අරගලකරුවන්ට අකුරු කියවීම

gota-go-home-h

ඔබ යම් ආශ්චර්යයක් දකින්නෙ නැද්ද? දේශපාලකයන් කිහිපදෙනෙක් සඟුන් හා නිලදරුවන් සමූහයක් සමඟ දශක අටකට ආසන්න කලක් වවුල් හපයක් කල රටක් දෙස බලා හිඳිමින් නවගුණ වැල ගණන් කල උගතුන්, වියතුන්, ක්‍රියාකාරිකයන් වගේම දේශපාලන විශ්ලේෂකයන් රොත්තක් පෙරට ඇවිත් නේද? හරි පුදුමයි.

ඔබ අහල නැද්ද රත්න ශ්‍රී විජේසිංහ  ලියල තියෙනව හීල් හෙවනෙ ඉඳගෙන බෑ - හේන් කුඹුරු වැඩ කරන්න කියල. ඒ ගීතයේ සංදර්භය නම් වෙනස් මේ කථාවට අදාළ නැහැ. ඒත් ඇල්වතුරත් නිවල බිව්ව පට්ට විශ්ලේෂකයෝ ටිකක් පාරට බැහැල නේද?

සමහර සරසවි කථිකාචාර්යවරු කියනව මේ කෘර ධනවාදය හමුවේ විනාශ වෙච්ච රටක් නිසා  එක පවුලකට බැනල වැඩක් නැහැ කියලත්.  තවත් කථිකාචාර්යවරුන් ලියනව මේ අරගලයට උපක්‍රමික කළමනාකරණයක් අවශ්‍යයි කියල. ඒ අතරෙ වික්ටර් අයිවනුත් ගොඩක් උපදෙස්‌ දෙනව. තවත් වැඩිහිටියන්  මැදිහත්කරුවන් වීමේ ආශාවෙන් බුකිය කලඹනවා. එච්චරක් නම් බැරිය. නාගානන්ද කොඩිතුවක්කුත් මැද්දට පැනල නේද?

මේ ඔක්කොම අසාර්ථක සමාජ සහ දේශපාලන ව්‍යාපෘතිවල හිටපු අය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් රට කණපිට හරවනතෙක් මරබියේ හිටපු සරසවි ඇදුරන්ට ආචාරධාර්මික පදනමක් තියෙනවද අරගලයේ දිශානතිය ගැන බණ කියන්න. 

දැන් හිතන්න වික්ටර් අයිවන් ගැන. රාවය කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. මේ බ්‍රෑන්ඩ් එක දෙවැනි සැරේට වැටුනෙ මේක  ගොඩගන්න ඊට ආශීර්වාද කල මිනිස්සු දුන්න ආධාරවලින් හරි අඩක් වික්ටර් ගෙදර ගෙනිච්ච නිසා. අදටත් රාවය වහල. මගෙන් පස්සෙ රාවයක් නැතිවෙන්න ඕන වගේ අදහසකින් තමයි අයිවන් ඉන්නෙ. ඉතිං අයිවන් කියන ඒව අරගලකරුවන් අහන්න ඕනද? නාගානන්ද කියන්නෙ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සල්ලි මහදවල් මංකොල්ල කෑ සුදුකරපටි හිඟන්නෙක්. සල්ලි ගැරුවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න. ඉල්ලුවද? නැහැනෙ. බොරු තර්ක ගොඩක් එක්ක මෑන් තාමත් යහතින් ඉන්නවා. එකතු කල සල්ලි ටික ඉල්ලෙ.

කුසලානේ

ලූ

මිදි යුෂ

කුසලානේ

හැඩය ගනී

කුසලානේ

ලු

විෂ වුව

කුසලානේ

හැඩය ගනී

කියල 'හෙට ඉරක්‌ පායයි'හි  මහගමසේකර ලියනව නේද? ඉතිං කරුණාකර අරගලයට අරගලය කරන්න ඉඩ දෙන්න. එතකොට අපි සාකච්ජා කරන්න ඕන නැද්ද? පිස්සුද අනේ.  රටේ වසරක සමස්ත අයවැයෙන් 67% ප්‍රමාණයක් තමන්ගෙ පවුලේ මිනිස්සු අතරේ බෙදාගත්තා නිර්ලජ්ජිත පවුලක දේශපාලන අප්පච්චි එක්ක සාකච්ජා කරල මොනව විසඳගන්නද?

මේ අරගලකරුවන් තමිල් සෙල්වම් හෝ ඇන්ටන් බාලසිංහම් වගේ න්‍යායාචර්යවරුන් නොවෙයි. රටේ රාජ්‍යකරණ පද්ධතිය (sytem changed) වෙනස් කල යුතු ආකාරය ගැන මාර්ග සිතියම් හදාගෙන ආව පට්ට පොරවල් නොවෙයි. තමන්ගෙ අම්ම ගෑස් ලිප් පුපුරලා කුස්සියේදී මැරිච්ච අම්මලාගේ දරුවො. තෙල් පෝලිමේ හාමතේ ඉඳල තෙල් කඳුලක් හිඟාකමින් ඉඳල එතනම නහර පුපුරලා, හදවත් නතර වෙලා මියගිය තාත්තලාගේ පුත්තු, එච්චරක්ද? නැහැ. විදුලිය නැතිව තමන්ගේ පෙට්ටි කඩේ ට දාන්න හිතං හිටි පරිප්පු වඩේ ටික බැද ගන්න බැරිව කුසගින්නේ කෙඳිරිලි හඬ නගන තරුණ අම්මලාගේ සොහොයුරියන්. 

එතකොට විසඳුමක් ඕන නැද්ද? විසඳුමක් ඕන තමයි. හැබැයි ඒක මේ අරගලබිමෙන් බලාපොරොත්තු වෙන්න එපා. මෙතන තියෙන්නෙ පවුලක් සහ මහජන නියෝජිතයන් රොත්තක් ගැන වෛරයක්, අපුලක් වගේම තරහක්. ඉතිං මිනිස්සු වැල නොකැඩී ඇවිත් තමන්ගෙ විරුද්ධත්වය පළකරලා ගෙවල් වල යනව. එතකොට ප්‍රතිඵලයක් නැහැනෙ. මොකද නැත්තෙ. මේ අරගල බිමේ අයිස්පලම් විකුණන මනුස්සයත් තමන්ගෙ මම්ම පප්ප නලාව පිඹින්නේ ''බැසිල් බැසිල් - කපුටු කාක් කාක් කියාගෙන. කොච්චි ඩ්‍රයිවර්ලා කොටුවේ ඉස්ටේසමට කෝච්චිය ගේන්නේ ''ගෝටා ගෝ හෝම්'' තාලෙට නලාව හඬවගෙන. ඔබට මතකද කොල්ලුපිටියේදී VIP රථපෙළකට විරුද්ධ වෙන්න ගිහින් අන්තිමට සමාවත් ගන්න වෙච්ච තරුණය. එයා ඔසී ඉඳන් ඇවිත් විරුද්ධ වුණේ ලංකාවත් ඒ වගේ කියල හිතල. ඉතිං එහෙම තිබිච්ච රටක අගමැති සහ එයාගේ පවුලත් සමහර වෙලාවට ඉන්න ටෙම්පල් ට්‍රීස් එක ළඟින් දැන් කොල්ලෝ යන්නෙ 'නාකි මයින අපිට එපා' කියාගෙන. එහෙම කියන්න තනි තනියෙන් බැහැනේ. ඒ ගට දුන්නේ අරගලය විසින්.

එහෙම නලා පිඹගෙන, ඔළුබක්කෝ නටවාගෙන, වෙසක් කාලෙට තොරන් බලන්න යනවා වගේ අරගල බිමට යන එක හරි නෑ කියල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලෙ කථිකාචාර්ය කෙනෙකුත් කියලලු. අනේ ඉතිං හිනායනවා. අලුත් අගමැති ආවම තමන්ගේ උපකුලපතිකම  ගහල යයි කියල රන් වැටවල් ගහල අගමැතිට ආරාධනා කල සරසවිය නේද ඔය. ඒ වගේ සීන් දකින්නේ නැති කථිකාචාර්යවරු අරගලේ හිල් දැකීම හරිම අශෝභන නැද්ද?

අරගල බිමට එද්දී බොබ් මාලෙගේ සිංදු කියාගෙන ,පුලුවන්නම් රැවුලුත් වවාගෙන එන්න ඕන නැහැ. තමන්ගේ තාලෙට, තම නැණ පමණින් විරුද්ධ වෙන්න. ඒ ඇති. අසභ්‍ය වචනත් කියනවලු. හාහ් හා. මෙතනට එන්නෙ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ඉඳන් සිල් පවාරණය කරපු පිරිසක් නොවෙයි. අනෙක අපි කුණුහරුප අහල නැද්ද හලෝ. සියදහස් ගණනක් 'ගෝඨා ගෝ හෝම්'' කියද්දී කලාතුරකින් ඇහෙන අසභ්‍ය වචනයක් එන්ජෝයි කරන්න පුළුවන් 'චැටර්ලි ආර්යාව'වත් කියවලා නැති නිකමුන්ට  විතරයි.

මේක වෛවර්ණ අරගලයක්. හැමදෙනාම මෙතනට ඇවිත් උද්දච්ච පවුලට විරුද්ධව වචනයක් කියල හිතේ සැනසීමෙන් ගෙදර යනවා. අවුරුදු අසුවක් නොවෙච්ච සිස්ටම් චේන්ජ් එක හෙට වෙයි කියල කවුරුවත්ම හිතන්නෙ නැහැ. එකම සැනසීම මෙතෙක් විපක්‍ෂය නොදුන්න අවස්ථාවක් මේ. මේක සැනසිලි ත්‍යාගයක් වගේ. චෞර තන්ත්‍රයක් නඩත්තු කල රාජකීය පවුලකට එරෙහිව නිස්සරණධ්‍යාශයෙන් කළඑළි බැස්ස පිරිසක් මේ.

මේ අරගලය හෙට වුනත් නවතින්න පුළුවන්. ඒත් කමක් නැහැ. හෙට ඉඳන් රටේ VIP වාහනය වෙන්නේ ගිලන් රථය විතරක් බව අපිට මතකයි නේද? වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත නොකරන මන්තිරියට ජන්දය දෙන්න ඕන නැහැ කියන සංවාදය මතකයි නේද? ඉතිං ඒ හොඳටෝම ඇති.

මෙවැනි අරගල අතරතුර රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්න 224 දෙනා. කථානායක මැද ඉඳන් මීට නායකත්වය දෙන්න ඕන. ඒ නිසා මේ අරගලය දිහා බලන් ඉන්න පණ්ඩිතයන් අහිනට මේ මතක් කරන්නෙ. ඔයාල ඔයාලගේ ධර්මය දේශනා කරන්න ඕන මහජන නියෝජිතයන්ට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවලට.

දවල්ට කන්න නැතිව ආවේගය පිටකරගන්න රාත්‍රියට මෙතනට එන අහිංසක තරුණ තරුණියන්ට අගමැති එක්ක කතාකරන්න කියල කියන්න එපා. මොකද ඔයාල ඔහොම මැදට පැනල ඉතිරි කරපු රටේ හැටි පේනව නේද? මේ මිනිස්සු අතරින් නායකයන් හොයන්න එපා. රාජාංගනේ ඉඳල ආව මැදිවියේ කාන්තාව හාල් පොල් ගෙනත් අරගලකරුවන්ට උයලපිහල දෙන්නෙ 'මෝටිවේෂන් අප්පච්චි' කියන නිසා නොවෙයි. මුස්ලිම් මවුලවිලා අරගල බිමේම  නෝම්බි ඉවර කරන්නෙ රැට්ටලා කියන නිසා නොවෙයි. මේ අරගලය වතුර වගේ. හැඩයක් නැහැ - පාටක් නැහැ. ලංකාවේ සිදුවෙච්ච එක අරගලයක්වත් දිනුවේ නැහැ. හැබැයි පාඩම් ගොඩක් කියාදුන්න. ඒනිසා අපි මේ අරගලයෙන් පාඩම් ඉගෙන ගමු. මරිමෝඩ තිස්සකුට්ටි පන්නයේ පුඟුලන්ට විරුද්ධ වෙන රටක් හදමු.

රත්න ශ්‍රී සිංදුවක ලියන්නෙ සුදුරෙදි හොරුන්ට විරුද්ධ වෙමු කියල. සුදුරෙදි හොරු කියන්නෙ දේශපාලකයො. උන්ගෙ ගැහැණු සතා රතුරෙදී හොරු. මැදගොඩ, ඉත්තෑකන්ද පන්නයේ සඟුන්. ඉතිං අපේ රට කෑව සුදුරෙදි හොරුන්ටත් , රතු රෙදි හොරුන්ටත් විරුද්ධ වෙන්න පුළුවන් ගම්භිර ආවේගයක් හදාගන්න මේ අරගලය පාවිච්චි කරමු. ඉන් එහා බැස්ටිලය බිඳ දැමීම ප්‍රයෝගික දේශපාලනයේ යෙදෙන යහපත් මිනිසුන්ට පවරමු !

manjula gajanayake 1

| මංජුල ගජනායක