා අවධාරණය කළේ ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියෙන් පැවසෙන්නේ "ශ්‍රී ලංකාවේ ජනතාව අතර විරුද්ධත්වය ඇති කිරීම හෝ විරුද්ධත්වය ඇති කිරීමට උත්සාහ කිරීම හෝ විවිධ පංතීන්ට අයත් ජන කොටස් අතර වෛරය සහ අසමගිය පිළිබඳ හැඟීම් ප්‍රවර්ධනය කිරීම" වරදක් වේ යනුවෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අන්දමට 120 වන වගන්තියේ හරය වන්නේ ප්‍රශ්නගත වචන තුළින් ප්‍රචණ්ඩකාරී හා කැළඹිලිකාරී ක්‍රියා සිදුකිරීමට ජනතාව පොළඹවනවා ද යන්න මිස, වචන අපහාසාත්මක ද නැද්ද යන්න නොවේ යනුවන් නීතිවේදීන් පවසයි.

සිවිල් ක්‍රියාකාරිණියක් සීඅයිඩීය හමුවට

කෙසේ වෙතත්, ෆේස්බුක් පෝස්ට් එකක් ශෙයාර් කිරීම සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා සිවිල් ක්‍රියාකාරිණියක වන ආශා දිල්රුක්ෂි පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

"ඇත්තටම ඒ පෝස්ට් එකේ කියලා තිබ්බේ හූ කිව්වා කියලා, මම විතරක් ෂෙයා කරපු එකක් නොවෙයි. මුළු ලංකාවේම මේ පෝස්ට් එක ෂෙයාර් වුණා," අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි ඇය කියා සිටියා ය.

cartoons

මේ අතර ඇයව පොලිසියෙන් ප්‍රශ්ණ කිරීම මේ වන විට දැඩිලෙස විවේචනයට ලක්වෙමින් පවතින අතර සිවිල් ක්‍රියාකාරීන් පවසන්නේ මහජන විරෝධය රජය හා බලධාරීන් වෙත එල්ලවී ඇත්තේ ඔවුන් ගේ ක්‍රියාකලාපය හේතුවන් බවයි.

fr cyril gamini

නීතිවේදීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ තව තවදුරටත් අපහාසය දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් ලැබිය යුතු සාපරාදී අපරාධමය වරදක් නොවන අතර එය සිවිල් නීතිය යටතට ගැනෙන සිවිල් වරදක් බැවින් යම් පුද්ගලයකුට අපහාසයක් සිදු වුවහොත් ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්යෙන් අදාළ පුද්ගලයා සිවිල් නීතිය යටතේ නඩු පැවරිය යුතු බවයි.

"සාපරාධී අපහාස නීතියක් නැහැ"

මේ වන විට සාපරාධී අපහාස නීතිය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කර ඇති බව නීතිඥ අජිත් පී. පෙරේරා පවසා සිටියේ ය.

"2002 ජනවාරි මාසයේ දී මේ රටේ ජනමාධ්‍යවල ආරක්ෂාව උදෙසා, එකට තිබුණු නීතියක් වන සාපරාධී අපහාස නීතිය - දණ්ඩනීති සංග්‍රහයේ කොටසක් ලෙස තිබුණේ - ඒ සාපරාධී අපහාස නීතිය පාර්ලිමේන්තු පනතකින් ඉවත් කළා. දැන් රටේ ජනාධිපති වුණත්, අගැමැති වුණත්, ඇමතිකෙනෙක් වුණත්, මන්ත්‍රීකෙනක් වුණත්, රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුරවැසියෙක් වුණත් අපහාසයක් වුණා කියලා තමන් හිතනවා නම්, එවැනි වෙලාවක ඔහුට තියෙන එකම සහනය දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරීම පමණ යි."

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ ප්‍රකාශ කළේ, "සාපරාධී අපහාස නීතිය ඉවත් කළා කියලා මිනිස්සුන්ට අපහාස කර කර යන්න බැහැ," යනුවෙනි.

තම මතය අනුව කිසිවෙකුට රාජ්‍ය නායකයින්ට හූ කීමට නොහැකි බව ඔහු කියා සිටියේ ය.

එවැනි සිද්ධියක් වී ඇත්නම් චේතනාව සහ ක්‍රියාව පිළිබඳ සලකා බැලිය යුතු බව ද ප්‍රකාශ කරන නීතිඥ ලොකුගේ, අපරාධමය වරදක් වී ඇත්නම් චේතනාවක් සහ ක්‍රියාවක් තිබිය යුතු බව ද අවධාරණ කළේ ය.

"පත්වන රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කර ගැනීම පොලීසියේ වගකීමක්යැ යි කියූ ඔහු, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමටත්, නීතිය කඩවීමක් වී ඇත්දැ යි විමර්ශනය කිරීමටත් පොලීසියට කටයුතු කළ හැකි බව පැවසීය.

හූ කිව්වොත් නඩු පැවරිය හැකි ද?

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලොකුගේ ප්‍රකාශ කරන්නේ හූ කීමේ ස්වභාවය අනුව නීතිමය අපහාසයක් වේ නම්, අපහාසයක් ලෙස සිවිල් නීතිය අනුව කටයුතු කිරීමට හැකි බව යි. හූ කීමෙන් වින්දිත පුද්ගලයාගේ ජීවිතයට තර්ජනයක් හෝ හිංසාවක් වෙන්නේ නම්, එය සාමයට තර්ජනයක් ලෙස සලකා ක්‍රියා කිරීමට පොලීසියට හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

"පොලීසිය කියන්නේ සාම නිලධාරියෙක්. සාමය කඩවීමට ඉඩ ඇත්නම් සාම නිලධාරියා ලෙස එය වැළැක්වීමට පොලීසියට මැදිහත් විය හැකියි," නීතිඥ ලොකුගේ පැවසුවේ ය.

"අපරාධමය වරදක් නැත්නම් පොලීසියට අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් රාජ්‍ය නායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් පොලීසියට මැදිහත් විය හැකි යි," ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

"ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් නිදහස තියෙනවා. නිදහස තියෙනවා කියලා අපි කටයුතු කරනවා. පාරේ ගමන් කිරීමේ නිදහස තියෙනවා කියලා, නිර්වස්ත්‍රයෙන් ගමන් කරන්න පුළුවන් ද? ඒ මොකද යම් කිසි සීමාවක් අපිට තියෙනවා නේ," නීතිඥ ලොකුගේ පැවසිය.

සමාජ මාධ්‍යවල ලිවීමේ නිදහස ඇතත් අසත්‍ය තොරතුරු පළ කිරීමට නොහැකි අතර, ඒ සම්බන්ධයෙන් වගකීම ලියන ලද පුද්ගලයා ගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු පවසන්නේ, සමාජ මාධ්‍යවල ඕනෑම දෙයක් පළ කරන්න පුළුවන්යැ යි කිව නොහැකි බව යි. සමාජ මාධ්‍යයේ මත පළ කිරීමේ දී සීමාවන්ට යටත්ව කළ යුතු බවත් ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ රට කැළඹෙන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීමට නොහැකි බව පැවසූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියේ කෙනෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කළ හැක්කේ අනෙක් පුද්ගලයාට අපහාසයක් නොවන ලෙස බව යි.

"ලයික් කිරීමේ දී නැති වගකීමක් ෂෙයාර් කිරිමේ දී තියෙනවා" - කැබිනට් ස්ථාවරය

විවේචන තහනම් කිරීමක් හෝ විවේචන වළක්වාලීමක් පිළිබඳව කිසිදු ආකාරයක ප්‍රකාශයක් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැතැ යි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

ඔහු සඳහන් කළේ, සත්‍ය තොරතුරු මත, දත්ත මත පදනම්ව කරන ඕනෑම ප්‍රකාශයක් පිළිගැනීමට බැඳී සිටින බව යි.

භාෂණයේ නිදහසට වැටකඩුළු බැඳීමට කටයුතු කර නැතැ යි ද ඔහු අවධාරණය කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ, ලෝකයේ බොහෝ රටවල සමාජ මාධ්‍ය පිළිබඳ නීති ගෙනඒමට කටයුතු කරමින් සිටින බව යි.

සමාජ මාධ්‍යවල නිදහස් අවකාශය භාවිත කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සමාජ ප්‍රශ්නයක් බවට පත්වීම ඊට හේතුවී ඇති බව ඔහු පවසයි.

"කෙනෙක් ලයික් බටන් එක ඔබන එකෙන් වගකීමක් බාරගන්න ඕනේ තමන් ඒකට කැමතියි කියන එක. නමුත් කෙනෙක් ෂෙයාර් කරන්න පෙළෙඹෙනවා නම් එයා පිළිගන්නවා මේ කියන දේ සත්‍යයක්, ඒ සත්‍ය මා දන්නා, අන් අය ද දැනගත යුතු යි කියලා. ලයික් කිරීමේ දී නැති වගකීමක් ෂෙයාර් කිරිමේ දී තියෙනවා. ඒ නිසා සමාජ මාධ්‍යවල දෙයක් අනිත් අය අතරේ බෙදා ගන්න යනවා නම් තමන්ට මේ කියන කාරණා නිවැරදියි කියන එක හොඳින් තහවුරු කරගෙන තමා කළ යුත්තේ. මොකද අපි ඒ බෙදා හැරීම හරහා එහි තියෙන කාරණා පිළිබඳ වගකීමක් බාරගන්න නිසා," ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ ය.

සමාජ මාධ්‍යයන්හි පලවන දෑ පිළිබඳව තම කැමැත්ත අකමැත්ත පළ කිරීම් හෝ තම සමාජ මාධ්‍යයන්හි ඒවා බෙදා ගැනීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් නොවන නමුත් අසභ්‍ය ප්‍රකාශන පළ කිරීම හා ළමා අපචාර වලට අනුබල දීම හෝ එවැනි දෑ විකාශ කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනමම නීති ඇති අතර සමාජ මාධ්‍යයන්හි තම අදහස පළ කිරීමට එරෙහිව එසේ වෙනම නීති නොමැති බවත් එසේ යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට යම් පුද්ගලයෙකුගේ සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන හිංසාවන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ අදාළ අගතියට පත් පාර්ශවය ක්‍රියා කල යුතු බවට නීති විශාරදයන් පවසයි.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාල ගැසට් නිවේදන බලරහිත කෙරේ

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව නිකුත් කළ ගැසට් පත්‍රය බලරහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගිය දා උපදෙස් ලබා දී තිබේ.

එහි ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව පසුගිය කාලය තුළ දී සිදුකළ කරුණු දැක්වීම් සලකා බලා මේ පියවර ගත් බව යි.

මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේ දී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව එමඟින් ඔවුන් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සහ අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනු කමිටුව හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැ යි අලි සබ්රි උපදෙස් දුන්බව අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එම නීතිය ගෙන ඒමට උනන්දු වූයේ බාලවයස්කරුවන්ගේ සුබසිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීමට මිස භාෂණයේ නිදහසට බාධා කිරීමට නොවන බව ද අධිකරණ අමාත්‍යංශය පෙන්වා දෙයි.

සිවිල් ක්‍රියාකාරීන් පෙන්වාදෙන්නේ රජය මේවන විට රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ පැනනැගී ඇති මහජන විරෝධයට මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

cartoons 2

"ප්‍රතිවිරුද්ධ මත ඉවසීමෙන් දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ"

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ලිහිණි ප්‍රනාන්දු බීබීසී සිංහල සමග පවසා සිටියේ, "නායකයෙක් වුණාම ප්‍රතිවිරුද්ධ මත ඉවසීමෙන් දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක තමා පරිණත නායකයෙකුගේ ලක්ෂණය. ප්‍රජාන්ත්‍රවාදී සමාජයක, රටක ජීවත්වෙනවා නම් මිනිස්සුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕනේ."

"මේරටේ හැම නායකයෙක්ම සියයට සීයක් හරි නැහැනේ. නායකයා තුළ වැරදි දේවල් තියෙනවා. ඒ වැරදි දේවල් ජනතාව විසින් පෙන්වලා දෙන අවස්ථාවේදී නායකයෙක් වෙන්න ඕනේ ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරාගෙන, ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම මිස ඒ වැරැද්ද වෙනුවෙන් ප්‍රතිරෝධය දක්වන මහජනතාව යටපත් කිරීම නොවේ," යනුවෙන් ඇය තවදුරත් පැවසුවාය.

"හූ කිව්ව මනුස්සයව ගිහිල්ලා දඬු කඳේ ගසන එක නෙමේ කරන්න ඕනේ. ඊළඟ පාර එසේ නොවෙන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමා පරිණත නායකත්වය කියලා මම නම් දකින්නේ" නීතිඥවරිය පැවසුවාය.

(උපුටා ගැනීම - බීබීසී / සන්දේශය)